හරිහැටි දවස ඇරැඹුවොත් ලෙඩ රැසක් කම්මුතුයි

මම නිරෝගීද? මේ අද හැමෝටම ඇතිව තිබෙන පොදු ගැටලුවක්. බලන බලන අත දියවැඩියාව, රැධිර පීඩන ගැටලු (අඩු හෝ වැඩි පීඩන), නරක මේදය, තරබාරුව, පිළිකා රෝග, හෘදය, වකුගඩු, අක්මා ආශ්‍රිත ලෙඩ, බහුතරයකට බඩේ ගෑස්, මෙකී නොකී දේ අතර කලින් අසා නැති අමුතු ලෙඩ රෝගත් දැන් බහුලයි. මොකක්ද මේකට හේතුව? අපේ ජීවන රටාවේ ඇති අපිළිවෙළ සහ නරක පුරැදු තමා ප්‍රධානම හේතුව. මේ ලෙඩ රෝග රුසකින්ම ගැලවී ශරීරයේ
උසට සරිලන නිරෝගි බර පවත්වාගන දීර්ඝායුෂ ලබන්නත්, ඔබ කළ යුත්තේ ඉතා සුළු දෙයක් පමණයි.

ඒ තමා දවසේ උදේ වරුව සෞඛ්‍යසම්පන්න ආකාරයට ඇරැඹීම.

ඔබේ උදෑසන ආහාරය අනුව ඔබේ දවසේ ඉතිරි කාලසීමාවේ සුවදායක බව  ගුණාත්මකභාවය තීරණය වෙනවා. ඔබ උදයේ කුසට දමාගන්නා ආහාර ප්‍රමාණය සහ එහි ස්වභාවය අනුවයි, ඔබ දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ ආහාර වැඩියෙන් ලබා ගන්නවාද, අඩුවෙන් ලබා ගන්නවාද යන්න තීරණය වෙන්නේ. දවස පුරා ඔබේ සිරුර රඳවා ගන්නා කැලරි ප්‍රමාණය තීරණය වෙන්නේත් ඒ මතයි. සිරැරට අවශ්‍ය පෝෂ්‍ය  ද්‍රව්‍ය ප්‍රමාණවත්ව ලැබෙනවාද යන්නත් තීන්දු වෙන්නෙ ඒ අනුවයි. මේ අන්දමට ඔබ ඔබේ උදේ වරුව ආරම්භ කරන ආකාරය හා ඔබේ සිරැරේ බර වැඩිවීම අතර සම්බන්ධයක් තිබෙන බවත් ඒ අනුව නිරෝගී බව තීන්දු වන බවත් දැන් සනාථ වී තිබෙනවා.

ඉතින් එසේ නම් කොහොමද සුව දිවියකට ඔබින හැටියට දවස අරඹන්නෙ කියා  බලමුද?

01. සමබල උදෑසන ආහාර වේලක් 

ඔබ ආහාරයට ගන්නේ මොනවාද යන්නට වඩා ඔබ ආහාරය ලබාගන්නා වෙලාව වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් උදේ 7ට පෙර මේ ආහාරය ගැනීම වැදගත්. ඒ වනවිට  ඔබේ සිරුර පැය 10කට ආසන්න කාලයක් උපවාසයක යෙදිලා හමාරයි. මේ අනුව ඔබේ බර අඩුකර ගැනීමේ උත්සාහයේදී උදෑසන ලබාගන්නා සමබල ආහාරයත්, රාත්‍රියේදී ලබාගන්නා සැහැල්ලු ආහාරයත් වැදගත් වෙනවා. සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ  උදෑසන ආහාරය ප්‍රෝටීන බහුල කැලරි සහිත තරමක් විශාල ආහාරයක් වුවාට වරදක් නෑ. නමුත් දවල් ආහාරය ඊට සාපේක්ෂව අඩුවෙනුත්, රාත්‍රී ආහාරය ඉතා සරල ආහාරයකුත් වීම වැදගත්.

02. උදෑසන අව්වට නිරාවරණය වීම

උදෑසන ලා හිරු රැස් වලට නිරාවරණය වීම සුව දිවියකට ඉතා වැදගත් පුරුද්දක්. උදෑසන අව්වේ ඇවිදීමෙන් සිරැරේ මේදය ස්වල්ප වශයෙන් අඩු වෙනවා. ඔන්න දැන් කැනඩාවේ කළ පරීක්ෂණයකින් ශීත සෘතුවේදී මිනිසුන්ගේ බර වැඩි වන බවත්, එයට හේතුව වන්නේ හිරු එළිය නොලැබීම බවත් හෙළි වී තිබෙනවා.

03. උදෑසන අවදි වූ පසු ජලය වීදුරුවක් පානය

අවදි වූ විගස “බෙඩ් ටී” නෙමෙයි; උදේ ආහාරයට පෙර ජලය වීදුරුවක් පානය කිරීම ඇතිකරගත යුතු ඉතාමත් හොඳ පුරුද්දක්. එමඟින් ඔබේ සිරුරේ සියලු පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් වෙනවා. එය තරබාරු වීමේ අවදානම අඩු කරනවා. සිරුරේ අඩංගු විස ද්‍රව්‍ය නැතිනම් ටොක්සින් ඉවත් කිරීමටත් මෙය උපකාරී වෙනවා. මේ වතුර වීදුරුවට දෙහි බිඳු කීපයක් එක් කළ හැකි නම් වඩාත් සුදුසුයි. පුරුද්දක් ලෙස උදේ ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ බර 10% – 17%ක් අතර ප්‍රමාණයක් අඩුවෙන බව කියවෙනවා.

04. උදෑසන ව්‍යායාමය

ව්‍යායාමවල නිරත වීමට සුදුසුම වෙලාව උදේ වරුවයි. උදෑසන කරන ව්‍යායාම නිසා දවස තුළ බඩගිනි ඇති වීමේ ප්‍රමාණය 20%කින් පමණ අඩු වෙනවා. මේ නිසා දවසේ අන් වේලාවන් තුළදී ව්‍යායාම කරනවාට වඩා, උදෑසන ව්‍යායාම කිරීමෙන් අඩුවන කැලරි ප්‍රමාණය වැඩියි.

05. රසවත් අතුරුපස රාත්‍රිය හෝ දිවා කාලය වෙනුවෙන් තබා ගැනීම

ඔබට රසවත් අතුරැපස ආහාරයට ගැනීමට අවශ්‍ය නම් එය උදේ වරුවේ කළ යුතු නෑ. එම අතුරැපස උදෑසන ගැනීමේදී ඔබ මහත් වන ප්‍රමාණයට වඩා, එය සවස හෝ රාත්‍රියේදී ලබා ගැනීමේදී මහත් වන ප්‍රමාණය අඩුයි. මේ නිසා රස කෑම උදේට අවශ්‍ය නෑ.

06. උදේ පාන්දර ප්‍රවෘත්ති කියවීම

ටිකක් අවුල් කතාවක් වගේ පෙනුණත් උදේ පාන්දර ප්‍රවෘත්ති කියවීම බැලීම අහිතකරයි. එහෙම වෙන්නේ ඒවායේ සිත කළඹවන, කෝප ගැන්වීමට සමත් සිදුවීම් පවා අඩංගු වන නිසායි. එවිට එබඳු සෘණාත්මක සිතිවිලි ඔබේ සෞඛ්‍යයට හානි කරනවා. ආතතිය ඔබේ නින්ද නැති කිරීමටත්, ඔබව තරබාරැ කිරීමටත් හේතුවක් වෙනවා. නිරන්තරයෙන් මෙසේ ඔබ උදේ වරුවේ ආතතියට පත් වීමේදී ඔබේ සිරැර තුළින් ඔබව ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සුදානම් කරවන හෝර්මෝන නිපදවනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ බර වැඩි වෙනවා. එවිට ඔබ ආහාර පාලනය කළත් එයින් නිවැරදි ප්‍රතිඵල නොලැබී යනවා. මේ නිසා උදේට අහන්න කරන්න ඕනෑ සිත නිවන සතුටට පත් කරන කතා.

07. උදේ වරුවේ සුරතල් සතුන් දෙස බැලීමට කාලයක් වෙන් කරන්න

උදේ වරුව කියන්නේ ගොඩක් කාන්තාවන්ට කාර්යබහුල වෙලාවක්. කෑම උයන්න, දරුවන්ව පාසල් යාම සඳහා ලෑස්ති කරන්න වගේ වැඩ රාජකාරි දහසක් හිස මත වැටෙන වෙලාවක් තමයි උදේ වරුව. ඒත් ඔබට පුළුවන් නම් ඔබේ බලු පැටියා හෝ පූස් පැටියා ගෙන ඇවිදින්නට යන්න, ඔවුන්ව සමීප කරගෙන ව්‍යායාම කරන්න එය ඔබට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර දේවි. එයට හේතුව වන්නේ ඔබ සුරතල් සතුන් සමඟ ගැවසීමේදී ඔබේ මානසික ආතතීන් දැඩි ලෙස පහත වැටීමයි. ඔබ ඔබේ සුරතලාව ආදරයෙන් රැක බලා ගන්නා විට ඔබේ හෝමෝනවල ක්‍රියාකාරිත්වය යහපත් වෙනවා. සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට අන් අයට සාපේක්ෂව තමාගේ බර අඩුකර ගැනීමට පහසු බවත් හෙළි වී තිබෙනවා.

- සුගත්


gossip lanka