අපි වගේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආපු තොරතුරු දැනගැනීමේ පනත (RTI) ක්‍රියාත්මක වෙන්න පටන් අරන් දැන් මාසයකුත් වෙන්න ළඟයි. හැබැයි තාම මේ පනතෙන් අපිට ලබාදුන්න අයිතිය ලබාගන්න කවුරුත් ඒ හැටි ක්‍රියාත්මක වෙන පාටක් පේන්න නෑ. මොකද ඒ? තමන්ගෙ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන් ලැබුණු මේ අයිතිය භාවිතා
කරන්න ටිකක් කම්මැලියි වගේද? නැත්නම් බයද? කිසි දේකට බය වෙන්න දෙයක් නෑ. මේක අපේ අයිතියක්. සාමාන්‍ය ජනතාව වන අපේ ශක්තිය රටේ ශක්තිය සහ නිවැරදි ගමන් මග බවට හරවන්න අපිට තියන චාන්ස් එකක්. බල බල ඉඳල බෑ. තොරතුරු දැනගැනීමේ අයිතියත් එක්ක අපි මේ කියන්න යන විදිහට වෙනස් වෙන්න කාලෙ හරි.
1. ඕපාදූප වෙනුවට තොරතුරු ලබාගනිමු
“අයියා දැක්කද ඊයෙ නිව්ස් එක? අහවල් අමාත්‍යංශෙ කෝටි සීයක් වංචා කරලලු නේද?”
“මොන? කෝටි සීයක් නෙමෙයි දහයයි නේද?”
“නෑ නෑ මොංගල් ටීවී එකේ කිවුවෙ කෝටි සීයයි කියල”
“ඒ උනාට බේගල් නිව්ස් වලට කිවුවෙ දහයයි කියලනෙ?”
සමහරවිට මේ වගේ අවස්ථා වලට ඔයත් මුහුණ දීල ඇති. පත්තරේ කියන්නෙ එකක්, ටීවී එකේ තව එකක්, නිව්ස් වෙබ් සයිට් වල යන්නෙ වෙන එකක්. මේ දේවල් සමහරවිට අපේ එදිනෙදා ජීවිතේටයි අනාගතේටයි සෘජුවම හරි වක්‍රව හරි බලපාන්න පුලුවන් සිදුවීම් සම්බන්ධ ප්‍රවෘත්ති වෙන්න පුලුවන්. ඉතින් ඇයි අපි අනුන්ගෙ ඕපාදූප විශ්වාස කරගෙන අත් බැඳගෙන ඉන්නෙ? කෙලින්ම මේ හා සම්බන්ධ ආයතන වලට ගිහින් අදාල තොරතුරු විමසීමක් කලානම් ඉවරනෙ. වැරැද්දක් වෙලානම් ඉදිරි පියවරක් ගන්නත් පුලුවන්නෙ?
2. අල්ලපු ගෙදර බඩු වෙනුවට අපේ බදු ගැන හොයමු
“මේ ඒයි එනවකො…ඒයි එනවකො?”
“ඇයි යෝදියෙ?”
“අන්න මොකක්ද අලී පෙට්ටියක් අල්ලපු ගෙදර උන් අරන් ආව… පෙනිච්ච විදිහටනම් අඟල් 65 ස්මාට් ටීවී එකක් වගේ”
අපි නොයෙක් බදු ගෙවනව. ඒ බදු එකතු කරගන්න උදවිය ඒවයින් පිං පොං ගහනවද කියලවත් කියල හිතන්න අපිට අවශ්‍යතාවයක් නෑ. හැබැයි අල්ලපු ගෙදර කට්ටිය අලුත් මල්පෝච්චියක් ගෙනාවත් ඒකට සීසීටීවී පාර දාල අපේ අය හිතන්න පුරුදුවෙලා ඉන්නෙ “යකෝ මුන් කුඩු විකුණනවද මෙහෙම බඩු ගන්න” කියල. මීට පස්සෙ එහෙම පටු දේවල් හොයනව වෙනුවට රාජ්‍ය ආයතන වලින් අපේ බදු මුදල් හරියාකාරව ක්‍රියාවේ යොදවනවද කියල තොරතුරු ඇසුරින් හොයා බලමුද?
3. කතා වලට නොරැවටී වැඩ ගැන හොයමු
“දැං මේ මිත්‍රවරුන්ට මතක ඇති… මීට අවුරුදු හය හතකට කලින් මෙතන තිබ්බෙ බොරලු පාරක්. කරත්ත වලත් ෂොක් ඇබ්සෝබර් ගියා මේ පාරෙ ගමන් ගනිද්දී… දැන් එහෙමද? ෆුල් කාපට්. කවුද මේව කලේ? මම මිත්‍රවරුණි මේ මම… මේ පාර මට මනාපෙ ගහපු ගමන්… මේ කාපට් පාරේ බ්රූං ගාල එහා මෙහා යන්න ෆෙරාරි ගන්න තරං ආර්ථිකයක් හදලයි මම පස්ස බලන්නෙ”
ලොකු පුංචි හැම ඡන්ද කාලෙකම අපේ දේශහිතෛශී මහත්තුරු අපිව හම්බුවෙන්න එනවා. ඒ අය කලාය කියන වැඩ ඇතුලත් පොත් පිංචවලුත් අපිට දීල යනව. ඒවයෙ කරල තියන වැඩ ගැන කියෙවුවම අපිට හිතෙන්නේ “යකෝ මේ හැම එකාම එකතු වෙලා මෙච්චර ඒව හැදුවනම් අපේ ගම නිකන් ලොස් ඇන්ජලීස් වගේ තියෙන්න එපැයිනෙ” කියලයි. කරපු දේවල් උනත් වංචාවෙන් දූෂණයෙන් තොරව කලාද කියන්න අපි දන්නෙ නෑනෙ. ඒ නිසා ඉදිරි කාලවලදි මේ මහත්තුරුන්ට මනාපෙ ගහන්න කලින් අපිට පුලුවන් මෙයාලගෙ වැඩ ගැනත් ටිකක් හොයා බලන්න. ඊට පස්සෙ හිතේ සැනසිල්ලෙ ඉන්න පුලුවන් ගමට රටට සැබෑ වැඩක් කරපු කෙනෙක්ට මගේ වටිනා ඡන්දය දුන්න කියල.
4. හොර පාරෙන් වෙනුවට කෙලින් පාරෙන් යමු
“මෙතන බෑ අයිසෙ… ගිය සතියෙත් පස් දෙනෙක්ව අස්කලා මේව මාට්ටු වෙලා. තමුසෙ එනව පිටිපස්සෙ ටොයිලට් එක ගාවට. මම ටොයිලට් එක ඇතුලෙ ඉඳන් දොර අස්සෙන් අත දික්කරන්නම්. තමුසෙ එතකොට ෂේප් එකේ ඕක දීල යනවා”
අපේ සල්ලිකාර මහත්තුරු නෝනල නම් පුරුදු වෙලා ඉන්නෙ තමන්ගෙ වැඩ ලේසි කරගන්නයි, ඇඳිනුම්කම් වැඩි කරගෙන බලපුලුවන්කාර කම් පෙන්නන්නයි මේ පගාව පාවිච්චි කරන එක. පොඩි දේටත් සමිතින් එක මිට මොලෝනව. අන්තිමට මේ දේවල් නිසා සමහර නිලධාරීන් පගාව ගන්න එක තමන්ගෙ අයිතියක් බවට පත් කරගන්නව. නැති බැරි පොඩි මිනිහට තමයි අන්තිමට ඒ වැරැද්දට වන්දි ගෙවන්න වෙන්නෙ. දැන් RTI නිසා තොරතුරක් ලබා දෙන්න සැදී පැහැදී ඉන්න නිලධාරී මණ්ඩලයක් සහ තොරතුරු ලබාදෙන්න නිසි කාල සීමාවක් තියනවා. ඒ නිසා පගාව ඉස්සර කරන් යන්න ඕනෙ නෑ. නියමිත කාල සීමාව පරක්කු කර කර අනිත් අයව රස්තියාදු කරන්නත් බෑ. පගා ටෝක්ස් වලට ආවොත් ඒකට විරුද්ධව නීතියත් ක්‍රියාත්මක වෙනව.
5. බය වෙනුවට ආත්ම විශ්වාසය ඇතිකරගමු
“අනේ සර් පුලුවන්නම් මාත් එක්ක ප්‍රාදේශීය සභාවට ගිහින් එන්න යමුද? මං දැන් දවස් ගාණක් තිස්සෙ යනව හෙට එන්න අනිද්ද එන්න කියල සැර දානවා. මට නම් තේරෙන්නෙ නෑ ඇයි කියල”
හුඟක් අයට තියන බයක් තමයි මේ රජයේ ආයතනයකට ගිහින් රස්තියාදු වෙන්න වේවිය, බැනුම් අහගන්න වේවිය කියන එක. මේ වගේ බයෙන් ගැහි ගැහී වැඩක් කරගන්න යන මිනිස්සුන්ගෙ පොකැට් එක ඩැහැගන්නත් “කාක්කො” කියන සෙට් එකක් ඔය ආයතන අහල පහල රැඳිල ඉන්නව. ඒ සමහරක් අය තමයි නිල නොලත් සම්බන්ධීකරණ නිලධාරීන් හැටියට ක්‍රියා කරන්නෙ. මේ කොහොම වෙතත් දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑනෙ. ඔයාල කියවන්නත් ඇතිනෙ ගීතානිගෙ කතාව. ඒ විදිහට බය නොවී තමන්ගෙ තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කරන්නයි තියෙන්නෙ. සාමාන්‍ය ජනතාව හැටියට අපි බයවෙච්ච කාලෙ ඉවරයි. දැන් බය වෙන්න ඕනෙ තොරතුරු නොදී හංගන්න හදන උදවියයි.
6. ලැබීම වෙනුවට අයිතිය පිලිගනිමු
“මේක ඉතින් අපි ලබා උපන් හැටි වෙන්න ඇති… අපි ගිය ආත්මෙ මහ පවක් කරල ඇති… දුප්පත් අපිට ඉතින් දුක උරුමයි මහත්තයො.”
දුප්පත් කම, සමාජ අසාධාරණය සහ අසමානතාවය ජීවිතයේ උරුමයක් හැටියට පිළි අරන් විහින් දුර්වලයෝ වෙන්න අපේ සමහර මිනිස්සු පෙළඹිලයි ඉන්නෙ. මේ වගේ මිනිස්සුන්ව තවත් දුර්වල කරන යාන්ත්‍රණයක් තමයි දකින්නත් ලැබෙන්නෙ. හැබැයි දැන් ඒක වෙනස් කරන්න පුලුවන් කාලයක් ඇවිත් තියෙන්නේ. සිටු මැදුරේ බලවතාගෙ ඉඳන් දුගී පැලේ මනුස්සය දක්වා එක සේ ක්‍රියාත්මක වෙන අයිතියක් තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය කියන්නෙ. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ කිය කිය ඉඳල බැහැ. අපි ක්‍රියාත්මක වෙන්න ඕනෙ. හැමදේටම හේතුව ලැබීමය, කරුමෙය කියල හිත හිත ඉන්නෙ නැතිව වැරැද්ද උනේ කොතැනින්ද? කොහොමද ඒ වැරැද්ද හරි ගස්සගන්නෙ කියන දේවල් ගැන හොයා බලන්න ඕනෙ.
7. තමන් ගැන විතරක් නොව ගම රට ගැනත් හිතමු
“ඔය ගස් කපපුදෙන් අපිට ඒසී තියනවනෙ…”
“බඩු මිල ඉහල ගියපුදෙන් අපිට ඉතින් මොනවැයින් අගහිඟයක්ද? ”
“ආහ්… සහනාධාර ගසා කාලා… අවුලක් නෑ අපේ සාක්කුවෙන් නෙමේනෙ ගියෙ…”
“මොකක්? පාර හදද්දි බිල්ඩිං කැඩෙනවා? අයියයියෝ මගෙ ෂොප් එකත් යයි. ගේමක් අදින්නෝනෙ”
දැන් මේ අලුත් තොරතුරු දැනගැනීමේ අයිතිය පාචිච්චි කරන්න පුලුවන් තමන්ට අයිති දේවල් ගැන තොරතුරු දැනගන්න විතරක් නෙමෙයි. තමන්ට අදාල නැති දෙයක් ගැන උනත් තොරතුරු දැනගැනීමේ හැකියාව තියනව. හැබැයි ඉතින් අපේ අය බොහොමයක් තමන්ට පාඩුවක් වෙනකම් කිසිම දෙයක් ගැන වගේ වගක්වත් නැතිවනෙ ඉන්නෙ. තමන්ගෙ ගැටලුවකට RTI පාවිච්චි කරල විසඳුම් හොයන්න ඕනෙ තමයි. හැබැයි අපි කියන්නෙ එහෙම විතරක් කරන්න එපා කියලයි. ඔබ ජීවත්වන ගමට, නගරයට සහ රටට බලපාන පොදු ගැටලු ගැනත් අවධානයෙන් ඉඳල බහුතර සුභ සිද්ධිය වෙනුවෙනුත් මේ අයිතිය පාවිච්චියට ගන්න.
8. හිත හිත ඉන්නෙ නැතිව ප්‍රශ්න කරමු
“ආ… මේ කර්මාන්ත ශාලාව හැදුනොත් ගඟේ වතුර අපිරිසිදු වෙන්නෙ නැද්ද?”
“ගෙවල් දොරවල් කඩාගෙන මෙතන පාරක් හැදෙන එකෙන් වැඩක් තියෙයිද?”
“මෙච්චර සුදුසුකම් සපුරලත් මාව තේරුණේ නැත්තෙ මොකෝ දන්නෙ නෑ?”
ඉස්සර වගේ නෙමෙයි දැන් තමන්ට තියන මේ වගේ දැවෙන ප්‍රශ්න හිත හිත ඉඳල, කඩපිල් වල කතා කර කර ඉඳල තේරුමක් නැහැ. ඒ සඳහා පිළිතුරු හොයාගන්න මග පාදලනෙ තියෙන්නෙ මේ තොරතුරු දැනගැනීමේ අයිතියෙන්. තමන්ට සහ තමන් අවට පරිසරයෙ සිදුවෙන මේ වෙනස්කම් ගැන හිත ඇතුලෙන් ප්‍රශ්න කර කර ලතැවෙවී ඉන්නෙ නැතිව තොරතුරු ඉල්ලීමේ අයදුම්පතක් දාල, ඒ මගින් මේ කටයුතු ප්‍රශ්න කරල, ඉක්මනින්ම තොරතුරු ලබාගන්න එකයි තියෙන්නෙ.
- aniwa.lk
තොරතුරු දැනගැනීමේ අයිතියත් (RTI) එක්ක අපි මේ 8 විදිහට වෙනස් නොවුනොත් වැඩක් නෑ
2018-08-09T02:43:00-07:00
Gossip Lanka Hot News
slide|