බෝයි ෆ්‍රෙන්ඩ්ගේ අම්මගෙන් ලංකාවේ ගෑණු ළමයි බැණුම් අහගන්න හේතු 7ක්

දැන් ඔන්න අපි වගේ අහිංසක කොල්ලෝ ලස්සන නංගියෙක්ව දැකලා, නංගිගේ කොමල සිනාවට මන බැඳිලා, මහමෙරත් හෙල්ලෙන්න දුශ්කර ක්‍රියා කරලා නංගිව යාලු කරගන්නවා කියමුකෝ. ඊට පස්සේ ප්‍රේම තටාකේ කිමිදි කිමිදි දියබුං ගහලා අන්තිමට “මේන්න අම්මගේ අනාගත ලේලි” කියලා ගෙදරට සීන් එක කියනවනේ. ඔන්න ඕක පු‍තෝ පර්ල් වරාය අයිනෙන් බෝම්බ පුරෝගත්තු ප්ලේන් එකක්
අරගෙන යනවා වගේ වැඩක්. බැරිවෙලාවත් බෝම්බ ඕන නෑ, අවුරුද්දට පත්තු කරන්න ගෙනාපු රතිඤ්ඤා කරලක් හරි ප්ලේන් එකෙන් වරායට වැ‍ටුනොත් ලෝක යුද්ධයයි. සුනේ සුන්.

හරි, අනාගත ලේලිට තමයි මෙතනින් එහාට ආටිකල් එක. ලේලිවයි අම්මවයි බැලන්ස් කරන එක කොල්ලගෙ වැඩක්. හැබැයි බැලන්ස් නැතිවෙලා උඩුකුරුඤ්ඤං වුනොත් කොල්ලගෙන් අම්මගෙන් අහගන්න වෙන කතා ටික මෙන්න මේවා තමයි කියලා කලින්ම කියලා තියෙන එක අපෙන් කෙරෙන්න තියෙන සත්කාර්යයක්. අඩුගාණේ අනාගත ලේලි එතකොට ඔය ඇත්තටම වැරදි කියලා කියන්න පුලුවන් දේවලින් එකක් දෙකක්වත් හදාගනීනේ. ඔව් මේ ලිස්ට් එකේ තියෙන හැමදේම ගෑණු ළමයි කරන වැරදි හැටියට ගන්න බෑ. මොකද සමහර දේවල් තනිකරම ඔය පරණ අදහස් සහ අළුත් අදහස් වල ගැ‍ටුම් තමයි. හැබැයි මෙතනින් ගොඩක් කතා නැන්දම්මගෙන් අහගන්න කලින් කෙල්ල තමන්ගේ අම්මගෙන්ම අහගන්න එව්වා තමයි කියන එකත් කියලා තියන්නම ඕනා!

1. ඉර පායන්නේ පශ්චාත් භාගයට!

දැන් කාලේ ගෑණු ළමයි දහදෙනෙක්ගෙන් ඇහුවොත් විනෝදාංශ මොනවද කියලා, ඒකෙන් පස් දෙනෙක් අනිවා කියන්නේ නිදාගන්න එක කියලා. ඉතින් ඔහොම නිදාගන්න එක විනෝදාංශයක් කරගත්තු ගෑණු ළමයෙක් ඉන්න ගෙදරක අම්මා උදේ කෑ ගහනවා ඇහෙන්නේ “ගෑණු ළමයි වුනහම පස්ස පැත්තට ඉර පායනකල් නිදාගන්නවද” කියලා තමයි. හැබැයි නැන්දම්මා මේකට වලිය අදින්න නං ගෑණු ළමයා කරකාර බැඳලා කොල්ලගේ ගෙදර එන්නම ඕන.

2. වෙසක් කූඩුවක් වගේ!

සාමාන්‍යයෙන් ඔය ටිකක් කල එළියට ඇඳලා කරලා ඉන්න ආස ගෑණු ළමයෙක්ව යාලුකරගත්තු ‘මං ගමේ කොල්ලෙක්’, සාම්ප්‍රදායිකව හිතන පතන මෑණි තොමෝට ගෑණු ළමයව අඳුන්නලා දෙන්න ගිය තැන තමයි මේ කතන්දරේ අහගන්න වෙන්නේ.

“ඉඳලා ඉඳලා අපේ ලොකු එකත් හොයාගත්තනේ වෙසක් කූඩුවක්. තව බලුප් දෙක තුනක් එහෙන් මෙහෙන් දාලා ගත්තනං වෙසක් එකට තොරණකට වුනත් ගත්තෑකි. අපෙ මහත්තයා දැක්කද ඒ කෙලීගේ අතේ කරේ එල්ලගෙන තිබුණු සිලිං බිලිං සිප්පික‍ටු තොගේ. හික්කඩුවේ තොරොම්බල් වෙළෙන්දියකටද දන්නෙත් නෑ අපේ එකා කර ගහලා තියෙන්නේ. ඒ මදිවට කකුලෙත් ගෙජ්ජි ටිකක් බැඳගෙන. ඒක නං නරකම නෑ. රඹුටන් වාරෙට ගහේ බඳින්න හරි බැරියෑ ටකේ වෙනුවට”

ඕන්න අපේ බුවෙක් මේ වගේ ගෑණු ළමයෙක්ව ගෙදරට අඳුන්නලා දීලා අහගත්තු ටික. හැබැයි ඉතින් ඕවා අර ජෙනරේසොන් ගැප් කියලා කියන සිද්ධි මිසක් ගෑණු ළමයාගේ වැරදිම කියලා කියන්නත් බැහැ.

3. අපෙ අප්පුච්චේ, වියතකටත් අඟලක් අඩුයි!

මෙන්න මේ පැමිණිල්ලත් අපරාදෙ කියන්න බෑ, නැන්දම්මගෙ ගෙදරට යන්න කලින් ගෙදර අම්මගෙන් තාත්තගෙන්ම අහගත්තෑකි. ඔව් ඔව්, ඔය කියන්නේ කොටට අඳින ගෑණු ළමයෙක් ගැන තමයි. හැබැයි මේකත් අපිට ටක්කෙටම කියන්න බෑ ගෑණු ළමයගෙ වැ‍රැද්දක් කියලා. මොකද කොටට අඳින එක ජාතික අපරාධයක් යැයි! හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. කොටට අඳින ගෑණු ළමයෙක් වුනත් තැනේ හැටියට ඇඳුම පැළඳුම කරන්න දැනගන්න ඕන. ආන්න එතකොට සාම්ප්‍රදායිකව හිතන පතන නැන්දම්මෙක් බලන්න වියතක මයික්‍රෝ ස්කර්ට් එකක් ගහගෙන යනවා කියන්නේ ඉතින් කොල්ලට තමයි සුද්ද සිංහලේ විසුද්දි බාසාවෙන් අහගන්න වෙන්නේ!

4. කොච්චරවාත් සිරික්කියයි කච කචේයි!

සාමාන්‍යයෙන් ඉතින් ගෑණු ළමයි රේඩියෝ එක දැම්මා වගේ කියෝ කියෝ ඉන්න, ගහකින් කොළයක් බිමට වැ‍ටුණත් හිකිස් බිකිස් ගාලා හිනාවෙන්න දස්සියෝනේ. හැබැයි ඔය පරණ තාලේ අම්මලට, නැන්දම්මලට එහෙම ඕවා අල්ලන්නෙ නෑ. කෙලින්ම “සිනා නොමසෙන් දසන් දක්වා” කාව්‍යශේකරයෙන්ම තමයි දීලා අදින්නේ. නැන්දම්මා නං කෙල්ල යනකල් ඉඳලා කොල්ලගෙන් අහයි “කොහෙන්දෑ පුතේ ඔය ජුකී මැසිම හොයාගත්තේ” කියලා. අපිට ඉතින් මෙවුවා වැරදි කියලා කියන්න බැරි වුනත්, පොඩ්ඩක් වැඩිමහල්ලෝ -විශේෂයෙන්ම බෝයිෆ්‍රෙන්ඩ්ගේ අම්මා තාත්තා ඉන්න තැනක පොඩ්ඩක් ගාණට හිනාවෙලා, ගාණට කතා කරලා ඉන්න දැනගන්න ඕන. නැන්දම්මා පිට් වුනාට පස්සේ බැරියැයි දෙන්නත් එක්කම කඩේ ඇරගන්න.

5. කසායක් බොනවා ඔයිට හොඳයි!

නෑ මේ කියන්නේ ආයුර්වේද වෙදකම ඉගෙනගත්තු ලේලියෙක් ගැන නෙවෙයි. තේ එකක්වත් හරියට හදාගන්න බැරි ගෑණු ළමයි ගැන. මෙන්න මේ කතාවත් ඔය දැන් ඉන්න උයන්න පිහන්න බැරි මොඩ් ගෑණු ළමයි මුලින්ම අහගන්නේ ගෙදර අම්මගෙන්. ඇයි තේ එකක් හැදුවොත් එක්කෝ කහට වැඩියි, සීනි නෑ. එහෙමත් නැත්තං කහට තැම්බෙන්න කලින් සීනි කෝප්ප බාගයක් එක්ක පත අට එකට හිඳෝලා කටේ තියන්න බෑ. දැන් ඔහොම ගෑණු ළමයි වුනත් කොල්ලෙක් යාලුවුනාට පස්සේ සමහර වෙලාවට කුකරි ක්ලාස් එහෙම ගිහින් එහෙන් මෙහෙන් පොඩ්ඩක් අල්ලගන්නවා. ඉන් පස්සේ නැන්දම්මාට වැඩ පෙන්නන්නත් එක්ක කියලා කොල්ලට ඔය කිරිටොපියක් බැරිනං චොකලට් බ්‍රවුනි එකක් වගේ මොනව හරි හදලා දෙනවා. කොල්ලත් ආඩම්බරෙන් ඒක ගෙදර ගෙනිහින් අම්මටත් දුන්නට පස්සේ අම්මා පොඩ්ඩක් කෑල්ලක් හපලා කොල්ලව යවනවා සීයට විට කොටන වංගෙඩිය හරි, බැරිම නං ගල් කඩන මිටිය හරි අරගෙන එන්න කියලා. බලනකොට අර හදපු සුකුරුත්තම කොන්ක්‍රීට් දැම්මා වගේ තමයි. සක්කරමුත්තටවත් හපලා කන්න බෑ. ඉතින් නැන්දම්මා පටන් ගන්නවා අනාගත ලේලි පොඩ්ඩව පට්ට ගහන්න.

හැබැයි අනිවා අපේ උපදේශය තමයි කෙල්ලෝ වගේම කොල්ලොත් උයන්න පිහන්න පුරුදුවෙන්න ඕන කියන එක.

6. අනී මෙයා එක්ක බැහැ බැහැමයි අම්මී!

ඔව්, අනාගත නැන්දම්මා එක්ක තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ වැරදි ලොකු කරලා කියන එකත් ඔය ගෑණු ළමයි වීසා කැන්සල් කරගන්න වරදින්නේ නැති විදියක්. දැන් අඳුනගත්තු මුල් කාලේ අම්මලයි අනාගත ලේලිලයි වැඩ කරන්නේ කෙලින්ම ඇමරිකාවේ ජෝර්ජ් ඩබ්ලියු බුෂ් රුසියාවේ පුටින්ව මුණගැහෙන්න ගියා වගේනේ. ෆුල් ඩිප්ලොමැටික්. එතකොට ඔය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වල දෙන ආතල් ටෝක් එකක් වගේ අම්මත් පුතාගේ පොඩි පොඩි සුයීට් වැරදි කියනවා ලේලි එක්ක. මොළේ තියෙන ලේලියෙක් නං ඕවට හිනාවෙලා “අනී ඒක තමයි අම්මී” කියනවා මිසක් එයින් එහාට දෙයක් කියන්නෙ නෑ. හැබැයි මොළේ වර්ධනය වෙලා නැති ලේලි පොඩ්ඩක් හිතනවා මේක තමයි අනාගත නැන්දම්මගේ හිත ගන්න මරුම වෙලාව කියලා. එහෙම හිතලා ඇද නැතුව දීලා අදිනවා තමන්ගේ කොල්ලගේ තියෙන වැරදියි, කොල්ලා ඇතිකරන බල්ලගේ වැරදියි ඔක්කොම. හැබැයි නංගි මතක තියාගන්නවා හොඳයි, අම්මලා කැමති නෑ මේ කසාද බඳින්න තීරණේ කරන්නත් කලින් කොහෙවත් නැති කෙල්ලෙක් ඇවිත් තමන්ගේ රත්තරං පුතාගේ වැරදි කියනවට!

7. ලොකුම ලොකු සීන්!

මෙන්න නැන්දම්මට විතරක් නෙවෙයි, ගෙදර ඉන්න බල්ලාට පූසාටත් පුතාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව එපා වෙන්න නොවරදින හේතුවක්. දැන් ඔය ගෑණු ළමයි ඉන්නවනේ තමන් ගැන සෑහෙන්න ඉහළින් හිතාගෙන ඉන්න. ඒ කියන්නේ ඒ අය හිතනවා ලෝකේ කැරකෙන්නේ ඇත්තටම තමන්ගේ කකුල් දෙක තියෙන තැන කේන්ද්‍රය කරගෙන කියලා. ඉතින් මේ ගෑණු ළමයි බලාපොරොත්තු වෙනවා තමන් වටේ ඉන්න අය, තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් සහ විශේෂයෙන්ම බෝයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදර අය එහෙම මුණගැහෙන දවසකදී ඒ අයත් තමන්ට අර කුමාරිකා ලෙවල් එකෙන්ම සලකයි කියලා. අපි හිතමුකෝ කොල්ලා ලව් එක හින්දා හරි, මොළේ ගොම හින්දා හරි ගෑණු ළමයට මෙහෙම සලකනවා කියලා. හැබැයි නැන්දම්මාගෙනුත් එහෙම සැලකුම් බලාපොරොත්තුවෙන් පුස් පාට් දාන්න, ලොකු එක දෙන්න යනවා කියන්නේ විනාසයි.”මේ අපේ එකා කොහෙන්ද අහුලගෙන ආපු උඩැක්කියේ ‍රැස්පොට් බලන්න ඒකි කවුද, මං කවුද” කියලා පටන් ගැන්මට කොල්ලගේ අම්මා කොල්ලගෙ තාත්තාගෙන් හොරෙන් අහයි. හැබැයි එතනින් පස්සේ ඔය මගුල වුනත් කෙල්ලට ආය කොල්ලගේ පවුලේ අයත් එක්ක සමාදානෙන් වසන්න නං හම්බුවෙන්නෙ නෑ ඕං!

- aniwa.lk




gossip lanka