සිතුවිලි ඔබ ලෙඩ කරන අයුරු (Cognitive errors)

අපි ජීවත් වෙන්නෙ සිතුවිලි සමඟ. හැම මොහොතකම ඔබේ සිත සිතුවිලිවලින් පිරිලා. මේ සිතුවිලි ඇතුළෙ හැඟීම්ද සැඟවී තිබෙනවා. දුක, සතුට, බය, ඉරිසියාව, වෛරය, සැකය තමයි මේ හැඟීම්. ඔබේ සිතුවිලි ඔබ ලෙඩ කරන්නත් පුළුවන්. ඔබ
සතුටින් තියන්නත් පුළුවන්. අපි මේ ගැන ගැඹුරින් සොයා බලමු.

ඔබ කවුද? ඔබේ සිතුවිලි නිර්මාණය වෙන්නෙ කොහොමද? කියන එක තීරණය වන සාධක දෙකක් තියෙනවා. ඒවා නම් දෙමාපියන්ගෙන් ඔබට ලැබෙන ජාන සහ ඔබ ජීවත් වන පරිසරයයි. මොන තරම් හොඳ ජාන ඔබට ලැබුණත් ඔබ ජීවත් වන පරිසරය අනුව ජීවිතය වෙනස් වෙන්න පුළුවන් කියල ඔබ දන්නවද? අපි බලමු එහෙම වෙන්නෙ කොහොමද? කියලා. මේකට ලස්සන උදාහරණය තමයි ජාතක කතා සංග්‍රහයේ එන ගිරා පෝතකයාගේ කතාව. මේ ගිරව් දෙන්න හැදෙන්නෙ පරිසර දෙකක. එක ගිරවෙක් හොඳ පරිසරයක හැදෙන අතර අනෙකා නරක පරිසරයක හැදෙනවා. දෙදෙනාගේ කතාව සහ හැසිරීම යන දෙකම පරිසරය අනුව වෙනස් වන බව මේ කතාවෙන් පැහැදිලි වෙනවා

දරුවකු ඉපදෙන විට මොළයේ ස්නායු සෛල ප්‍රකෝටි සීයක් පමණ (Hundred billion) තිබෙන බව ස්කෑන් පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. නමුත් පුදුමය මේක නෙවෙයි. මින් එක සෛලයක් ගත්තොත් එම සෛලය තවත් ස්නායු සෛල 15000කින් ගුණනය වෙන්න පුළුවන්. මෙහෙම බැලුවොත් ඉපදුණාට පසු දරුවකුගේ මොළය තුළ විකසනය වෙන්න පුළුවන් මුළු ස්නායු සෛල ප්‍රමාණය අපට හිතාගන්නවත් බෑ. මින් අදහස් වන්නෙ කුමක්ද? ඔබේ දරුවා පරිසරය මගින් උත්තේජනය වන තරමට මොළය තුළ අලුත් පරිපථ නිර්මාණය වන බවයි. මොනවද මේ ස්නායු පරිපථ කියන්නෙ. නූතන වෛද්‍ය විද්‍යාව අනුව ඔබ තුළ නිර්මාණය වන සෑම සිතුවිල්ලක්ම ස්නායු ජාලයක් හෙවත් පරිපථයක් බව සොයාගෙන තියෙනවා. ආදරය, සෙනෙහස, සහකම්පනය, ප්‍රශ්න විසඳීම, තීරණ ගැනීම, මේ සියල්ලම ඔබ තුළ ඇතිවන සිතුවිලි ජාල හෙවත් ස්නායු පරිපථ බව ඔබට වැටහෙනවා ඇත.

කොහොමද වැරදි සිතුවිලි හෙවත් වැරදි පරිපථ මොළයට වැටෙන්නෙ?

අපේ සිතුවිලි නිර්මාණය වන ආකාරය පිළිබඳ හොඳම විග්‍රහය කරල තියෙන්නෙ ආරොන් ටී. බෙක් (Aron-T-Beck) කියන මනෝ විද්‍යාඥයා විසින්. ආරොන් ටී. බෙක් කියන්නෙ ඇමරිකානු මනෝ විද්‍යාඥයෙක්. සිතුවිලි ප්‍රතිකාරය (Cognitive Therapy) නැමැති උපදේශන ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නෙ මේ මනෝ විද්‍යාඥයා. ඔහු මෙහෙම කියනවා. අපේ මනස ලෙඩ වෙන්නෙ, පීඩනයට හෝ අවපීඩනයට යන්නෙ බොහෝවිට අප මුහුණදෙන සිද්ධිය (Situation) නිසා නොව එම සිද්ධිය දෙස අප බලන ආකාරය අනුවයි. බෙක්ට අනුව අප සිද්ධිය දිහා බලන ආකාරය එහෙමත් නැත්නම් එය විග්‍රහ කරන ආකාරය තීරණය වන්නෙ කුඩා කල සිට යම්කිසි පුද්ගලයකු තම පරිසරය තුළදී ලබන අත්දැකීම් අනුවයි. මෙය අපි සරල උදාහරණ මගින් පැහැදිලි කර ගනිමු. අපි හිතමු ඔබේ ගෙදරට අමුත්තකු පැමිණෙනවා කියලා. අපේ සංස්කෘතිය තුළ නම් බොහෝවිට ආයුබෝවන් කියල හිනාවෙලා පිළිගන්නවා. යුරෝපීය රටක නම් සිපගෙන, වැළඳගෙන තමයි පිළිගන්නෙ. සමහර විට අපේ රටේදී යමකු සිපගෙන වැළඳගෙන පිළිගත්තොත් එය වැරදියට හිතන්න පුළුවන්. මොකද, එම චාරිත්‍රය කුඩා කල සිටම අපිට නුපුරැදු නිසා.

ආරොන් ටී. බෙක් කියනවා අපේ මනසට කුඩා කාලයේ පටන් වැරදි පරිපථ වැටෙන්න පුළුවන්. මේවාට ඔහු කීවා දිගුකාලීන මතක පරිපථ (Schemas) කියලා. වැඩිහිටියකු ලෙස සමාජය තුළ ජීවත් වීමේදී අපගේ ආකල්ප, සිතුවිලි, හැසිරීම් බොහෝ දේ ක්‍රියාත්මක වෙන්නෙ මෙම දිගුකාලීන මතක පරිපථ අනුවයි. මේවා අපේ ජීවිතයට විශාල බාධාවන් ගෙන ගෙන දෙන්න පුළුවන්. මේවා උදාහරණ කිහිපයක් ගෙන විමසා බලමු.

1. කළු සහ සුදු තීරණ
(Black and white thinking) 

තීරණ ගැනීමේදී නම්‍යශීලීභාවය සාර්ථක ජීවිතයකට අවශ්‍ය දෙයකි. නමුත් සමහර අය තීරණ ගන්නෙ කැත්තට පොල්ල වගේ. අපි රේණුකාගේ කතාව බලමු. රේණුකා අපට යොමුවූයේ ඇගේ දෙමාපියන් සමඟයි. ඇය මේ වන විට ජීවිතය කලකිරී එපා වී ඇගේ සැමියා වන මංජුලගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණි. රේණුකා ඇගේ ගැටලුව මෙහෙම පැවසුවාය.

මට මංජු එක්ක ඉන්න බැහැ. ඔහු අරක්කු බොනවා. මට ඔහුව අප්පිරියයි. දැන් මට ඔහු ගැන කිසිම හැඟීමක් නෑ. මම හරිම පව්කාරයෙක්. ඇයි මම මේ මනුස්සයාව බැන්දේ?

රේණුකාගේ මව මෙසේ පැවසුවාය.

ඇත්තටම මංජු එහෙම බොන්නෙ නැහැ. කලාතුරකින් party එකකට ගිහින් එහෙම නැත්තම් පරණ යාළුවෝ එක්ක එකතුවෙලා එදාට ටිකක් බොනවා. අනිත් අතින් මංජු හරිම හොඳයි. රේණුකාටත් ආදරෙයි. රේණුකාගෙ තාත්තා හුඟක් අරක්කු බීවා. බීල ගෙදර රණ්ඩු වුණා. මට හිතෙන්නෙ මගේ දුව ඇගේ සැමියා දිහා බලන්නෙත් තාත්තා දිහා බලන විදිහට වෙන්න ඇති.

2. හංවඩු ගැසීම
(Labelling)

සමහර විට නිශ්චිත කරුණු, සාධක හෝ සාක්ෂි නැතුව දුටු පමණින් හෝ ඇසූ පමණින් යමකු පිළිබඳ නොයෙකුත් නිගමනවලට එළඹෙනවා. මේකට කියන්නෙ හංවඩු ගැසීම කියලා. එය උදාහරණයකින් බලමු.

සුගත් සහ දනූෂා විවාහ වී තවම අවුරුද්දක්වත් නෑ. අපි ළඟට දනූෂා එන විට සුගත් විතරක් නෙවෙයි ජීවිතයත් එපාවෙලා තිබුණා. ඇය මෙහෙම කීවා.

මට සුගත් හමුවුණේ යෝජනාවකින්. අපි දෙන්නගෙ කේන්දරේ හොඳට ගැලපෙනවා. ඒත් මේ ළඟදි ඇතිවුණු සිද්ධියකින් මට ඔහුව එපා වුණා. මට හිතෙන්නෙ සුගත් නරක පුද්ගලයෙක් කියලා ඇයි එහෙම හිතන්නෙ.

සුගත්ගෙ හොඳ යාළුවෙක් මේ ළඟදි බැන්දා. අපි දෙන්නම home coming එකට ගියා. හුඟක් යාළුවෝ dance කළා. සුගත් මටත් dance කරන්න කතා කළා. මම බැහැ කීවා. ඊටපස්සෙ එතන හිටපු ලස්සන girl කෙනකුට තුරැළුවෙලා සුගත් හොඳට dance කළා. මට ලොකු තරහක් සහ ඉරිසියාවක් ඇතිවුණා. මට දැන් හිතෙන්නෙ සුගත් එච්චර හොඳ කෙනෙක් නෙවෙයි කියලා. මම පොඩි කාලෙ අහල තියෙනවා සැමියා තම බිරිඳ හැර වෙන කිසිම කෙනෙක් ස්පර්ශ කිරීම සදාචාරවත් නැහැ කියලා.

3. සියලුම හොඳ ගතිගුණ මොහොතකින් අමතක කර දැමීම
(mental filter)

නැන්දම්මා සහ ලේලිගේ අර්බුදය අපි සැවොම අහල තියෙනවා. මෙම ගැටුම තුළ නැන්දම්මා කුහක ගතිපැවතුම් ඇති ඉරිසියා සහගත චරිතයක් ලෙස අපේ මනසට ඇතුළු වී තිබෙනවා. මේ සමාජගත ආකල්පය නිසාම නැන්දම්මා කොතරම් හොඳ චරිතයක් වුණත් ඔබ ඇය දෙස බලන්නේ වපර ඇසිනි. මෙයද අපගේ මනසේ ඇති වැරදි පරිපථයකි.

මෙය උදාහරණයකින් බලමු.

සුජීවා සහ සුමල් විවාහ වී අවුරුදු 1 ½ක දරැවෙක්ද සිටී. ඔවුන් ජීවත් වූයේ සැමියාගේ නිවසේය. දැනට ඇය ඇගේ නැන්දම්මා සමඟ හොඳටම තරහ වී ඇත. මෙම ගැටලුව ගැන සැමියා මෙසේ පැවසුවා.

දැන් සුජීවාට හරියට තරහ යනවා. ගෙදර නිතරම රණ්ඩු. පුංචි දරැවා පේන්නත් බැහැ. මේ ප්‍රශ්නෙ ඇතිවුණේ මගෙ අම්මත් එක්ක ඇතිවුණු පුංචි සිද්ධියක් නිසා. සුජීවාට මඟුල් ගෙදරක යන්න අම්මගෙ රත්තරන් බඩු ටික ඉල්ලුවා. අම්මා කීවා දැන් ඒ රත්තරන් එයා ළඟ නෑ. ඒවා උගස් කරලා කියලා. ඇය මේක විශ්වාස කරන්නෙ නැහැ. ඇය හිතන්නෙ ලෝබකමට හා ඉරිසියාවට දුන්නෙ නැහැ කියලා. ඒත් අපෙ අම්මා සුජීවාට හුඟක් උදව් කරනවා. දරැවා බලාගන්න, නාවන්න, කවන්න පොවන්න, නිදිකරවන්න, මේ සියල්ලටම උදව් වෙනවා. ඒත් මේ කරපු එක හොඳක්වත් දැන් සුජීවාට පේන්නෙ නැහැ.

ඉහත කතා තුනෙන් පැහැදිලි වන්නේ කුඩා කාලයේ අපේ මනසට ඇතිවන වැරදි සිතුවිලි පරිපථ (Cognitive errors) අද අපගේ ජීවිතය ගෙන යාමට විශාල ලෙස බාධා කරන බවයි. ආරොන් ටී. බෙක් කීවේ අප ජීවිතයේ ඇතිවන නොයෙකුත් සිද්ධීන් නිසිලෙස අවබෝධ කරගත නොහැකි නිසා ඒවා දැඩි ආතතියක් බවට පත්වී මානසික අවපීඩනය හෙවත් විශාදිය නැමැති තත්ත්වයට ගොදුරු විය හැකි බවයි. මෙවැනි තත්ත්වයක් වළක්වාගැනීමට ඔබේ සිතුවිලි දෙස විවෘතව බලන්න පුරුදු වන්න.

කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

- deshaya.lk
gossip lanka