හාල්මැස්සන් රස තුනකින් කන්න මෙන්න අපෙන් ඔයාලට රෙසිපි

හාල්මැස්සන් කියන්නේ කැල්සියම්, ප්‍රෝටීන් සහ වෙනත් පෝෂක රැසක් අඩංගු ගුණ සපිරි ආහාරයක්. ඒ වගේම තමයි හාල්මැස්සන් දිරවීම ඉතා පහසුයි. මේ නිසාම පවුලේ ලොකු කුඩා ඕනෑම කෙනෙකුට
හාල්මැස්සන් හොඳින් ගැලපෙන ආහාරයක්.

හාල්මැස්සන් කිරි හොදි


අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. හාල්මැස්සන් ග්‍රෑම් 250ක්
  2. කහ තේ හැඳි 1ක්
  3. මිරිස් කුඩු තේ හැඳි 1ක්
  4. තුනපහ තේ හැඳි 1ක්
  5. කොටා ගත් අබ තේ හැඳි 1ක්
  6. මිටි කිරි කෝප්ප 2ක්
  7. දිය කිරි කෝප්ප 1ක්
  8. පෙති කපා ගත් රතු ලුණු ගෙඩි 4ක්
  9. දෙහි ඉස්ම මේස හැඳි 1ක්
  10. අමු මිරිස් කරල් 2ක්
  11. මාළු මිරිස් කරල් 1ක්
  12. ලුණු අවශ්‍ය පමණ
  13. රම්පා
  14. කරපිංචා ඉති 2ක්

සාදන ක්‍රමය

ශුද්ධ කර ගත් හාල්මැස්සන් හොඳින් සෝදා ගන්න. බඳුනකට හාල්මැස්සන්, දිය කිරි, රතු ලුණු, කහ, රම්පා, කරපිංචා, තුනපහ, ලුණු, පෙති කපා ගත් මිරිස් කරල් සහ මිරිස් කුඩු දමා ලිප තබන්න. දිය ගතිය පහව යන විට අබ සහ මිටි කිරි කෝප්ප දෙක දමන්න. හොද්ද උතුරන විට දෙහි ඉස්ම මිශ්‍ර කරන්න.

හාල්මැස්සන් මැලවීම

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. හාල්මැස්සන් ග්‍රෑම් 250ක්
  2. මාජරින් මේස හැන්දක්  
  3. කුරුඳු පොතු කැබැල්ලක්
  4. ගොරකා කැබැල්ලක්
  5. අමු මිරිස් කරල් 3ක්
  6. සුදු ලුණු බික් 3ක්
  7. කරපිංචා ඉති 2ක්
  8. ඉඟුරු කැබැල්ලක්  
  9. මිරිස් කුඩු මේස හැන්දක්
  10. ගම්මිරිස් කුඩු මේස හැන්දක්
  11. බැදපු තුනපහ කුඩු තේ හැන්දක්
  12. ලුණු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

ශුද්ධ කල හාල්මැස්සන් හොඳින් සෝදා බඳුනකට දමන්න. සුදු ලුණු, ගොරකා, ඉඟුරු සහ ගම්මිරිස් එකට අඹරා එයට එක් කරන්න. ඉන්පසු අනෙක් සියලු අමුද්‍රව්‍ය සමඟ වතුර කෝප්ප භාගයක් බඳුනට දමා ලිප තබන්න. දිය ගතිය පහව යන විට මාජරින් යොදා හොඳින් කලවම් කරන්න. සම්පුර්ණයෙන්ම දිය සිඳී ගිය පසු ලිපෙන් බා ගන්න.

හාල්මැස්සන් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. හාල්මැස්සන් ග්රෑම් 250ක්
  2. පොල්තෙල්
  3. ගම්මිරිස් කුඩු මේස හැන්දක්
  4. පෙති කපා ගත් ලොකු රටලුනු ගෙඩියක්
  5. කරපිංචා ඉත්තක්
  6. කෑලි මිරිස් මේස හැඳි 3ක්
  7. කහ කුඩු ස්වල්පයක්
  8. ලුණු අවශ්‍ය පරිදි


සාදන ක්‍රමය

ශුද්ධ කල හාල්මැස්සන් හොඳින් සෝදා බඳුනකට දමන්න. තෙල් හැර අනෙක් ද්‍රව්‍ය මිශ්‍ර කර හාල්මැස්සන් සමඟ අනා, මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හරින්න. වෙනත් බඳුනකට තෙල් දමා ලිප තබන්න. තෙල් රත් වීගෙන එන විට හාල්මැස්සන් මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමා, රන්වන් පාට වන තුරු බැද ගන්න.

- tharunaya.com



gossip lanka