නීරෝගි කෙස් කලඹක් හිමි කරගන්නේ කොහොමද?

නීරෝගි කෙස් කලඹක් හිමි කරගන්නේ කොහොමද?
නීරෝගි කෙස් කලඹ කාන්තාවගේ රූප සොබාව වැඩි කරන වැදගත්ම අංගයක්. කාන්තාවන් සතු පංච කල්‍යාණ අතුරින් කේශ කල්‍යාණයට හෙවත් හිසකෙස්වලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්.


ලස්සන කෙස් කලඹක් සතු වීම බාහිර පෙනුම,
පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන බව නො රහසකි. නීරෝගි, ලස්සන කෙස් කලඹක් ඇති කරගැනීමට, තිබෙන කෙස් කලඹ නිරෝගිව පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු ප්‍රතිකාර රාශියකි.

අපගේ ශරීරයේ උත්තම අංගය ලෙස සැලකෙන්නේ හිසයි. ස්නායු පද්ධතිය ආරම්භ වීම, මොළය පිහිටා තිබීම වැනි කරුණු, හිස අප ශරීරයේ උත්තම අංගය බවට පත්වීමට හේතු වී ඇත. ඒ නිසා හිසට හොඳ පෝෂණයක්, සත්කාරයක් අවශ්‍ය වේ. එම සත්කාරය හිස කෙස්වලට අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති කරනු ලැබේ. ඉතින් අපි බලමු නීරෝගි කෙස් කලඹක් හිමි කර ගන්නේ කොහොමද කියා.

සත්කාර

හිසකෙස් මනාව වැඩීමට පෝෂ්‍යදායී ආහාර මෙන්ම බාහිර සත්කාර ද අවශ්‍ය වේ. අපගේ හිස හිස්හොරිවලින්, උකුණු කරදරවලින්, උඳුගොව්වන් කෑමෙන් තොර විය යුතුයි. එමෙන්ම පීනස, ලලාට කෝඨ ප්‍රදාහය වැනි හිසට බලපාන රෝගවලින් වැළකී සිටීමට උත්සාහ ගත යුතුයි.

තම කුස තුළ දරුවකු පිළිසිඳ ගත් විට මව දරුවාගේ පෝෂණය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ මවගේ පෝෂණය කුස තුළ සිටින දරුවාට සෘජුවම බලපාන නිසයි. කුස තුළ සිටින දරුවාගේ හිසකෙස් හොඳීන් වර්ධනය වීම සඳහා කැල්සියම් බහුල ආහාර, මුකුණුවැන්න, ගොටුකොළ වැනි පලා වර්ග මෙන්ම නෙල්ලි ආදිය ආහාරයට ගැනීම සුදුසුයි.

වැඩිහිටියන් වූ පසුව හිසකෙස් හොඳීන් පවත්වාගෙන යාමට දිනපතා ස්නානය කිරීම ඉතා වැදගත් ය. ස්නානයකරන විට සෞම්‍ය සබන් වර්ගයක් භාවිත කළ හැකි ය. ස්නානය කර හිස වියැළුණු පසුව සුදුසු තෙල් වර්ගයක් හිස ගැල්වීම හිසකෙස් නිරෝගීව තබා ගැනීමට හේතුවයි. ඖෂධීය තෙල් මෙන්ම පොල් තෙල් ද හිස ගැල්විය හැකියි. එහිදී පිරිසුදු ලෝහ හැන්දක් ගෙන හැන්ද මඳක් රත්කර එයට තෙල් දමා මඳක් උණුසුම් වූ පසුව ඇඟිලි තුඩකින් හෝ පුලුන් කැබැල්ලකින් හිස් කබලේ සහ හිස කෙස්වල තෙල් ගෑ යුතුයි. ඉන්පසුව ඇඟිලි තුඩුවලින් මෘදු සම්බාහනයක් හිසට ලබාදිය යුතුයි. පසුව උණුසුම් තුවායකින් හිස විනාඩි කීපයක් ඔතා තැබිය යුතුයි. එවිට ඉතා හොඳීන් හිස් කබලට සහ හිස කෙස්වලට තෙල් උරා ගනු ලබයි. මෙම සත්කාරය මසකට වරක් හෝ කළ හැකි නම් හිස්හොරිවලින් සහ හිසේ ඇති වන විවිධ ආබාධවලින් හිස ආරක්ෂා කර ගත හැකියි.

දිනපතා අමු නෙල්ලි ගෙඩියක් ආහාරයට ගැනීමත්, දිනපතා යෝගට් එකක් ආහාරයට ගැනීමත් හිස කෙස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා. යෝගට්වල හිස කෙස්වලට පෝෂණය ලබාදෙන ද්‍රව්‍ය කීපයක්ම අඩංගුයි.

ආයුර්වේද සත්කාර

ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් මත කළ යුතු හිස කුඩිච්චි දැමීම, ශීරෝධාර ප්‍රතිකාර ක්‍රමය වැනි ක්‍රම මඟින් ද නීරෝගි කෙස් කලඹක්, නීරෝගි හිස් කබලක් පවත්වාගත හැකියි. හිස කුඩිච්චි දැමීම සඳහා ගොටුකොළ, මුකුණුවැන්න, කී කිරිඳීය වැනි ඖෂධීය ශාක වර්ග යොදා ගනු ලබයි. ආයුර්වේදයේ එන ‘නස්නකර්ම’ මඟින් සෙම ඉවත් කිරීම නිසා හිසට සහ හිස කෙස්වලට විශේෂ සුවයක් ලැබෙනවා.

තලම් කිරීමත් ආයුර්වේදය තුළ හිස කෙස්වලට කරනු ලබන සත්කාරයකි. ඖෂධීය ශාක මඟින් දුම් ඇල්ලීම, ඖෂධීය යුෂ හිස ගැල්වීම, නිදන කොට්ටයට සැවැන්දරා මුල්, සුදුලූනු පොතු, සමන් පිච්ච මල්, උළුහාල් ආදිය යෙදීම මඟින් ද හිසට සහ හිස කෙස්වලට ප්‍රතිකාර කළ හැකියි.

ශිරෝවස්ථි කිරීම ආයුර්වේදයේ සඳහන් වන හිසට කරනු ලබන තවත් ප්‍රතිකාර ක්‍රමයක්. වෙනිවැල්ගැට සමඟ උළුහාල් තම්බා සකසා ගත් දියරය හිසට දැමීම ඉතා පහසුවෙන් කළ හැකියි. උළුහාල් හිසකෙස්වල නීරෝගි භාවය රැකගැනීමට උපකාරී වන අගනා ඖෂධයක්.

මුදලක් වැය නොකර කළ හැකි සත්කාර

කිසිදු මුදලක් වැය නොකොට හිස ගැල්වීම සඳහා ඖෂධයක් නිවෙසේ දී ම සාදා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ වෙරළු දලු පමණයි. හොඳින් අඹරාගත් වෙරළු දලු පල්පය හිසට දමා විනාඩි 20 ක් පමණ ගත වන තුරු හිඳ ස්නානය කර හිස පිරිසුදු කරගත හැකියි. මෙය පහසුවෙන්ම හිසට කළ හැකි ප්‍රතිකාරයක්.

නිවෙසේ දී හිසට කළ හැකි තවත් පුංචි ප්‍රතිකාරයක් මේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ දෙහි ගැට සහ උළුහාල් ය. උළුහාල් සහ දෙහි ගැට හොඳීන් තම්බාගෙන හොඳීන් අඹරා හෝ බ්ලෙන්ඩර් කර ගත හැකියි. ඉන්පසුව එම තලපය හිස ගැල්විය හැකියි. විනාඩි 20 ක් පමණ ගත වීමෙන් පසුව ෂැම්පු භාවිත නොකර ස්නානය කිරීමෙන් හිසට සුවදායී සත්කාරයක් ලැබෙනු නොඅනුමානයි.

තවද ගොඩපර, වෙරළු කොළ, කොහොඹ කොළ, අමු කහ සමසමව ගෙන හොඳීන් අඹරා ගෑමෙන් ද හිසහොරි වළකාගත හැකියි.

- tharunaya

gossip lanka