මේ රටේ මිනිස්සු කොරෝනා නිසා තනිකර කෙළපු පිස්සු 7ක්

වසංගත තත්ත්වයක් විදියට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් කොරෝනා වෛරසය දැන් අපේ රටටත් එබිකම් කරලා ඉවරයි. අනෙක් රටවල වගේ මහා ව්‍යසනකාරී විදියට අපට ඒ දේ නොවන්න අවශ්‍ය කරුණු කාරණා අදාළ බලධාරීන් විසින් කෙරීගෙන යනවා. ඒ අස්සේ ඉතින් කවදත් වගේ සිරි ලංකා ලකුණ අමුතු විදියට තියන්න දඟලනවා. එහෙම වුණ අවස්ථා කීපයකුයි මේ.


1. සුපර්මාර්කට් පිස්සුව

බය වෙන්න තියා හිතන්නවත් කාරණයක් නොතිබුණ අවධියක දන්සල් පෝලිම් වගේ බඩු ගන්න උදවිය සුපර්මාර්කට් අස්සේ රිංගුවා. ඒ ගිහිල්ලා තියෙන සබ්බ සකලමනාවම, කොන්ඩොම් පැකට් පවා තොග වශයෙන් මිල දී ගත්තා. අනික් මිනිස්සුත් ජීවත් වෙන්න​ය ඕනි ඉතින් තමන් මේ කරන විකාරෙ තේරුම මොකද්ද කියල කිසිම හිතිල්ලක් බැලිල්ලක් තිබ්බෙ නෑ. මේක වෙන්න සමහරවිට ගොඩක්ම බලපෑම් කරන්න ඇත්තේ විදෙස් ප්‍රවෘත්ති නාලිකා. ඒවා නිතර බැලෙන සමාජ මට්ටම්වලට අයිති අය මාකැට්ටු ගාණේ ගියා මිස, සිල්ලර කඩවලට ඔහොම අහේනියකට බය වුණ අය ආවේ නෑ.

2. සැප මදි පිස්සුව

මේ පිස්සුව ආවේ මේ පිටරට ඉඳන් මෙහේ ඇවිල්ලා ලංකාව නෙවේ බකිංහැම් කියලා හිතපු කට්ටියකගෙන්. එයාලට කුක්කු දීලා තියෙන්නෙත් ප්ලාස්ටික් බෝතලයකට කියලා එහෙම එකක් සෝෂල් මීඩියා දාලා හෙනම නාටකයක් කරලා තිබ්බා. ලයිව් ඇවිල්ලා අපිට උම්මා දුන්නේ නෑ, කන්න බොන්න නෑ කියලා බයිලා ගැහුවා. තියන අවම පහසුකම් මධ්‍යයේ දුන්න සත්කාර ටික ලබන්නවත් සුදුසු නැති අමුතු මිනිස්සු.

3. කටකතා පිස්සුව

මේ හුළඟෙන් ඒඩ්ස් බෝවෙන බවට විශ්වාස කරපු උදවිය හිටිය පුණ්‍ය භූමියක්නේ. ඉතින් කින්ද මන්ද මොකද්ද කියන කිසි දෙයක් දන්නේ නැතුව අහිංසක මිනිස්සුන්ට එක එක කටකතා හදලා සෝෂල් මීඩියා හරහා ඒවා බෙදා හැරියා. වට්ස්ඇප්වලින් එව්වා. ආණ්ඩුවෙන් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න බවට කිව්වයෙන් පස්සේ තමයි ඩිංගක් හරි හරි ගියේ.

4. මුකවාඩම් පිස්සුව

කිසිම ෆාමසියක මේ වෙනකොට මාස්ක් ගන්න නැත. ඔක්කොම අපේ අයියලා අරගෙන. හැබැයි මේවා දාන කෙනෙකුත් පාර තොටේදි හම්බුවෙන්නේ නෑ. නිරෝධායන මධ්‍යස්ථානවල සහ රෝහල්වල ඉන්න කාර්‍යමණ්ඩලවලට දාන්නත් මාස්ක් මදි වෙනවා මෙහෙම ගියොතින්. මේ විදියට අනියත බියක් ඇති කරගෙන මාස්ක් දාන්න කිසිම අවශ්‍යතාවක් නෑ කියද්දිත් ඒකම කරනවා.

5. උද්ඝෝෂණ පිස්සුව

මේක පිස්සුවක් කියලා කියුවට මොකෝ සැප මදි පිස්සුවෙන් පස්සේ සමහරුන්ට හිතෙන්න ඇති මේ උද්ඝෝෂණ කරපු අය කියන්නේ ඇත්ත නේද කියලා. නිරෝධායන ක්‍රියාවලියක් කරලා හරි රට ඇතුළට පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් වද්ද ගන්න එපා කියලා හැඳල පැත්තේ තිබුණ උද්ඝෝෂණය ගැනයි මේ.

6. පැනඩෝල් පිස්සුව

මේකත් ඉතාලි දේශයෙන් ආපු පිස්සු හුටමක් තමයි. එහේ ඉන්දැද්දිම උණ එහෙම හැදිලා තිබිලා. ඉතින් මේ ඇඟ පුරාම මොළේ තියන උදවිය ඒ උණ හංගන්න පැනඩෝල් ගහලා නිරෝධායනයෙනුත් පනින්න. එහෙම ගිහින් බැරි වෙලාවත් ඒ පවුලක ගමක මනුස්සයෙක්ට හැදුණා නම් ඉවරයිනේ. මේ මධ්‍යස්ථානවලින් හම්බුවෙන්නේ ම ඉතාලි දේශේ සත්ගුණවත් උදවිය. ඒ අස්සේ මෙයාලා මෙහෙම.

7. උපදේශන පිස්සුව

මේකට පිස්සුවක් කියන්නමත් බෑ මොකද ජාතික ව්‍යසන අවස්ථාවක රටේ ජනතාවගේ අදහස් වටින නිසා. ඒත් සමහරු මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවට සෝෂල් මීඩියාවල දෙන උපදෙස් නම් පොඩ්ඩක් විදියට ඕවර් යනවා වගේ මෙව්වා එකක් තියනවා. උපදේශනමත් නෙවේ සමහර ඒවා කෙලින්ම දේශපාලන එදිරිවාදිකම්. මේ වෙලාවෙ ඒවා ඕනිම නෑ.
gossip lanka