සල්ලි වියදම් නොකර ගෙදර තියෙන දේවල්වලින් ලස්සන වෙමු

අපි කවුරුත් ආසයි ලස්සනට ඉන්න. නමුත් ඒ සඳහා වෙළෙඳපොළේ තිබෙන කෘත්‍රිම ආලේපන වර්ග භාවිතය සුදුසු නැහැ. ඒ තුළින් මුහුණ අවලස්සන වීමටද ඉඩ තිබෙනවා. ඔබට අවශ්‍ය ලස්සන හා තරුණ බව ස්වභාවිකව ලබාගැනීම සඳහා ස්වාභාවික ශාකසාර භාවිතය ඉතාම සුදුසුයි. කෝමාරිකා කියන්නේ එවැනි වටිනා ඔෟෂධීය ශාකයක්. කෝමාරිකා යුෂ සම මත ගැල්වීමෙන් එය සම මත ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරනවා.


ඒ තුළින් සමට අහිතකර හිරු කිරණ ඇතුළු වීම වළක්වනවා. කෝමාරිකා මඟින් තෙතමනය ආරක්ෂා කිරීමත් සිදුවෙනවා. එමෙන්ම කහ සහ දෙහි කියන්නෙත් සම ස්වාභාවිකව පැහැපත් කරන ස්වාභාවික ඔෟෂධ දෙකක්. මෙවැනි ඔෟෂධීය ශාකසාර භාවිතයෙන් නිවෙසේදීම සාදාගත හැකි පැක් වර්ග කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද අපි සිතුවා. විශේෂයෙන්ම සාමාන්‍ය, සංවේදී, වියළි ආදී ලෙස ඔබේ සමේ ස්වභාවය අනුව ඔබගේ සමට සුදුසු පැක් වර්ග තෝරා ගැනීමට මේ තුළින් ඔබට හැකියාව ලැබේවි.

All type skin සඳහා සුදුසු පැක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

1   පිරිසුදු කෝමාරිකා කැබැල්ලක්

2   සුදු හඳුන් තේ හැඳි 2ක් පමණ

3    දෙහි බින්දු කිහිපයක්

සාදාගන්නා ආකාරය

හොඳින් සෝදා පිරිසුදු කරගත් කෝමාරිකා කැබැල්ලක් ගෙන එහි මදය කොටස සූරා වෙන් කරගෙන බ්ලෙන්ඩර් කරගන්න. භාජනයක් ගෙන එයට බ්ලෙන්ඩර් කරගත් කෝමාරිකා මදය, සුදු හඳුන්, දෙහි බින්දු යන සියලු ද්‍රව්‍ය එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිත කරන ආකාරය

හොඳින් සෝදා පිරිසුදු කරගත් මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ සාදාගත් පේස්ට් එක ගල්වා ගන්න. (ඇස් වටා ප්‍රදේශය හැර) ඉන්පසුව විනාඩි 20ක් පමණ වියළෙන්නට තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න.

අවසාන පියවර ලෙස ඉන්පසුව සම ටෝනර් කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා සුදුසු ටෝනර් වර්ගයක් භාවිත කළ හැකියි. මෙම සත්කාරය සතියකට දෙවතාවක් සිදු කිරීම තුළින් ඔබේ සමේ දුර්වර්ණ බව, අව්වට පිලිස්සුණු ස්වභාවය ක්‍රමයෙන් අවම වී සම ස්වාභාවිකව පැහැපත් වීමක් සිදුවෙන ආකාරය ඔබට දැකගත හැකියි.

වියළි සම සඳහා සුදුසු පැක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

1   අමු කහ තේ හැඳි 1

2  resh milk තේ හැඳි 1

3   ඔලිව් ඔයිල් හෝ ආගන් ඔයිල් බින්දු 3ක් පමණ

සාදාගන්නා ආකාරය

අමු කහ (ආයුර්වේද ඔෟෂධ වෙළෙඳසල් තුළින් ලබාගත හැකි අමු කහ කුඩු) නැවුම් කිරි, ඔලිව් ඔයිල් හෝ ආගන් ඔයිල් බින්දු කිහිපයක් යන සියලු ද්‍රව්‍ය හොඳින් කලවම් කර පේස්ට් එකක් සාදාගන්න.

භාවිත කරන ආකාරය

හොඳින් සෝදා පිරිසුදු කරගත් මුහුණ, බෙල්ල යන ප්‍රදේශවල සාදාගත් පේස්ට් එක හොඳින් ආලේප කරන්න. (ඇස් වටා ප්‍රදේශය හැර) ආලේප කර විනාඩි 10ක් පමණ කාලයක් තබා ඇල් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

සංවේදී සම සඳහා සුදුසු පැක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

1    කෝමාරිකා මදය කොටස

2   කහ තේ හැඳි 1ක්

3    ටෝනර් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

කෝමාරිකා මදය බ්ලෙන්ඩර් කර ගන්න. එම මිශ්‍රණයටම කහ කුඩු තේ හැඳි 1ක් එකතු කර ටෝනර් ස්වල්පයක්ද එකතු කොට හොඳින් කලවම් කර ගන්න. මෙම මිශ්‍රණය පිරිසුදු කරගත් මුහුණ හා බෙල්ල ප්‍රදේශයේ ආලේප කොට විනාඩි 15ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.

මෙම සත්කාරය සිදු කිරීමෙන් පසුව දවසක් පමණ ගතවන තුරු කිසිදු ආලේපන වර්ගයක් සම මත ගැල්වීමෙන් වළකින්න. සතියට වතාවක් මෙම සත්කාරය සිදු කිරීම තුළින් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකියි.

දිනූෂා මනෝරි නිශ්ශංක


gossip lanka