ආදරවන්තයින් කිහිප දෙනෙකු සිටීමේ අරුම පුදුම වාසි

රිලේශන්ෂිප් එහෙම නැතිනම් සම්බන්ධතා කියන දේ අද වෙද්දි ඉස්සරට වඩා සංකීර්ණ වෙලා. අද වෙද්දි එක් අයෙකුට එක් සහකරුවක් කියන සංකල්පය ඉරි තැලෙන්නට පටන් අරන් තියෙනවා. ආගමික දෙසුම් වල කොපමණ එක් සහකරුවෙක් සමග සිටීමේ වාසි ගැන කිව්වත් සමාජය දිහා බැලුවාම එය එසේ නොවන තැන් බොහෝමයි. සමහර අය ප්‍රසිද්ධියේම කිහිප දෙනෙක්ට ආදරය කරනවා. තවත් අය ලොවට හොර රහසේ තවත් සම්බන්ධකම් පවත්වා ගන්නවා. ලොවට හොරා කිව්වට ඇතැම් ඒවායේදි සිදුවන්නේ එක් පාර්ශවයකට සම්බන්ධතාවය සැඟවීම පමණයි. ඒ කෙසේ වෙතත් ලෝකේ කොයි කෙළවරේ බැලුවත් සියයට සියයක්ම එක් සහකාරයෙක් සහකාරියක් එක්ක විතරක් ජීවත්වෙන සමාජ නැහැ.
කොයි කොයි සමාජයෙත් අනියම් සම්බන්ධතා හෙවත් එක සහකරුවෙකුගෙන් සෑහීමකට පත් වෙන්න බැරි අවස්ථා තියෙනවා. ප්‍රංශ රටේ ජෝඩු වලින් විශාල සංඛ්‍යාවක් අනියම් සම්බන්ධතා පවත්වනවා. ඇමරිකාවේ විවාහ වෙන අයගෙන් 50%ක්ට ආසන්න ප්‍රමාණයක් දික්කසාද වෙනවා. බටහිර මූලික වුණු මේ පවුල් අවුල් දැන් ඉන්දියාවේ හෙමත් සැරටම පැතිරගෙන යනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ එක් සම්බන්ධතාවයකින් ලබාගත හැකි ප්‍රයෝජන ගැන තවත් එක බණක් නම් නෙමෙයි. මේ එහෙම සම්බන්ධකම් කිහිපයක් තියෙන එකේ වාසි මොනවාද කියලා බලන්නයි අපි සැරසෙන්නේ.

තිබිය හැකි ආකාර ආදරය කරන කාලේ එකට ඉන්න ප්‍රාර්ථනා කළත් ආදරය කරන කාලය තුළ එක් වරක් හෝ සිත වෙනස් වීම සාමාන්‍ය දෙයක්. සිත වෙනස් වී කොහේ හෝ ඇලුණු පළියටම සම්බන්ධතාවක් ඇති වන්නේ නැහැ. ඒත් ආදරය බිඳ වැටීම්, අදහස් නොගැලපීම් රණ්ඩු දබර අවස්ථාවල දී ආදරයට බැකප් ඉබේම පහළ වෙනවා. ගොඩක් වෙලාවට අපිට ආසන්නයේම ඉඳන් දුක අහන්න ඉන්න කෙනාට ඊළඟ ආදර කතාවට මුල පුරන්න යෂ්ටිය හම්බෙනවා.

කසාද බැන්දා කියන්නේ සමහරන්ට තවත් එක ආගමික ධ්‍යානයකට සම වැදීමක් නෙමෙයි. එය හුදෙක් නීතිමය බැඳීමක් විතරයි. ඉතින් කසාද ජීවිතේදිත් සමහර අය පෙර ආදර පළපුරුද්ද පාවිච්චි කරලා තවත් සම්බන්ධකම් වලට එළඹෙනවා. ඒ කොහොම වුනත් ලංකාව වගේ රටකදි නම් ප්‍රසිද්ධියේ තවත් පෙම්වතියක්, පෙම්වතෙක් තියාගන ඉන්න අවස්ථා බොහොම අඩුයි. ඒත් බටහිර රටවල නම් එකකට වැඩි සහකරුවන්, සහකාරියන් සමග ජීවත්වීම කියන සංකල්පය දැන් යම් තාක් දුරකට ජනප්‍රිය වේගෙන යනවා.

1. අලුත් ජීවන රටාවක්

කෑම හෝ වේවා විනෝද ක්‍රියා හෝ වේවා අපේ සහකරු ​හෝ සහකාරිය කැමති දේවල් තියෙනවා. ඔහු කැමති අල වලට නම් හැමදාම අපිට අලම කන්න වෙනවා. ඇය කැමති රොමැන්තික ෆිල්ම් වලට නම් හැමදාම අපිට රොමැන්තික ෆිල්ම් බලන්න වෙනවා. අලුත් පෙම්වතියක්/ පෙම්වතෙක් කියන්නේම අලුත් අත්දැකීම් ගොඩක්. අලුතින් හිතන්න අලුත් විනෝදාංශ එකතු කරගන්න වගේම අලුත් ලයිෆ් ස්ටයිල් එකක් අපිට කනෙක්ට් වෙනවා. ඒකත් එක්ක මෙතෙක් ජීවිතේ කියාලා අපි හිතාගෙන හිටිය සීමාව පළල් වෙන්නට ගන්නවා.



2. නැවුම් අත්දැකීම් ගන්න හැකි වීම

ඔයාගේ පාට්නර් ටිකක් කම්මැලි කෙනෙක් නම් ඔහු එක්ක කඳු නැගීම ට්‍රෙකින් යාම වගේ දේවල් කරන්න අමාරුයි. ඒ වගේම වතුරට ආස නැති කෙනෙක් නම් බීච් එකට ගිහින් ආතල් එකේ කාලයක් ගත කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ වගේ අයට එක්ස්පීරියන්ස් එකතු කරගන්න හැකිවෙනවා අලුත් කෙනෙක් එක්ක සම්බන්ධ වුනොත්. නිතර පිංදහම් කරන්න කමැති යාළුවෙක්ට නිතර පින් දහම් කරන යාළුවෙක් ජීවිතේට සමීප වුනොත් එය එලොව දියුණුවට වගේම මෙලොව සතුටටත් වැදගත් වෙනවා. අපිට එක්ස්පීරියන්ස් වගේ දෙයක් පොතක් කියවලා හෝ වීඩියෝ එකකින් ගන්න බැහැ. ඇය හෝ ඔහු ජීවත්වෙන ලයිෆ් ස්ටයිල් එකේදි ඔහුට, ඇයට වඩාත් ලේසි පහසුවෙන් කරන්න හැකි දේවල් ටික කලකින් අපිටත් සමීප වෙනවා.

3. බෝරින් ලයිෆ්ස්ටයිල් එකෙන් ගැලවෙන්න ලැබීම


ඔෆිස් යනවා, කෝච්චියේ බස් එකේ එනවා මේකද ජීවිතේ? ක්ලාස් යනවා, කැම්පස් යනවා මේකද ජීවිතේ? කුඹුරට යනවා පොළට යනවා මේකද ජීවිතේ? ආදී වශයෙන් මේකද ජීවිතේ කියලා ජීවිතේ තියෙන ඒකාකාරී බව ගැන අපිට කළකිරීමක් ඇතිවෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ බෝරින් ලයිෆ් එකට ඒ ජාතියේම බෝරින් පාට්නර් කෙනෙක් අලුතින් එකතු වුනොත් එතනදි අපිට ඒ බෝරින් කම ගැනම වැඩිදුර සාකච්ඡා කරලා අලුත් සම්බන්ධතාවයකට යන්න පුළුවන්කම ලැබෙනවා. ලංකාවේ කෝච්චි බස් වල හැමදාම එකට වැඩට යන අය අතර මේ විදිහේ එදිනෙදා ප්‍රශ්නම කතාකරලා සෙට් වුන අලුත් ජෝඩු ඉන්නවා.

4. අලුත් අත්හදාබැලීම් වලට යන්න හැකි වීම


ගෑණු, පිරිමි රිලේශන්ෂිප් එකක අලුත් අත්හදාබැලීම් කිව්ව ගමන් සමහර අයට සෙක්ස් අත්හදාබැලීම් ගැන මතක් වෙනවා. ඒකෙත් ඇත්තක් තියෙනවා. මනුස්සයා වෙනස් වෙද්දි ලිංගික සම්බන්ධතාවලටත් අලුත් අත්හදාබැලීම් එකතු වෙනවා. ඒ විතරක්ම නෙමෙයි, සමහර තුන්කොන් ආදර කතාවලදි එක ආදර කතා කොටසක් තියෙන්නේ සැඟවිලා. ඒ ආදර කතාව ගෙනියන්න වෙන්නේම හැංගුන මෝඩ් එකකින්. එතකොට ලොවට හොරෙන් සඟවා හොර රහසේ ඒ රිලේශන්ෂිප් එක දියත් කරන එකත් ලොකු අත්හදාබැලීමක්. සමහර යාත්‍රා නම් දියත් කරන්නත් කලින් අහුවෙලා සුනු විසුණු වෙනවා. ඒත් අත්දැකීම් එක්ක සමහර කප්පිත්තෝ අලුත් රිලේශන්ෂිප් කොහොම හරි දුවාගන්නවා.ඒකත් ජීවිතයට හොඳ අත්දැකීමක්.

5. දුක බෙදා ගන්නට ලේසි වීම


දුක කියන දේ ඉතින් හැම කෙනෙක්ටම එනවා. ඔෆිස් එකේ වැඩකරන තැන ප්‍රශ්න, අපිට තියෙන සල්ලිය බාගේ ප්‍රශ්න. ගෙවල් දොරවල්වල ප්‍රශ්න. පවුල් ප්‍රශ්න ආදිය හැමෝටම තියෙනවා. සමහර දුකවල් ඉන්න ස්ථීර කෙනා එක්ක කියලාම එපා වෙලා. එයාලටත් ඒවා අහලාම එපා වෙලා. ඒ වගේ වෙලාවක අපේ දුක තියාගෙන තදකරගෙන ඉන්නවාට වඩා අලුත් කෙනකුට ඒ දුක කියලා ෂෙයාර් කරගන්න එක වටිනවා. සමහර මේ දුක් අහන රිලේශන්ෂිප් ලිංගික සම්බන්ධකම් දක්වා දිවයන දරුණු ඒවාත් නෙමෙයි. ඒත් එකම වර්ගයේ කෙනෙක්ට දුක කියනවාට වඩා විරුද්ධ ලිංගික කෙනෙක්ට දුක කියන එකේ යම් ලල් එකක් මිනිසුන්ට තියෙනවා.

6. පිහිටට තවත් ප්‍රබල හස්තයක්


අපි හැමෝටම ප්‍රශ්න විතරක් නෙමෙයි. උත්තරත් ඕනි වෙනවා. කොච්චර ළඟ පාත හිටියත් අපිට හදිසියට අතමාරුවක් ඉල්ල ගන්න විස්වාසවන්තයෙක් ඕනි වෙනවා. අපි වෙනුවෙන් තැනකට යන්න කැපවීමක් කරන්න කෙනෙක් ඕනා වෙනවා. අපිට වෙන තැනක තියෙන පොතක්, සාරියක්, ශර්ට් එකක්, බෑග් එකක් ගන්න ඕනි වෙනවා. ඒ වගේ අවස්ථාවලදි වගේම අපිට එන අභියෝග වලදිත් තව අතක් අපිට පිහිටට තියෙන එක වැදගත් වෙනවා. අපි හිතමු ඔන්න අපි පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. අපි හිතන තරම් ඒක මාකට් වෙන්නෙ නැහැ. ඒ වගේ වෙලාවක ඒක මාකට් කරගන්න ඕනිකම හැමෝටම එන්නේ නැහැ. අපේ ඉන්න කෙනාට ඒවා ගැන වැඩිය නිච්චියකුත් නැහැ. ඒ වගේ ජීවිතේ වැඩට අලුත් හවුල්කාරයෙක් විදිහටත් මේ අලුත් සම්බන්ධතාවය වැදගත් වෙනවා.

7. ඊර්ෂ්‍යාව අඩු කරගන්න හැකි වීම


අනෙක් කෙනා ගැන වැඩි අවධානයෙන් ඉන්න වන එකම සමහර සම්බන්ධතා බිඳ වැටෙන්න එක හේතුවක්. කවුද එයාට කතා කරන්නේ? කාටද අනේ ඒ මැසේජ් කරන්නේ? ඇයි ඔයා හැමතිස්සේම ෆෝන් එකේ? ඔයා කොහෙද අනේ යන්නේ? ආදී ප්‍රශ්න ගොඩක් සාමාන්‍ය සම්බන්ධතාවයකදි එනවා. තමුන්ටත් අලුත් සම්බන්ධතාවක් ආවට පස්සේ අනෙකා ගැන ඕනවට වඩා හෙවීම නතර වෙනවා. එක්කෝ නතර කරගන්න සිද්ද වෙනවා. ඒ නිසා ඉරිසියාව නිසා ඇතිවෙන්න පුළුවන් ගැටුම් තියෙනවා නම් එවත් ටිකෙන් ටික සමනය වෙලා යනවා.

ඔබටත් ගැලපේද?


ලෝකේ අනික් අය අඳින හැම ඇඳුමම අපිට ගැලපෙන්නේ නැහැ. අනික් අය අඳින පලියට ඇඳුම් අඳින්න ගියොත් එක පසෙකින් අපේ පර්ස් එකට හොඳ නැහැ. අනෙක් පැත්තෙන් ලෝකෙට විහිලුවක් වෙනවා. ඉතින් ඒ නිසා අනික් අයට සම්බන්ධතා හතර අතේ තිබුනාට එය ඔයාටත් ගැලපෙනවාද කියලා හිතන්න ඕනි. එකක් කරගන්නෙත් සෑහෙන අමාරුවෙන් කොට කොහොමද තව ඒවා ගැන හිතන්නේ කියන පොදු ප්‍රශ්නයත් බොහෝ අයට තියෙනවා. ඉතින් වාසි තිබුනාය කිව්වට ඒවායේ තියෙන අවාසිත් ඒ වගේම තියෙනවා. කොහොම වුනත් අපිට ගැලපෙන දේ කරනවා මිස ලෝකේ මිනිස්සු කරන පලියට සම්බන්ධතා ඇතිකරගන්න යන එක නුවණට හුරු නැහැ කියන එකයි අපි නිගමනය.
gossip lanka