මේ පුරුදු එක්ක මේකප් නැතුවම ලස්සන වෙන්න පුළුවන්

මළ ගෙදරක යන්නත් දැන් මේකප් දානවනේ. එච්චරටම මේකප් මත්තේ නැහෙන එකයි උත්සව අවස්ථාවකට මේකප් දාන එකයි දෙකක්. අර මේකප් මත්තේ නැහීම කරන්නේ තමන්ගේ හමේ මොකක් හරි ගැලපෙන්නැති කොස්සක් තියෙන නිසානේ. ඒකට ප්‍රතිකර්ම කරා නම් මේකප් ඕනි නෑ. මේවා පුරුද්දට තියාගත්තම ඕවා හරි යනවා.


1. ඇහිබැමි සාත්තුව

ඇහිබැමි නිසි පරිදි කලට වේලාවට ත්‍රෙඩ් කරන එක පුරුද්දක් කර ගන්න. අපි හිතනවට වඩා ඒක අපේ මූණට හැඩයක් ගෙනත් දෙනව. ඒක කිව්වේ මේ ඇහිබැම. ඝනට සරුවට කැලයක් වගේ වැවිලා තියෙනකොටත් හොඳයි ඉතින් හැබැයි ත්‍රෙඩ් කරන එක මූණට ඔපයක්. කොහොමත් කාලාන්තරයකට පස්සේ ත්‍රෙඩ් කරාම ඒ අවටත් සුදුවට ලස්සනට තියෙනවා. මේක පුරුද්දක් විය යුතුයි.

2. ලෙමන් වතුර පානය

උදේට නැගිට්ටම උණු වතුර කෝප්පයකට ලෙමන් පෙත්තක් දෙකක් දාලා තියලා පානය කරන්න. හමට විටමින් සී ඕනිමයි නේ. ඉතින් රැලි වැටෙන එක, ඇස් යට කළු වෙන එක යනාදී දේවල්වලට මේ විටමින් සී පිරුණ ලෙමන් පානය ගාණට හිටිනවා. ඊට අමතරව නිකන් ඉන්න වෙලාවටත් විටමින් සී බහුල පළතුරු කන්න පුරුදු වෙන්න.

3. සිල්ක් කොට්ටා උර භාවිතය

කපුවලින් කරපු කොට්ට උරවලට වඩා සිල්ක් රෙද්දකින් (ඒ කිව්වේ අර එපා කරපු දැක්කත් ඇඟ කහන සිල්ක් රෙද්ද නෙවේ) කරපු කොට්ට උරයකින් වැහුණු කොට්ටයකට ඔළුව තිබ්බම ඝර්ෂණය අඩුයි. ඒ වගේ ම කොණ්ඩය සහ ඔලුවත් පිරිසිදුවට තියනවා. මීට සාපේක්ෂව කපු රෙදි අපේ තියන ස්වාභාවික තෙල් ගතිය පවා උරා ගන්නවා.

4. මනා ව්‍යායාම

තමන්ගේ ශරීරයට ගැලපෙන ව්‍යායාම නිතිපතා කිරීමෙන් ඇත්තෙන් ම ලේ ගමනාගමනය හරිහැටි ක්‍රමවත්ව සිද්ධ වෙනවා. ඉතින් ගමේ භාෂාවෙන් කිව්වොත් මූණේ ලේ පිරෙනවා. එහෙම ක්‍රමවත් ලේ ගමනාගමනයක් නැති උදවිය ව අපි ලේ කඳුළක් නැති මිනිස්සු විදියට දකිනවා. කොහොමත් ව්‍යායාම කිරීම සෞඛ්‍යය අතිනුත් හොඳයිනේ.

5. මොයිස්චරයිසර් එකක් භාවිත කිරීම

අපේ ඇඟේ ලෝකයට වැඩියෙන් ම නිරාවරණය වෙන්නේ හම. ඉර එළිය සහ කුණු දූවිලි ඔක්කොම තැවරෙන්නේ ඒකේ. හම ඉක්මනින් වියළි ස්වාභාවයට පත් වෙනවා. මේ දවස්වල සාමාන්‍ය ක්‍රමයට වඩා තුන් හතර ගුණයක් ඕක වෙනවා. ඉතින් සම පිළිබඳ විශේෂඥවරු පවා කියනවා මොන මට්ටමේ හමකට වුණත් මොයිස්චරයිසර් එකක් ගාන්න කියලා. ඒ කැමති නැත්නම් ඊට වඩා ලයිට් මොකක් හරි ලෝෂන් එකක් ගෑම කරන්න ම ඕනි.

6. හොඳින් ජලය පානය

දැන් ඉස්සෙල්ලා කිව්ව ලෙමන් පානය හැම වෙලේම බොන්න පුළුවන් එකක් නෙවේනේ. නමුත් හැම වෙලේම බොන්න පුළුවන් සහ බිව යුතු දෙයක් තියනවා. ඒ තමයි ජලය. ගහක් වුණත් වතුර නැති වුණාම මැරෙනවා. මිනිස් හමත් එහෙමයි. අපේ සෛලවල පවා තියෙන්නේ ජලය. විජලන තත්ත්වයක් ඇති නොවී හොඳට ම ජලීය තත්ත්වයක තියන හමක හොඳට වතුර ලබපු පැලයක තියන පණ තියෙනවා. හම දීප්තිමත් වෙනවා.

7. ප්‍රමාණවත් නින්ද

හරිහමන් නින්දක් නැත්නම් (පැය 7ක) ඔය ඔක්කොම හබක්. ඇයි කියනවා නම් ඒ ප්‍රමාණවත් දිගු නින්දෙදී තමයි මැරුණු සෛල වෙනුවට අලුත් සෛල නිපදවෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලියට බාධා වුණාම මැරුණු සෛල එක්කම තමයි ඉන්න වෙන්නේ. එතකොට නම් මේකප් තට්ටුවක් තැවරුවත් මූණේ ඇල්මැරුණු ගතිය යන එකක් නෑ.
gossip lanka