හැබෑම ලස්සනක් ළඟාකර ගන්න නම්...

ලස්සන ගැන කවුරුත් හිතනවා වුණත් පිරිසුදුකම ගැන හිතන්නේ අඩුවෙන්. ඒ බව සමාජයේ සැරසරද්දී ඕනෑම අයකුට පැහැදිලි වෙනවා. ඇතැම් කාන්තාවන් බොහොම සුන්දරව සැරසී මහමගට පිවිසියත් ඔවුනගේ අපිරිසුදු බව ඔවුනටත් හොරෙන් සමාජයට විවර වෙන අවස්ථාවන් තිබෙනවා.

තමාගේ රුවේ ලස්සන වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වන ඇතැම් කාන්තාවන් සිරුරේ නිරෝගී බව, පිරිසුදුකම ගැන එතරම් තැකීමක් නොකරයි. මෙය නොදැනුවත්වම ඔබේ සුන්දරත්වයට හානි කරන්නකි. ඒත් බාහිර පෙනුමේ ඇති සුන්දරත්වය නිරන්තරයෙන් ම රඳවා ගැනීමට නම් පිරිසුදු බවද අනිවාර්යයෙන් ම තිබිය යුතුයි.

මෙහිදී සිරුරේ අනෙක් කොටස් සේ ම දෑත්, දෙපා පිරිසුදුව තිබීම, තමා අඳින ඇඳුම් පිරිසුදුව තිබීම, කිහිළි හා ඉකිළි ප්‍රදේශවල රෝම ඉවත්කර පිරිසුදුකර තිබීම ඉතා වැදගත් වන්නකි. පුද්ගලයකුගේ පිරිසුදුකම අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකි.

මෙහිදී ආයුර්වේදයට අනුව අභ්‍යන්තර පිරිසුදු බව ද කොටස් දෙකකි. ඉන් එකක් ලෙස හැඳින්වෙන්නේ ධර්මයට අනුව රාග, ද්වේශ, මෝහ, ඊර්ෂ්‍යාව, පලිගැසීම් ආදී අපවිත්‍ර චේතනාවලින් මිදී සිතේ යහපත් සිතුවිලි ආකල්ප ඇතිකර ගැනීමයි. මෙය මානසික පිරිසුදු බවයි.

දෙවැනි පිරිසුදු බව ශරීරාභ්‍යන්තර හා බාහිර වශයෙන් නැවත වෙන්කර ගත යුතුයි. මෙහිදී ආයුර්වේදයට අනුව අභ්‍යන්තර පිරිසුදු බව ලෙස හඳුන්වන්නේ නස්න, වමන, විරේචන, වස්ති, රක්තමෝක්ෂණ යන පංච කර්මයන් තුළින් ශරීරයේ අභ්‍යන්තර අංග පිරිසුදු කිරීමයි. මෙම පිරිසුදු කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරයකුගේ සහාය ලබා ගත යුතුය.

සිරුරේ බාහිර කොටස ලෙස හඳුන්වන්නේ, සම, හිසකෙස්, නියපොතු, දත්, ඇස් වැනි අංගයන් ය. මේවා පිළිබඳ නිතර හොඳ අවබෝධයකින් හා අවධානයකින් සිටීම රූමත් බව වැඩි දියුණු වන තවත් හේතූන් වේ.

මෙහිදී මැරුණු සම ඉවත්කර ගැනීමත්, හිසකෙස් දහදිය, තෙල්, කුණු, දූවිලිවලින් ඉවත්කර ගැනීමත්, නියපොතු හොඳින් කපා පිරිසුදුකර ගැනීමත් නිතර දත් හොඳින් පිරිසුදුකර ගැනීමත්, ඇස් නිතර පවිත්‍රව තබා ගැනීමත් සඳහා අඩුම තරමින් සතියකට දින 3-4 ක්වත් ස්නානය කිරීමත් දිනපතා මඳ උණුසුම් වතුරේ විනාඩි 10-15 ක් ගත කිරීම ආදිය ඉතා වැදගත් වේ.

හිසකෙස්වල සිට පාදයේ නියපොත්ත දක්වා පිරිසුදු බව රඳවා ගැනීමට උනන්දු වීම රුව ගැන සැලකිලිමත් වන කාන්තාවන්ට ඉතා වැදගත් වේ. ඔබගේ පිරිසුදු බව, ඇඳුම් පැලඳුම්, ආලේපන, මේකප් මඟින් පමණක් නොව සිරුර අභ්‍යන්තරයෙන් ද පැවතිය යුතුමයි.

මේ නිසා රුවේ අලංකාරය ගැන සිතන ඔබ මේ පිළිබඳ සිතා කටයතු කිරීමෙන් නියමාකාර සුන්දරත්වයක් මෙන්ම නිරෝගී සිරුරක් ද ලබා ගත හැකිය.
gossip lanka