මේ ශූර ගොවි මහත්මීන්ගේ දිරිමත් ජීවිත කතා වලින් අපේ කාන්තාවන්ටත් ගතහැකි ආදර්ශ බොහොමයි

ලංකාවෙ ගොවිතැන කිවුවහම හුඟක් වෙලාවට අපේ හිතේ මැවෙන්නේ පොළවත් එක්ක හැප්පෙමින්, දාඩිය මහන්සියෙන් වැඩ කරන පුරුෂයෙක්ව. ගෙවිලිය ගැන අපේ හිතේ තියෙන්නෙ තමන්ගේ සැමියාගෙ හෝ පියාගෙ වැඩ කටයුතු වලට සුළු සුළු අත් උදවු සපයමින්, ගෙදර දොරේ, දරු මල්ලන්ගෙ වැඩ කටයුතු බලාගෙන ඉන්න කාන්තාවක් හැටියටයි.

ඒත් අද දවස වෙද්දි ගොවිරාළලාට ඇඹුල ගෙනියපු
ටිකිරි මැණිකෙලාගේ භූමිකාව වෙනස් වෙන්න පටන් අරගෙන…

වළළු දාගෙන ඇඹුල බෙදන සියුමැළි අතකට වුණත් සවිමත් හිතක් උරුම නම් මහ පොළොව කියන්නේ හැප්පෙන්න බැරි කළු ගලක් නොවන වග ඒ අය මේ වෙද්දි ඔප්පු කරමින් ඉන්නවා. මහ පොළවත් එක්ක හැප්පිලා එදා වේල සරිකර ගැනීමෙන් නවතින්නේ නැතිව ඔවුන් අනාගතය ගැන සිහින දකිනවා. දහඩිය කඳුළු හෙළලා දෝතට ගන්නා අස්වැන්න මුළුතැන්ගෙයි රසවත් වෑංජනයක් බවට පත් කරන්නට විතරක් නෙමෙයි, වෙළඳපොලේ ඉල්ලුම හරහා පවුලේ අනාගත අභිවෘද්ධිය සළස්වන මාර්ගයක් බවට පත් කරන්නටත් ඔවුන් උපන් හපනියන්.

එවන් දිරිය ගොවි මහත්මීන් සොයාගෙන යන ගමනේදී අපිට අපූරු චරිත දෙකක් මුණ ගැසුණා. ඉන් එක් අයෙක් තමයි බණ්ඩාරවෙල පදිංචි විනීතා මනතුංග මහත්මිය. අනිත් තැනැත්තිය තමයි තණමල්විල පදිංචි දීපා කුමාරි මහත්මිය. ගොවිතැන හරහා ඔවුන් ජීවිත සටන ජයගත්ත හැටි අසා සිටීමම හරිම ආශ්වාදනීය අත්දැකීමක් වූ බව කිව යුතුමයි. මෙවන් කෙටි ලිපියකින් ඔවුන් ආ ගමන්මග විස්තර කිරීම කිසිසේත්ම කල නොහැකි දෙයක්. ඒ වෙනුවට අපි ඔබට කියන්නට යන්නේ ඔවුන්ගේ ජීවන අත්දැකීම් හරහා අපේ අනිවා කියවන කාන්තාවන්ගෙ ජීවිත වලටත් ගතහැකි යම් ආදර්ශයක්, පාඩමක් වේනම් ඒවා ගැනයි.

1. ජීවිතේ වෙනස් කරගන්න කවදාවත් පරක්කු නැති බව මතක තියාගන්න

බණ්ඩාරවෙල විනීතා මහත්මිය කියන්නේ තමන්ගේ ගොවි ජීවිතය ඇතුලේ බොහොම ධෛර්යමත්ව වැඩ කරපු, ඒ හා සමානවම බොහෝ ජයග්‍රහණ ලබාගත්ත දිරිය කාන්තාවක්. 2016 අවුරුද්දේදි කාගිල්ස් ආයතනය විසින් ප්‍රදානය කරන ශූර ගොවියා සම්මානය දිනාගන්නටත් ඇය සමත්වී තිබෙනවා. ඇගේ ගමේ ගොවිජන සේවා කාන්තා සමිතියේ සභාපතිනිය වන්නේත් ඇයයි. ඇගේ දරුවන් තිදෙනාම මේ වෙද්දි විවාපත් අය. ඔවුන්ට යහපත් අනාගතයක් උරුම කරන්නටත් ඇයට දායක වෙන්නට හැකියාව ලැබිල තියනවා. ගොවිතැන හරහා පවුලේ ආර්ථිකය නගා සිටුවන්නට විතරක් නෙමෙයි. තමන්ගෙ ප්‍රදේශවාසීන්ට දැනුම බෙදාදෙමින්, රැකියා අවස්ථා උදා කරමින් සේවයක් සලස්වන්නටත් ඇයට හැකි වෙලා තියනවා. වඩු කර්මාන්තයේ නියැලුණු ඇගේ සැමියා පවා තමන්ගේ ශූර ගොවිකම නිසාවෙන් දැන් ගොවිතැනට යොමු වෙලාය කියලා ඇය කියන්නේ අහිංසක සතුටකින්.

මේ සියලු ජයග්‍රහණ ඇය විසින් ලබාගත්තේ දශකයකට ආසන්න කාලයක් තුලදී කියල කිවුවොත් ඔබ සමහරවිට පුදුමත් වේවි. නමුත් ඒක තමයි ඇත්ත. සුළු සුළු ව්‍යාපාර කිරීම මගින් තමයි ඇය පවුලේ ආර්ථිකයට දායක වෙන්න මුලින්ම උත්සාහ කරන්නේ. ඒවා එතරම්ම සාර්ථක නොවුණු තැන් තමයි ඇය ගොවිතැනට යොමු වන්නේ. ඒ ඇගේ ජීවිතයේ සතලිස් වියත් පසුකර සිටින අවධියකයි. ජීවිතේ වෙනසකට මුල පුරන්න උනන්දු නොවෙමින්, දැන් ඒ දේවල් වලට ප්‍රමාද වැඩියි යයි හිත හදාගනිමින් පසුබට වන අපිට ඇය සපයන්නේ මහඟු ආදර්ශයක් නොවේද?

2. හීන වලට පණ දෙන්න බිය නොවන්න

තණමල්විල දීපා කුමාරි මහත්මිය ගොවිකමට යොමුවෙලා මේ වෙද්දි දශක දෙකකටත් ආසන්නයි. අ. පො. ස උසස්පෙළ දක්වා අධ්‍යාපන කටයුතු වල නියැලෙන ඇය ඉන් පස්සේ විවාහ ජීවිතයකට ඇතුළත් වෙනවා. ඇගේ ස්වාමියා සුලු ප්‍රමාණයෙන් වගා කටයුතු කරගෙන ගිය පුද්ගලයෙක්. වගා කිරීමට තමන්ගේ කියා ඉඩමක් තියා ඔවුන්ට තමන්ගේ ගෙයක් දොරක්වත් නැහැ. කුලී නිවසක පදිංචිව හිඳිමින් තමයි දීපාත් ඇගේ සැමියාත් තමන්ගෙ අනාගතය ගැන සිහින මවන්නේ. සැමියාගේ පියා සතු ඉඩමක් තමයි ඔවුන්ගේ මුල්ම වගා බිම. තක්කලි, මිරිස්, දෙහි, බටානා ආදිය තමයි ඔවුන් වවන්නේ. සරුසාර පසත්, අසලින් ගලායන ගංගාවත් නිසා අවුරුද්ද පුරාවට වගා කටයුතු වල නියැලෙන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. අගහිඟකම් නිසාවෙන් වගා කටයුතු දියුණු කරගෙන යන්න අවශ්‍ය සුළු සුළු උපකරණ ගන්නටවත් ඔවුන්ට වත්කමක් නැති හින්දා දීපා කරන්නේ තමන් සතු රත්රන් බඩු කිහිපය උගස් කරන එකයි. ඊට පස්සේ ගොවිතැනට අවශ්‍ය කරන වතුර පොම්ප ඇතුලු වෙනත් උපකරණ, යන්ත්‍ර සූත්‍ර ක්‍රම ක්‍රමයෙන් එක්රැස් කරගන්නට ඔවුන් දෙන්නා සමත් වෙනවා. මාමණ්ඩියගේ ඉඩමෙන් එහාට පැතිරුණ වගා බිම් ගැන ඔවුන් සිහින දකිනවා. දෑතේ මහන්සියෙන්, හිතේ වීරියෙන් ඒ හීන එකින් එක ඔවුන්ගේ ජීවිත තුළ සැබෑවක් වෙන්න පටන් ගන්නවා. දැන් ඔවුන් වගා කරන ඉඩම් විතරක් නෙමෙයි, තමන්ගේ කියලා ගෙයක් දොරක්, යාන වාහන, කඩ සාප්පු පවා අරගෙනය කියලා ඇය කියන්නේ නිරහංකාර සතුටකින්. ඇගේ දියණිය උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබනවා. පුතා සාමාන්‍ය පෙළ සිසුවෙක්. සිහින සැබෑ කරගන්න අවදානමක් ගන්න පසුබට නොවුණ දීපා අද තෘප්තිමත් ගොවි මහත්මියක්.

“මහත්තය තමයි වැඩිපුර මහන්සි වෙන්නේ”. ඇගේ සාර්ථකත්වය ගැන පවසන හැම වැකියක් අවසානයේදීම තම ආදරණීය සැමියාව මතක් කරන්නටත් ඇය අමතක කරන්නේ නැහැ. ගොවිතැනින් ජීවිතය ජයගත් ඔවුන් දෙපළ අදටත් ඔවුන් තමන් මුලින්ම වගාව ඇරඹූ පියාගේ ඉඩමේ වගාවන් කරගෙන යනවා.


3. නොපසුබට උත්සාහයේ සහ අලුත් දැනුම හඹායාමේ වැදගත්කම

විනීතා මනතුංග මහත්මිය තමන්ගේ වගා කටයුතු ආරම්භ කරන්නේ තනිවමයි. 2007 අවුරුද්දේ විතර පටන් සුළු පරිමාණයෙන් තක්කාලි, බෝංචි ආදිය වගා කරන්නට ඇය පටන් ගන්නවා. මේවා ප්‍රදේශයේ පොළට දමා විකිණීම හරහා තමයි ඇය මුදල් ඉපයීම සිදු කරන්නේ. වගා කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඇය දරන්නේ සුළු පටු මහන්සියක් නොවෙයි. වගාවන්ට බෙහෙත් ගැසීම පවා ඇය තමන් තනියෙන්ම කරගන්නවා. මහ පොළවෙන් ඵළදාව උපද්දවාගත් තැනින් ඇගේ කාර්යභාරය නිමා වෙන්නේ නැහැ. නව වගා ක්‍රම සහ වෙළඳපොළ ඉල්ලුම ගැන දැනුවත් වීමේ පිපාසයකින් ඇය පෙළෙනවා. ප්‍රදේශයේ ගොවිජන සේවා සමිතියේ වැඩමුළු වලට ඇය මහත් උනන්දුවෙන් සහභාගි වන්නේ ඒ නිසායි. මීට අමතරව ගොවිතැන් සහ වගාවන් සම්බන්ධයෙන් පවත්වන වෙනත් වැඩසටහන් වලටත් හැකි සෑම අවස්ථාවක සහභාගි වෙලා දැනුම වර්ධනය කරගන්න ඇය අමතක කරන්නේ නැහැ. සුපිරි වෙළඳසල් වලට එළවලු සැපයීම මගින් වැඩි ආදායමක් උපයන්න පුළුවන් බව ඇය දැනගන්නේ එවැනි වූ වැඩසටහනක් හරහා. එතැන් පටන් තවත් වැඩියෙන් මහන්සි වී තමන්ගේ වගා කටයුතු දියුණු කරගන්නට ඇය ධෛර්යමත් වනවා. ගොවිජන සේවා සමිති හරහා හරිතාගාර සකස් කරගන්නා අන්දම ගැනත් ඇය දැනුවත් වෙනවා. ඇය තමන්ගේ මුල්ම හරිතාගාරය අරඹන්නෙ 2009 වසරේදීයි. 2015 වසර වෙද්දි ඇය හරිතාගාර 4ක හිමිකාරියක්. ගොවිතැන් මගින් ලද ආදායමෙන් කුඩා ලොරියක් සහ ත්‍රීරෝද රථයක්ද ඇය විසින් මිලදී ගන්නා අතර, වගා බිම් වල සේවකයන් සහ එළවලු ප්‍රවාහනය කිරීම සඳහා ඒ ත්‍රීරෝද රථය පදවාගෙන යන්නේත් ඇය විසින්මයි.

ගතවූ කාලය දිහා හැරී බැලීමේදී, විවිධ අසනීප තත්ත්ව නිසා මේ වන විට වෙනදා තරම් මහන්සි වන්නට නොහැකි වීම ගැන විතරයි ඇය කනස්සලු වන්නේ. දශක පහකට වඩා වයසින් වියපත් වුවත්, හදවතින් තරුණ ඇයට මේ ලිපිය උපහාරයක්ම වේවා!

4. ජීවිතේ සමබරතාවය රැකගන්න

අපි ජීවත්වෙන්න කියලා දහසකුත් එකක් දේවල් කරනවා. ඒ දේවල් ක්‍රම ක්‍රමයෙන් අපේ ජීවිතේ බවට පත්වෙනවා. සමහර වෙලාවට ඕනෑවටත් වැඩියෙන් එහෙම උනාම ජීවිතේ තවත් දේවල් අපිට ක්‍රම ක්‍රමයෙන් මග ඇරෙන්න පටන් ගන්නවා. තමන්ගේ දරුවෝ තමන්ටත් නොදැනීම උස් මහත් වෙනවා, තමන්ගේ සැමියා/බිරිඳ තමන්ටත් නොදැනීම වියපත් වෙලාය කියලා දැනෙනවා. අපි ජීවිතේ මහ බරක් කරට ගන්නේ ඒ අයගෙ සතුට දකින්නට වුණත්, අපිටත් හොරා ඒ අයව අපිට මගහැරිලාය කියලා හිතෙන්න ගන්නවා.

එහෙම නොවෙන්නට නම් ජීවිතේට හරි හමන් සමබරතාවයක් තියෙන්න ඕනෙ. දීපාගෙත්, විනීතාගෙත් ජීවිත වල අපි ඒක දකිනවා. අනිත් අතට ගත්තහම ගොවිකම කියන්නේ ඒ සමබරතාවය රැකගෙන යන්නට හැකියාව ලැබෙන කදිම වෘත්තියක් කියලත් අපිට වෙලාවක හිතෙනවා.

දීපා වගේම විනීතාත් තමන්ගේ වගා කටයුතු වලට වැය කරන කාල වෙලාවන් හරි විදිහට කළමණාකරණය කරගෙන කටයුතු කරන එක අපි ඒ අයගෙ දැක්ක විශේෂත්වයක්. විශේෂයෙන්ම කුඩා දරුවන් දෙදෙනෙක්ගේ මවක් හැටියට තමන් ගතකල ඒ කාලයේදී මේ සමබරතාවය රැකගැනීමට විඳින්න වුණ දුෂ්කරතාවයන් ගැන දීපා අපට කිවුවා. මුලදී තරමක් දුෂ්කරතාවයන් විඳින්නට සිද්ධ වුණත්, දරුවන් පෙරපාසල් යන අවධිය වෙනකොට සැමියාත් සමග එකතුව දරුවන්ගේ වැඩකටයුතුත්, ගොවිතැන් කටයුතුත් නිසි පරිදි කළමණාකරණය කරගන්නට ඇයට හැකියාව ලැබිල තියනවා. මේ වෙද්දි ඇගේ දරුවන් දෙදෙනාම ඉගෙනුමෙන් දස්කම් දක්වමින් ඉන්නවා. ගොවිතැනෙන් ලැබූ සාර්ථකත්වය වගේම ප්‍රීතිමත් පවුලක සන්තෝෂයත් දීපා අද විඳින්නේ ඒ සමබරතාවය රැකගැනීම නිසයි.

5. තමන්ගෙන් සමාජයටත් යමක් ලබාදෙන්න

විනීතා වගේම දීපාත් තමන්ගේ සාර්ථකත්වයේ රහස් මේ වෙනකොට තමන්ගේ ඥාතීන් හිතවතුන්, ගම් වැසියන් ඇතුළු බොහෝ දෙනෙක් හා බෙදා හදාගෙන ඉවරයි. තමන් ගිය මාර්ගයේම ගිහින් දියුණු වෙන්නට කැමති අනෙක් අයට ඔවුන් ඒ මාර්ගය පෙන්වන්නේ බොහොම කැමැත්තකින්. විනීතා සහ දීපාගේ ගොවිතැන් කටයුතු වල දියුණුව සහ සාර්ථකත්වය දැකලා ඒ අයගෙ ඥාතීන් පවා වගා කටයුතු වලට යොමු වෙලා තියනවා මේ වෙද්දි. ඒ වගේම ඒ අය ජීවත්වන ප්‍රදේශවල තරුණ තරුණියන් පවා විනීතාගෙන් සහ දීපාගෙන් උපදෙස් අරගෙන වැඩි වැඩියෙන් වගා කටයුතු අරඹන්න උනන්දු වෙලා තියනවා. මේ හැම දෙනාටම නොමසුරුව තමන්ගේ දැනුම සහ උපකාර ලබාදෙන්න වීනීතාත් දීපාත් දක්වන්නේ දැඩි කැමැත්තක්. තමන් ආ මාර්ගයේම ගමන් කරලා අනාගත පරම්පරාව දියුණුවක් ලබනවා දකින අවංක ආශාවක් ඔවුන්ට තියනවා. ඔවුන්ගේ ආශාව මුදුන්පත් වේවායි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.

- aniwa.lk


gossip lanka