පිළිකා මර්ධනයට ශුක්‍රාණු මඟින් නවතම ක්‍රමවේදයක්

පිළිකා (Cancer) කිව් සැනින් අපගේ සියොළඟම කිළිපොලා යන්නේ එහි ඇති මාරාන්තික බව නිසාමය. පිළිකාවක්‌ වැළඳුන අයකුගේ ජීවිතය ඉතා අවදානම් සහගතය. සමහර පිළිකා ඉතා සෙමෙන් වැඩී සිරුර පුරා පැතිරයන අතර සමහර පිළිකා ඉතා කෙටිකාලයකදී ශරීරය පුරා ව්‍යාප්ත වී රෝගියා අවසන් ගමන් රැගෙන යන්නේය. ශරීරය අභ්‍යන්තරයෙහි ඉතා රහසිගතව වැඩෙන සමහර පිළිකා සෛල හඳුනාගන්නා විට රෝගියාගේ සිරුර පුරා එය ව්‍යාප්ත වී හමාරය. ලේ පිළිකා, ඇටමිඳුළු පිළිකා ආදිය ඊට උදාහරණ වේ.
විශේෂයෙන් කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතුරින් ගර්භාෂගත පිළිකා, පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා ප්‍රධාන තැනක්‌ ගන්නීය. පියයුරු පිළිකා කළින් හඳුනාගැනීමෙන් (බාහිර වෙනස්‌කම් මඟින්) නිසි කලට ප්‍රතිකාර ලබාදීමෙන් පහසුවෙන් සුවකරගත හැකිය. නමුත් ගැබ්ගෙල පිළිකා (Cervical Cancer) හා ගර්භාෂගත පිළිකා (Womb Cancer) හඳුනාගන්නා විට ඉන් සෑහෙන තරමක්‌ රෝගියාගේ සිරුර ආක්‍රමණය වී තිබිය හැකිය. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම යම්තරමකට සුවිශේෂීය. මේ සඳහාම වෙන්වූ රෝහල්, සායන, විශේෂිත ප්‍රතිකාර ඒකක ලොව පුරා සෑම රටකම පාහේ දක්‌නට ලැබේ. මෙම ප්‍රතිකාර ක්‍රම පිළිකාව හඳුනාගැනීමේ සිට යම් යම් ශල්‍යකර්ම මඟින් ද (Surgery) විද්යුත් විකිරණවේදී ප්‍රතිකාර (Radiation Therapy), රස චිකිත්සක ප්‍රතිකාර (Chemo Therapy) හා හෝර්මෝන චිකිත්සක ප්‍රතිකාර ආදී වශයෙන් විවිධාකාර වේ. මේවා අතුරින් වඩාත්ම යෝග්‍ය ප්‍රතිකාරය රෝගියාගේ රෝගී තත්ත්වය, වයස, අනෙකුත් ප්‍රතිකාර වර්ග, රෝග ඉතිහාසය යන කරුණු මත පදනම්ව ලබාදීමට වෛද්‍යවරු යුහුසුළු වෙති. මෙම ප්‍රතිකාර ක්‍රම අතරින් රස චිකිත්සක (Chemo Therapy) ප්‍රතිකාරය වඩා ආරක්‌ෂාදායි වුණත් ඉන් පිළිකා සෛල විනාශ කරනවා සේම අහිංසක නිරෝගී සෛලත් තරමක්‌ විනාශ කරනු ලබන්නේය.

විශේෂයෙන් කාන්තාවන්ගේ ගැබ්ගෙල ආශ්‍රිත (Cervical Cancer) පිළිකා මෙන්ම ගර්භාෂගත පිළිකා (Womb Cancer) සඳහා කරනු ලබන Chemo ප්‍රතිකාරය නිසා නිරෝගී සෛලත් විනාශ වී අතුරු ආබාධ නිර්මාණය වීම වැළැක්‌විය නොහැකිය. මෙම ප්‍රතිකාරය එන්නත් ආධාරයෙන් රෝගියාගේ සිරුරට ලබාදෙන අතර එම ප්‍රතිකාර ලබාදෙන කාලය තුළ රෝගයා විශේෂිත පරිසරයක රැකබලාගැනීම ද වැදගත්ය. මෙලෙස මෙම ප්‍රතිකාරය නිසා නිරෝගී සෛලයන්ට වන හානිය වළක්‌වා කෙළින්ම පිළිකා සෛලය, ගෙඩිය හෝ වණය වෙත මෙය ලබාදීමට හැකි ක්‍රමයක්‌ ගැන විද්‍යාඥයෝ වසර ගණනාවක සිටම පර්යේෂණවල නියෑලී සිටිති. වරෙක ඔවුන් යම් බැක්‌ටීරියාවක්‌ මත මෙම Chemo ඖෂධ ගල්වා ඒවා එන්නත් මඟින් පිළිකා සෛල තුළට යෑවීමට සැලැස්‌ වූහ. බැක්‌ටීරියා සිරුර තුළට වේගයෙන් කාවදින නිසා මෙමඟින් ඉතා ඉක්‌මණින් මෙම ඖෂධ අදාළ සෛල වෙත ලබාදිය හැකි විය. නමුත් අපේ සිරුරෙහි පවතින ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය මඟින් බැක්‌ටීරියාවලට එරෙහිව ප්‍රතිදේහ සාදා සටන් වැද ඒවා විනාශ කරන නිසා මෙම ක්‍රමය අසාර්ථක විය.

ජර්මනියේ, ෙඩ්‍රස්‌ඩෙන් (Dresden) හි පිහිටි අනුකලන නැනෝ තාක්‌ෂණ විද්‍යායතනයේ (Institute For Integrative Nanosciences) විද්‍යාඥයන් සමූහයක්‌ මීට අපූරු ආදේශකයක්‌ සොයා ගත්හ. ඒ Chemo ඖෂධ ශුක්‍රාණුවක තවරා කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය තුළට යෑවීමෙන් එහි ඇති පිළිකා සෛලවලට කෙළින්ම පහරදී විනාශ කිරීමයි. පළමුවෙන්ම ඔවුන් විසින් ශුක්‍රාණුවක්‌ ගෙන එය Chemo ඖෂධයක්‌ වන ඩොක්‌සොරුබිසින් (Doxorubicin) වල පැය කීපයක්‌ ගිල්වා තබනු ලැබීය. මෙම ඖෂධය පිළිකා සඳහා බහුලව භාවිත කරන්නක්‌ වන අතර මෙමඟින් පිළිකා සෛල වර්ධනයවීමට අවශ්‍ය ටොපොයිසෝමරේස්‌ - 2 (Topoisomerase - 2) නමැති එන්සයිමය ස්‍රාවය වීම නවතනු ලබයි. මෙලෙස මෙම ඖෂධයෙන් පොඟවාගනු ලැබූ ශුක්‍රාණුව යකඩ අඩංගු ද්‍රdවණයකින් ආවරණය කරනු ලබයි. (මෙය ඉතා කුඩා ඉඳිකටු තුඩක ප්‍රමාණයකි). ඉන්පසු මෙම විශේෂිත ශුක්‍රාණුව රෝගී කාන්තාවගේ යෝනි මාර්ගය තුළින් ඇතුළතට විදිනු ලබයි. එවිට එය සාමාන්‍ය පරිදි යෝනි මාර්ග දිගේ ගැබ්ගෙල දක්‌වා පිහිනා යන්නේය. ගැබ්ගෙලෙහි හෝ ගර්භාෂයෙහි අදාළ පිළිකා සෛලය වෙතට එය ගමන් කරවීම සඳහා ප්‍රබල චුම්බකයක්‌ රෝගී කාන්තාවගේ උකුල මතින් එහා මෙහා යවමින් අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑනරයක්‌ මඟින් නිරීක්‌ෂණය කරමින් නිවැරැදි දිශාවට ගමන් කරවා අදාළ පිළිකා සෛලය මතට ඖෂධය සහිත ශුක්‍රාණුව කා වැදීමට සලස්‌වයි. මෙම ශුක්‍රාණුවට දවටන ලද ලෝහමය ආවරණය පාද 4 කින් යුතුය. එමඟින් පිළිකා සෛලය දැඩිව ග්‍රහණය කරගන්නා අතර අදාළ ඖෂධය සෛලය තුළට කා වදී. ඉතා කෙටි කාලයකින් පිළිකා සෛලය මර්දනය වී විනාශ වන අතර ශුක්‍රාණුවේ ලෝහමය ආවරණය ඉබේම ශරීරයෙන් පිටතට ඒ.

දැනට ගවයන්ගේ ශුක්‍රාණු යොදාගනිමින් සිදුකළ පර්යේෂණ ඉතා සාර්ථකත්වයට පත්ව තිබෙන බව පවසන මෙම ජර්මානු විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම ඉදිරියේදී මනුෂ්‍ය ශුක්‍රාණු ආධාරයෙන් මෙය සාර්ථකව අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව ද පවසයි. තව ද නවීන වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක්‌ සනිටුහන් කරන මෙම නව සොයාගැනීම අනෙකුත් පිළිකා විශේෂ සඳහා ප්‍රතිකාර ලෙස යොදාගැනීමට ද සැලසුම් කරමින් සිටින බව වැඩිදුරටත් ඔවුහු ප්‍රකාශ කර සිටිති. මිනිසුන් විනාශ කිරීමට අවි ආයුධ තනන අද ලෝකයේ මිනිසුන් ජීවත්කරවීමට මෙවන් ජීවමය ආයුධයන් තැනීම කෙතරම් මානුෂීය ව්‍යායාමයක්‌ වන්නේද.....?
gossip lanka