තෙල් ඉතිරි වෙන විදිහට රියක් පදවන හැටි දැනගන්න

පාරට බැස්සහම අපිට විවිධාකාර මට්ටම් වල රියදුරන් හමු වෙනවා. ඇතැම් අය ඇවතුම් පැවතුම්, ගති ගුණ වලින් බොහොම හොඳ අය වුනත් වාහනේ රියදුරු අසුනට නැග්ගට පස්සේ ඔවුන් අමුතුම චරිත බවට පත් වෙනවා. වැරදි ආකාරයෙන් වැඩිපුර ඇක්සලරේට් කරලා බ්‍රේක් කරමින් යකා වගේ එළවන රියදුරන් අපේ පාරවල නිතරම දකින්න ඉන්නවා. ඒ විදිහට වෙට්ටු දාගෙන අමාරුනේ එළවන එක මනසට වදයක්, වාහනයට වදයක්. ඒ වගේම ඒ වගේ වාහන එළවන එකෙන් කාර් එකේ හෝ වාහනේ තෙල් පාවිච්චියත් වැඩි වෙනවා. අපි ඒ විදිහට එළවන්නේ නැතිව, තෙල් පාවිච්චිය අඩුකරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන හෙමිහිට දැනකියාගනිමු.


1. වේගය පිටුදකිමු

“වේගය පිනවයි මරුවා කැඳවයි” කියලා කියමනක් තියෙනවා. වේගය කියන්නේ අපේ රටේදි සැබෑවටම අනතුරක්. අපේ රටේ මහාමාර්ග වල වැඩි වේගයෙන් ගියොත් අනතුරු වෙන්න හැකියාව වැඩියි. අධික වේගයෙන් යද්දි තෙල් පිච්චෙන ප්‍රමාණයත් වැඩියි. ඇතැම් ඩෑෂ් බෝඩ් වල තෙල් වැඩිපුර ඉතිරිකරන වේගය පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ මට්ටමේම වාහනය පදවන්න හැකි නම් තෙල් ඉතුරුකරගන්න පුළුවන්.

2. හෙමින් ඇක්සලරේට් කරමු


වාහනයක් ගනිද්දි ඉක්මනින්ම ඇක්සලරේට් වෙනවා කියන්නේ හොඳ සාධකයක්. තත්පර දෙක තුනකින්ම පැයට කිලෝමීටර 100ක විතර වේගයට යන්න පුළුවන් කියන්නේ ඒක අපිට වාසියක්. ඒත් හොඳට සැපට පාගලා වාහනේට බර දෙන එක වාහනේටත්, තෙල් පිරිමැසීමටත් හොඳ නැහැ. වාහනේ ගත්තාම සෙමෙන් ඒ අදාළ ගියර් වේගයට එන්නට හැරලා තමයි ඇක්සලරේට් කරන්නට ඕනා. ඔටෝ ගියර් වාහනයක වුනත් සෙමෙන් ඇක්සලරේට් කරන එක තමයි වාහනයටත් තෙල් පාවිච්චියටත් සුදුසුම දේ. එන්ජිමේ ආර් පී එම් එක ගොඩක් වැඩි කරගන්නෙ නැතිව ඇක්සලරේට් කරන එකත් තෙල් ඉතුරුවට හොඳයි.

3. ඒකාකාර වේගයක් පවත්වාගනිමු

අපේ අය එක්ස්ප්‍රස්වේ එකක් පාවිච්චි කරන කොට වුනත් වාහනේ තියෙන හැකියාව ගැන හිතන්නේ නැතුව පේළියට වාහන ඉස්සර කරගෙන යන්න උත්සාහ කරනවා. තවත් අය අනෙක් වාහන වලට බාධා වෙන විදිහට සෙමන් යන්න උත්සාහ ගන්නවා. මුලින් කීවා වගේ අධික වේගයෙන් නැතුව පැයට කිලෝමීටර 60-70 සීමාවේ දිගටම තියාගන්න හැකි නම් ඒක වාහනේ තෙල් වලට හොඳ තත්ත්වයක්. අපේ නගරවලදි  තියෙන ට්‍රැෆික් එක්ක නම් මේක ටිකක් අමාරුයි. ඒත් වැඩිය ට්‍රැෆික් නැති රාත්‍රී වෙලාවක හෝ වාහන අඩු පළාතක ගියොත් ඒකාකාර වේගය ගැන අවධානයක් දෙන්නට ඕනි.

4. ට්‍රැෆික් පිටුදකිමු

කොළඹ වැඩට යනවා නම් පාරටම පැය කිහිපයක් වැය කරන්න වෙනවා. ඒක අමිහිරි අත්දැකීමක්. සමහර අය මේක මගහරවාගන්න පාන්දරින්ම වාහනේ කොළඹට දාගෙන කලින් එනවා. තවත් වෙලාවට ට්‍රැෆික් අඩු පාරවල් සොයාගෙන ඒවායෙන් වාහනය ගෙනියනවා. ගමනක් යද්දි ගූගල් මැප් එකත් අපිට ට්‍රැෆික් අඩු මාර්ග පෙන්වනවා. ඒ අනුව පාර හොඳ, ට්‍රැෆික් අඩු පාරවල් සහ වාහන අඩු වෙලාව අපේ ගමන් වලට තෝරාගන්නවා නම් ඒ මගින්ද තෙල් ඉතුරුකරගන්නට පුළුවන් වෙනවා.

5. අනවශ්‍ය බර

වාහනයකට ඔරොත්තු දෙන බරක් තියෙනවා. ඊට වඩා පටවනකොට කොහොමත් තෙල් පිච්චීම වැඩියි. සමහර අවස්ථාවල වාහනයක් තියෙන අයට ඥාතීන් යාළුවන් අමතක කරලා දාල යන්න අමාරුයි. ඒත් හිත හදන්න කියලා ඔක්කොම පටවන් යන්න ගියොත් එක පැත්තකින් ඒක වාහනයට හොඳ නැහැ, අනෙක් පැත්තෙන් වාහනයේ ෆුවල් ඉකොනොමි එකටත් ඒක තද බලපෑමක් කරනවා. ඒ වගේම ඉඩ තිබුණ පළියට වාහනේ බඩු පටවගන්නේ නැතිව වාහනයට ඔරොත්තු දෙන මට්ටමට බඩු දමාගන්න එකත් වාහනේ තෙල් පාවිච්චිය හොඳ වෙන්න බලපානවා.

6. වායුසමන පද්ධතිය

වාහනයේ වායුසමන පද්ධතිය වහලා ධාවනය කරන එකෙන් වාහනයේ තෙල් ඉතුරු වෙනවාද කියන එක යම් ගැටළුවක්. ඇත්තටම වාහනයක වායුසමන පද්ධතිය ක්‍රියාවිරහිත කරලා වීදුරු ඇරගෙන වාහනයක් ගෙනියන එකෙන් වාහනයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. වාහනයක් නිෂ්පාදනය කරද්දී, වාහනය ධාවනය වන විට වාතයෙන්  ඇතිවන ප්‍රතිරෝධය අවම වෙන විදිහට වාහනය නිම වෙනවා. ඒත් වීදුරු ඇරගෙන ධාවනය කරද්දි ඒ හැකියාව උඩු යටිකුරු වෙනවා. ඒ නිසා වීදුරු ඇරගෙන කාර් එකේ ගියා කියලා ලොකු වාසියක් නම් නැතිවෙයි. ඒත් ඒ සී එක ගොඩක්ම කූල් කරලා කාර් එක ඇතුළේ ෆ්‍රීසරයක් කරගන්න එකෙන් නම් තෙල් භාවිතය වැඩි වෙනවා. සාමාන්‍ය 24-26 මට්ටමේ උෂ්ණත්වය තියාගන්න පුළුවන් නම් අපිටත් වාහනයටත් ඒක හොඳයි.

7. වාහනයේ තත්ත්වය බලාගැනීම

වාහනයක් අතට ගන්න විට තෙල් තියෙනවාද කියල විතරක් නෙමෙයි, තව ඔයිල් මට්ටම, වතුර මට්ටම සහ ටයර් වල තත්ත්වයන් ගැන අවධානයක් දෙන්නට ඕනි. ටයර් වල හුළං අඩු වුනොත් හරි එන්ජිමේ දෝෂ ඇතිවුනොත් අපි කොච්චර හොඳට ධාවනය කළත් වාහනේ තෙල් කරන එක අඩු වෙනවා. ඒනිසා ටයර් වල හුළං බලලා, එන්ජිම නිසි වෙලාවට සේවාවන් කරලා හොඳින් කාර් රිය නඩත්තු කරන එකත් තෙල් පාවිච්චියට වැදගත් වෙනවා.

වාහනයක් ස්මූත්ව, ඒ කියන්නේ වාහනයට වදයක් නොවෙන්න, එන්ජිමට බරක් නොදැනෙන්න එලවනවා කියන්නේ පුරුදු වන්න ඕනි ස්කිල් එකක්. ඒ විදිහට ධාවනය කරන එකෙන් වාහනයේ අමතර කොටස් ගෙවීයෑම්, එන්ජින් දුබලතා අඩු වෙනවා  වගේම තෙල් ඉතිකිරීමත් කරනවා. ඉතින් වැරදි විදිහට වේගෙන් වෙට්ටු ධාවනය කියන්නේ අනතුරු වලට අත වැනීමක් වගේම අපේ වියදම් හෙමත් වැඩිකරන පුරුද්දක්. අපිට වගේම අපේ යාළුවන්ට ඒ විදිහේ වැරදි රියදුරු පුරුදු තියෙනවා නම් ඒවා නැතිකරගන්නට සිතට ගමු නේද?
gossip lanka