ජෙනුයින් පොරක් විදිහට සමාජයේ කැපිල පේන්න මේ දේවල් ට්‍රයි කරන්න

අපි කවුරුත් ගොඩක් කැමතියි ඉපදිලා ඔහේ මැරිලා යන්නේ නැතුව සමාජයට වැඩක් ඇති ජෙනුයින් මිනිස්සු විදිහට ජීවත් වෙන්න. හැබැයි ඒ උනාට ගොඩක් වෙලාවට ගොඩක් අයට එහෙම කරන්න එච්චර ඕනෑකමක් නෑ වගේ එකකුත් පෙන්න තියෙනවා. ඒකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ කොයි කාගේත් ජීවිත වල තියෙන කාර්යබහුලකම වෙන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙක්ටම ගෙදරින් පුංචි කාලේදී ලැබෙන උත්ප්‍රේරණය ගොඩක් වැදගත් තමන්ගේ ජිවිතේ කොයි විදිහට ගෙනියනවද කියන එක තීරණය වෙන්න.
ගෙදරින් පොඩි දරුවෙක්ට දකින්න ලැබෙන්නේ නිකන් ඔහේ කාලා බීලා විතරක් ඉන්න එක නම් ඒ දරුවත් තමන්ගේ ජීවිතේ ඒ විදිහට ගෙවන්න පුරුදු වෙන එකේ ගොඩක් ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම අපිට සමාජයේ ආදරය නොලැබුනත් තමන් ජෙනුයින් පොරක් කියල සමාජයෙන් කියනවනම් එක ගොඩක් ලොකු දෙයක්. අන්න එහෙම ජෙනුයින් පොරක් වෙන්න හිතන කෙනෙක්ට මේ දේවල් ට්‍රයි කරලා බලන්න පුළුවන්.

1. බොක්කෙන්ම එන්න ඕනේ


ජෙනුයින් පොරක් වෙනවා කියන එකේම තියෙන විදිහට ජෙනුයින් වෙනවා කියන අදහසත් ජෙනුයින් වෙන්න ඕනේ. නිකන් බොරුවට අනිත් අයට පේන්න විතරක් ජෙනුයින් වෙලා තේරුමක් නෑ. සමහරු ඉන්නවා ගෙදරට අන්තිම ජරා මිනිහෙක්. ඒ උනාට පිටට පට්ට ජෙනුයින් පොරක්. අන්න ඒ ජෙනුයින් කමෙන් කිසි ප්‍රයෝජනයක් නෑ. ඒ වගේම තමයි ඕකෙ අනිත් පැත්ත. ඔය කාරණා දෙකම නැතුව ජෙනුයින් විදිහට ජෙනුයින් පොරක් වෙන ඒකෙන් තමන්ට වගේම මුළු මහත් සමාජයටම ගොඩක් ලොකු සෙතක් වෙනවා. අද කාලේ මිනිස්සු අතර ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න හේතුව තමයි මිනිස්සු ජෙනුයින් නැතිවීම.


2. නීතියට පළමු තැන

ජෙනුයින් පොරක් කියන්නේ ඉතින් නීතියට වැඩ කරන පොරක් තමයි. ඒකට අපිට ගන්න පුළුවන් ලඟම උදාහරණය තමයි දේවානි ජයතිලක. අච්චර මිනිස්සු ගොඩක් මැද්දේ ඇය නීතිය ආරක්ෂා කරන්න නීතියට වැඩ කරන්න කිසිම බයක් නැතුව ඉදිරිපත් වෙනවා. අන්න ඒ ඇයගේ ජෙනුයින්කම නිසා වෙච්ච දෙයක් මිසක් බොරුවට මවාගත්ත ප්‍රතිරූපයක් නෙමෙයි. සමහරවිට ඇය දන්නෙවත් නැතුව ඇති ඒ සංවාදය කවුරුහරි වීඩියෝ කරනවා කියලවත්. ඒ නිසා අනිත් අයට පෙනුනත් නැතත් නීතියට අනුව වැඩකරන්න හිතාගන්න. ඒක පට්ට ජෙනුයින්. අපිට මේ වගේ ජෙනුයින් නැති පොරවල් ගොඩක් දකින්න පුළුවන් පාරේදී. උදාහරණයක් කිව්වොත්, නීතියට අනුව කහ ඉර උඩ වාහනයක් නවත්තන් ඉන්න බෑ. කහ ඉර බේරලා ඕනේ නවත්තන්න. ඒත් පොඩ්ඩක් බලන්න ඇත්තටම එහෙම ජෙනුයින් මිනිස්සු ඉන්නවද කියල. ඔක්කොමල ගිහින් නවත්තන් ඉන්නවා කහ ඉර ගැන ගානක්වත් නැතුව. පාර පනින මිනිස්සු යන්න ඕනේ නයා යනවා වගේ වාහන අස්සෙන්.


3. පැවරුණු වැඩ වෙලාවට ඉවර කරන්න


මේක සේවාස්ථාන වල වැඩකරන අයට ජෙනුයින් වෙන්න පුළුවන් විදිහක්. ඕනෑම කෙනෙක් පඩියකට යම් තැනක වැඩ කරනවානම්, ඒ කෙනාට යම් කාර්යයන් ප්‍රමාණයක් පැවරෙනවා. හැබැයි, ඇත්තටම කීයෙන් කී දෙනාද ඒ පැවරෙන වැඩ අදාළ වෙලාවට කලින් ඉවර කරන්නේ. ගොඩක් අය කොච්චර වැඩ තිබුනත් එයාගේ පුද්ගලික වැඩ ටික ඉවර කරලා තමයි ආයතනයේ වැඩ කරන්න පටන් ගන්නේ. අදටත් ගොඩක් ඔෆිස් තියෙනවා වැඩ පැත්තකින් තියල සාරි තෝරන ඒවා, ඊයේ රෑ පාටි වල කතන්දර කතා කරන ඒවා, හවස සෙට් වෙන එක ප්ලෑන් කරන ඒවා වගේ දේවල් රාජකාරි වෙලාවේ කරන උදවිය ඉන්න. ඉතින් එහෙම ඔෆිස් එකක් දියුණු උනොත් තමයි පුදුමේ. ඒ වගේම එහෙම කරන අයට කවදාවත් කවුරුවත් ජෙනුයින් පොරක් කියල කියන එකක් නෑ. හැබැයි අනිත් අය ඔය මොන දේ කළත් ඔයා ඔයාගේ වැඩ ටික වෙලාවට ඉවර කරලා තමන්ගේ පුද්ගලික වැඩක් කළත් කාටවත් මුකුත් කියන්න බෑ. අනිත් අයත් දවසක කියයි අරූ නම් මාර ජෙනුයින් පොරක් කියල.


4. කරන දේ කියන, කියන දේ කරන


ජෙනුයින් මිනිස්සුන්ගේ තව ලක්ෂණයක් තමයි තමන් බොරුවට කයිවාරු නොගහ කියන දේ කොහොමහරි කරන එක සහ කරන දේ විතරක් කියන ගතිය. ඒක නම් බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ යථාකාරී තථාවාදී ගුණය කියල. අන්න ඒ වගේ තමන් යම් දෙයක් කළා නම් ඒ කළ දේ විතරක් කියන්න ඕනේ. ඕක ඉතින් දේශපාලනයේ යෙදිලා ඉන්න අයටනම් ගොඩක්ම අදාළයි. එක ගෙයක් හදල ගම්මානයක් හැදුවා කියල මීටින් වල කියනවා වගේ ඒවා අපිට ඇහිලා තියෙනවනේ. ඒ නිසා මෙන්න මේ ලක්ෂණය තමන් තුළ ඇතිකරගන්න එකෙනුත් ජෙනුයින් පොරක් විදිහට සමාජයේ පිළිගැනීමට ලක් වෙන්න පුළුවන්.


5. හිතේ එකයි බඩේ එකයි බෑ


අපිට අපේ ඉන්න යාලුවන්ගෙන්ම මේ වගේ අයව අඳුනගන්න පුළුවන් ලේසියෙන්. අපේ මූණට කිව්වට උඹ තමයි මගේ බොක්ක කියල ඒ කියන්නේ ඇත්තටම නෙමෙයි කියන එක අපි අත්දැකීමෙන් දන්නවා. අන්න ඒ වගේ වෙන්නේ නැතුව කෙනෙක් ගැන තමන්ගේ හිතේ තියෙන ඇත්තම හැඟීම ඒ කෙනාට කියන එක ගොඩක් ජෙනුයින් වැඩක්. ඒ කෙනාට ඒක එච්චර හිතට සතුටක් නොවුනත් ඒ කෙනා හිතයි මූ නම් පට්ට ජෙනුයින් පොරක් කියල. ඒ වගේම සමහර අය ඉන්නවා කාපු බීපු වෙලාවට විතරක් පණ දෙන්න කතාකරන. ජෙනුයින් වෙන්න නම් ඒ වගේ වෙන්නේ නැතුව තමන්ගේ හැඟීම් අව්‍යාජව එලියට දාන එක ගොඩක් වැදගත්. ඒකත් ජෙනුයින් වෙන්න පුළුවන් තව විදිහක්.


6. ජෙනුයින් හිනාව


උඩ කියපු කාරණාවත් එක්කම වගේ යන එකක් මේකත්. ජෙනුයින් විදිහට හිනා වෙන්නේ පොඩි දරුවන් විතරයි කියන කතාවත් දැන් සමාජයේ මුල් බැහැ ගත්ත කතාවක්. එකට හේතුව මිනිස්සු තව කෙනෙක්ට නිකන් දෙන හිනාව වත් අවංකව දෙන්නේ නැති වීම. ඔෆිස් වල නම් ඉතින් කස්ටමර් කෙනෙක් එක්ක ජෙනුයින් ව හිනා වෙනවා කියන්නේ ඉතින් ගොඩක් දුර්ලභ දෙයක්. ඇත්තටම ඔෆිස් වල වැඩ කරන අයට එහෙම හිනාවෙන්න තරම් වටපිටාවක් නැතිවෙන්න පුළුවන්. ඒත් එහෙම නොවී ඇත්තටම කෙනෙක් එක්ක හිනාවෙන්න පුළුවන් කෙනෙක්නම් ඔයා, ඔයා පට්ට ජෙනුයින් පොරක්.


7. වරදට තියෙන බය


වරදට බය වීමත් ජෙනුයින් පොරකගේ ලක්ෂණයක්. වරදක් කියන්නේ නීතියට අනුව වරදක් වෙන්නම අවශ්‍ය නෑ. සමහර දේවල් තියෙනවා නීතියට අනුව වරදක් නොවන. හැබැයි මනුෂ්‍ය දහම අනුව වරදක් වෙන. අන්න ඒ වැරදි වලට තියෙන බය කියන්නෙත් ජෙනුයින් මිනිහෙක් ගේ ලක්ෂණයක්. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා සුපර් මාර්කට් එකක බිල ගෙවන්න පෝලිමේ නැතුව තව කෙනෙක්ගේ අවස්ථාව උදුරලා අරන් ඉස්සරහට යන එකත් ඒ වගේ මනුෂ්‍ය දහම අනුව වරදක්. අන්න ඒවගේ දේවල් වලින් ඈත් වීමත් ජෙනුයින් පොරකගේ ගතියක්.
gossip lanka