වරින් වර ඇවිත් ජීවිතේම එපා කරවන පොකුරු හිසරදය

හිසරදය ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක අපි කවුරුත් මුහුණදී ඇති අසීරු තත්ත්වයකි. මෙය බොහෝවිට රෝග ලක්ෂණයක් ලෙස ප්‍රතිඵල වෙන්නකි. නමුත් හිසරදය රෝගයක් බවට පත්ව ඉතාමත් දරුණු වේදනාවක් ගෙන දෙන අවස්ථාද පවතී. එවන් එක් දරුණු වරින්වර කිසියම් කාලසීමාවක් අනුව එන එපාම කරපු හිසරදයක්ද තිබේ. මේ හිසරදය සෑදීමට පටන්ගත් විට, කාල
පරතරයකට අනුව විටින් විට හිසරදය ඇතිවන අතර, එසේ ආරම්භ වූ විට, සති/ මාස ගණන් මෙම තත්ත්වය පවතී. තව කාලසීමාවකදී හිසරදයෙන් තොර, වේදනා රහිත සති/ මාස/ අවුරුදු ගණනක් ඇත. එනිසා වරින් වර එන මෙයට පොකුරු හිසරදය යන නම යෙදේ.

මෙම හිසරදය ඇතිවන නැතිවන රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

මොනවාද රෝග ලක්ෂණ?


  • හිසේ එක් පැත්තක පමණක්, ඇස වටා ඇතිවන දරුණු වේදනාව (එම වේදනාව මුහුණ, හිස, බෙල්ල සහ උරහිස දක්වා පැතිර යා හැක)
  • නොසන්සුන් බව
  • මුහුණේ වේදනාව ඇති පැත්තට පමණක් සීමා වූ, ඇස රතුවීම
  • අධික ලෙස කඳුළු ගැලීම
  • දහඩිය දැමීම, නාසයේ හිර ගතිය හෝ හොටු දියර ගැලීම


මෙහිදී ද ඉරුවාරදය (migrane) ඇතිවිට දැනෙන්නා වූ ආලෝක සංවේදීතාවය (light sensitivity), ශබ්ද සංවේදීතාවය (sound intolerance) ඇතිවිය හැක; නමුත් එය හිසරදය ඇති පැත්තට පමණක් සීමා වේ.

මෙම හිසරදය ඇතිවන කාලසීමාව බොහෝවිට නිශ්චිතය.

සාමාන්‍යයෙන් සති 6-12ක කාලයක් පවතී. සෑම හිසරද කැක්කුම් පොකුරක්ම ආරම්භ වන, පවතින කාලසීමාව බොහෝවිට නිශ්චිතය. හිසරදය සාමාන්‍යයෙන් දිනපතා හෝ දිනකට කිහිප වතාවක් ඇතිවිය හැක. එක් හිසරදයක් මිනිත්තු 15ත්, පැය 3ත් අතර කාලසීමාවක් රඳා පවතී. බොහෝවිට රාත්‍රියේ දී (නින්දට පැය කිහිපයකට පෙර) ඇතිවේ.

ඔබට මෙම පොකුරු හිසරද තත්ත්වය පළමු වරට ආරම්භ වූ විට, වෙනත් අවදානම් රෝග තත්ත්වයක් නොවන බවට තහවුරු කර ගැනීමට වෛද්‍යවරයකු හමුවිය යුතුය. සාමාන්‍ය හිසරදය ඇතිවන රටාව වෙනස් වූ විට මෙන්ම දිනෙන් දින වේදනාව උග්‍ර වූ විටද වෛද්‍යවරයකු හමුවිය යුතුය.

හේතු සාධක

මේ සඳහා නිශ්චිත එක් හේතුවක් තවම සොයාගෙන නැත.

ශරීරයේ ජීව විද්‍යාත්මක ඝටිකාවෙහි ඇතිවන බලපෑමක් විය හැක.

ඉරුවාදයේ දී මෙන් නොව, මානසික පීඩනය, ආහාර වර්ග හා හෝර්මෝන වෙනස්වීම්වලින් ඇතිවන බලපෑම අවමය.

කෙසේ වුවත්, හිසරදය පොකුරක් ආරම්භ වූ විට, මත්පැන් භාවිතයෙන් වේදනාව උත්සන්න වේ.

ඇතැම් ඖෂධ වර්ග (හෘදරෝගවලට ලබාදෙන ඖෂධ) භාවිතය හිසරදය ඇතිවීමට හේතු විය හැක.

අවදානම් සාධක

ස්ත්‍රී පුරුෂ භාවය අනුව සැලකූවිට මෙහි වැඩි අවදානමක් ඇත්තේ පුරැෂ පක්ෂයටය. ඕනෑම වයසකදී රෝගය වැළඳීමට ඉඩකඩ ඇති නමුත්, වයස 20-50ත් අතර දී වැඩි අවදානමක් ඇත. දුම්පානය බරපතළ සාධකයකි. බොහෝවිට මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ දුම්පානය කරන පුද්ගලයන්ටය. මත්පැන් භාවිතය මෙම අවදානම වැඩි කරන සාධකයකි. පවුලේ රෝග ඉතිහාසය සැලකුවිට දෙමාපියන්ට හෝ සහෝදර සහෝදරියන්ට මෙම රෝගය වැළඳී තිබුණේ නම් ඔබට ද වැළඳීමේ අවදානමක් ඇත. රෝග නිර්ණය රඳාපවතින්නේ රෝග ලක්ෂණ මතය. වෙනත් රෝග තත්ත්වයන් බැහැර කිරීමට ස්නායු පරීක්ෂාවක් අවශ්‍ය වේ.

හිසරදය වැළඳී ඇති අවස්ථාවේ දී ප්‍රතිකාරය ඔක්සිජන් ලබාදීමයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව හිසරදය දිගින් දිගටම පොකුරක් ලෙස ඇතිවීම වැළැක්වීමට වේදනා නාශක ඖෂධ ලබාදීම සහ වෙනත් ඖෂධ ලබාදිය හැක.

උපදෙස්:  විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය නිමල් සේනානායක


gossip lanka