ලංකාවේ අපේ ෆේවරිට්ම කෑම 7ක ඉස්සර Vs. දැන් තත්ත්වය මෙන්න මේකයි

වෙනිං රටවල මිනිස්සු සල්ලි හොයලා රටේ සංවර්ධනය ඉහළ නංවන්න බලං ඉන්නකොට අපේ අයියල බැලුවෙ ඇයි මේ බනිසෙ මුද්දරස්පලං තුනෙන් එකක් බහිරවය ගිල්ලෙ කියලයි. අපි ඒ තරමට කෑමට ආස ජාතියක්. මේ කියන්න යන්නෙ කෑම ගැන අතීතකාමී මතකයන් මුසු වුනු වර්තමාන කතාවක්. කියෙවුවම දුක හිතෙයි. දුක හිතුනත් මේක තමයි ඇත්ත. මේ ඇත්ත දරාගන්න අමාරුයි. ඒ අමාරු
ඇත්ත කියවන්න ලෑස්තිවෙන්න එහෙනම්.


1. උළුඳු වඩේ

ඉස්සර උළුඳු වඩේ එකක් ඇතුළෙ තිබ්බෙ පුදුම මොයිස්ට් ගතියක්. ‍බටර් කේක් වගේ. අබ ඇට, කරපිංචා, අමුමිරිස්, ළූණු එක්ක හොඳට එන උඳු රස නිසාත්, කවරෙ තිබ්බ නියම ක්‍රන්චි ගතිය නිසාත්, හම්බෙච්ච සම්බෝලෙ තිබ්බ නියම දැවිල්ල සහගත ශ්‍රී ලංකන් ටේස්ට් එක නිසාත් උළුඳු වඩේ අපේ රටේ ජාතික ආහාරයක් වෙලා තිබ්බෙ. ඒත් දැන් උළුදු වඩේ පාන්පිටි වලින් හදන්නෙ. ඒ මදිවට දැන් වඩේ කරත්තවල ඩයල් වඩේ එක පලල මැදට සම්බෝල දාල දෙන්නෙ. උළුඳු වඩේ එකක් කන්න හක්කට තියල ඔලුවයි කටයි අතින් තද කරගන්න ඕන. ඒ තරං හයිය. උළුඳු වඩේ කෑල්ල බහ් ගාල කට ඇතුළට කැඩිල වැටෙනව ඉතිං. සම්බෝලෙ තනිකරම හොද්දක් වගේ. කිසිම සැර ගතියක් නෑ.

2. සොසේජ් බන්

ඉස්සර සොසේජ් බන් එකක අනිවාර්ය අංග තිබ්බා. හොඳ මෙලෙක් බනිස් ගෙඩියක්, ඇතුළෙ පදමට තැවරූ බටර් සහ ඒ උඩින් දාපු ගම්මිරිස් සහ ලුණු සීසනිං එක, කැපුම් පාරවල් ටිකක් දාලා නියම ගාණට බැදපු සොසේජ් එක, ඊට උඩින් වත්කරපු තක්කාලි සෝස් පාර, පොඩි දැවිල්ලක් දෙන්න හිර කරපු මාළු මිරිස් පෙති දෙක, ක්‍රන්චි ගතිය දෙන්න ළූණු පෙත්තක්. දෙයියනේ. දිව්‍ය ලෝකෙ සැප. ඒකට දැන්. බන් එක වේලිලා ගිහිල්ල. බන් එක ඇතුළේ සොසේජ් එක දෙකට පලල තැන් දෙක තුනකට හිර කරලා, මේ ලඟදි සොසේජ් බන් එකක් ඇතුළෙ උම්බලකඩ සම්බෝලත් තිබ්බා.

3. බිත්තර රෝල්

ඉස්සර බිත්තර රෝල් එකක් කන්න පැත්තක් හොයා ගන්න බැහැ. කිසිම පැත්තක් කැඩිලත් නැහැ, කිසිම පැත්තකින් හදලා ඇලෙව්වා කියල හිතාගන්නත් බැහැ. ඒ වගේමයි රස. හොඳ තෙල් එකකින් බැදලා තිබ්බෙ, පිට කවරෙට ඇතුළෙන් තියෙන පිටි කවරෙත් හොඳ රසක් තිබුනා. ඒ වගේම ඇතුළෙ බිත්තරේ එක්ක තියෙන පේස්ට් එක අල සහ දැවිල්ල අඩුමකුඩුම එක්ක සපයපු නියම රස පේස්ට් එකක්. ඒ වගේම ඇතුළෙ තිබ්බ බිත්තර බාගයක්. ඒකට දැන්. තෙලෙන් බැදලා එද්දි රෝල් එක අඟුරු වෙලා, වටේම කැඩිලා, පේස්ට් එක පිළුණු වෙලා, බිත්තර රෝල් කිවුවට ඒකෙ තියෙන්නෙ බිත්තරෙන් 10න් පංගුවයි. සමහර ඒවයෙ බිත්තර නෑ. ඒ කියන්නෙ පුංචියට කපලා දෙද්දි පිහියෙ ඇලිලා ගිහින්.

4. ජෑම් පාන්

ඉස්සර ජෑම් පාන් ලොකුයි. සීනිවලින් පිරිලා. අල්ලගන්න තැනක් නෑ. ඊටත්හපං ඇතුළෙ පළවෙනි කට කාපු ගමන් ජෑම් හැලෙනවා අත් දිගේ. අත් ලෙව කාලා වැඩේට බහිද්දි මෙන්න කැටි ගැහිච්ච සීනි කෑල්ලක් මැද්දෙ රස විහිදුවනවා. ඉතිං අත දාලා සීනි කෑල්ල අරං ජෑම් සූප්පු කරල පැත්තකින් තියනව පස්සෙ කන්න. අග්ගිස්සට යනකංම ජෑම්. උදේට ජෑම් පාන් එකක් කෑවම සංසාරේ දවල්  දෙක වෙනකං ඇති. ඒකට දැන් ජෑම් පාන් එකේ චූටි ජෑම් බින්දුවක් තියෙන්නෙ. ඒක බෙහෙත් රහයි හොඳටම. බනිස උඩ සීනිත් නැහැ.

5. මාලුපාන්

ඉස්සර රසවත් මාලු පාන් එකක් නං ඇතුළෙ තියෙන පේස්ට් එක පිටිපස්ස පිපිරිලා එළියට පැනලත් තියෙනවා. ඒ තරමට ෆිලිං එක. ඒක වගේමයි බනිසෙ මෙලෙක. අනික මාළු ටිකකුත් කොහෙන් හරි තිබ්බා. ඒක අල මික්ස් එකට අමුතු ජවයක් දුන්නා. ඒකට දැන්. දැන් එකේ ෆිලින් එක පොඩ්ඩයි නිසා කන්න කලින් ඒක තලල ඉන්න වෙනව වටේටම අල බෙදිලා යන්න. දැන් මාලු කෑල්ලක් මාළු පාන් එකක් ඇතුළෙ තිබිල හම්බුනොත් අපේ බේකරියෙන්නං මැලේෂියානු සවාරියක් දෙනව. ඒ මදිවට දැන් අලුත් ට්‍රෙන්ඩ් එකට මාලුපාන් කන්න හොදිත් ඕඩර් කරන්න වෙනවා.

6. පොල් රොටිය

ඉස්සර පොල් රොටියක තිබ්බ කොලිටිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. තැන තැන කරවෙච්ච පැච්. ටේස් වෙන්න ඇතුළෙන් හැපෙන ළූණු සහ අමුමිරිස් කෑලි. ඒ වගේම ගාගෙන කන්න දුඹුරු පාටට බුබුළු දාපු මාළු හොද්දකුයි, රතට රතේ ලුණු මිරිසකුයි. ගාගෙන කාලා ප්ලේන්ටියක් ගැහුවම දැනෙන සැප නිමක් නෑ. ඒකට දැන් තනිකර ඊස්ට් පුරෝපු රොටියක් ගේන්නෙ පොල් කියලා නාමයක් නෑ. ලුණු මිරිසෙ වතුර උඩ පාවෙනව.

7. ඉඳිආප්ප

ඉස්සර ඉඳිආප්ප දහයක් කෑවම බන්ඩිය ෆුල්. ඊට හපං දෙන පොල්සම්බෝලෙ. හොඳ පොල් රස. යාන්තං තවරගත්තත් කතෑකි. ඒකට දැන් පොල්සම්බෝලෙ දෙපාරක් කිරි අරගෙන තමයි සම්බෝලෙට දෙන්නෙ. ඉඳියාප්පෙ සයිස් එක නිකං මාරි වගේ. රැලි ඈතින් නිසා අහස බලන්න පුළුවන්. ගන්න දෙයක් නෑ.

සැලකිය යුතුයි- අදටත් රසට සහ ප්‍රමිතියෙන් යුතුව මේ කෑම හදන තැන් ඕනෑ තරම් තියනවා. හැබැයි ඉස්සරට සාපේක්ෂව අපි මේ කියන ආහාරවල ප්‍රමිතිය අඩුවෙලාය කියල හුඟක් තැන්වලදි අපිට දැකගන්නට ලැබිල තියනව. අන්න ඒ නිසයි මේ ලිපිය අපි ලිවුවෙ.

- aniwa.lk



gossip lanka