මේ පොයින්ට්ස් පිළිපැද්දොත් ලස්සනම බිස්නස් කාඩ් එක ඔබේ වේවි

ඔයා වැඩ කරන්නේ පුද්ගලික සමාගමක හෝ රජයේ ආයතනයක නම්, ඒත් නැතිනම් තමන්ගේම බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනෙක් නම්, බිස්නස් කාඩ් එක එහෙම නැතිනම් “ව්‍යාපාරික කාඩ්පත” කියන එක හරිම වැදගත් අංගයක්.

ඔයා ව්‍යාපාරික හමුවකට, රැස්වීමකට හෝ පුද්ගලික හමුවකට යනවා කියලා හිතන්න. එවැනි අවස්ථාවක බිස්නස් කාඩ් එක කියන්නේ ඔයාව හඳුන්වා දෙන්න හොඳම සහ පහසුම විදියයි. මොකද එවැනි හමුවකට ගියවිට ඔයාට ඔයා කවුද? මොනවද කරන්නේ?
හමුවීමෙන් පසුව ආපසු සම්බන්ධ වෙන්නේ කොහොමද? ව්‍යාපාරික ස්ථානය කොහෙද? වගේ දේවල් බොහොමයක් ඔයාගෙ බිස්නස් කාඩ්පත හරහා පහසුවෙන්, පැහැදිළිව ප්‍රචාරණය කරන්න පුලුවන්.

ඒ වගේම බිස්නස් කාඩ් එක පළමු වරට දැකීමෙන් ඔයා ගැන හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් ඇති වෙනවා කියන්නේ තමන්ව හඳුන්වාදීමට ඔයා කල උත්සාහය සාර්ථකයි කියන එකයි. එවැනි සාර්ථකත්වයක් ඔයාගෙ රැකියාවට වගේම බිස්නස් එකටත් ගෙන එන්නෙ වාසියක්ය කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද? මෙන්න මේ නිසා අපි කල්පනා කළා, අපි නිර්මාණය කරන බිස්නස් කාඩ් එකකට අනිවා එකතු විය යුතු සහ කාඩ් පතක් නිර්මාණය කරනකොට සැලකිලිමත් විය යුතු කාරණා ගැන බොහොම සරළ නමුත් වැදගත් විස්තර ටිකක් ඔයාලට කියන්නට.

1. බිස්නස් කාඩ් එකක් කියන්නේ මොකක්ද?

බිස්නස් කාඩ් එකක් කියන්නේ ඔයාව අවට ලෝකයට හඳුන්වා දෙන පත්‍රය කියලා කියන්නත් පුළුවන්. නිසි පරිදි සැකසු බිස්නස් කාඩ් එකක් කියන්නේ ඔයාගෙ වෘත්තීය ගැන හොඳ තක්සේරුවක් සහ ප්‍රචාරයක් දෙන තොරතුරු පතක් කියලා කියන්නත් පුළුවන්.

2. රැකියාව අනුව කාඩ් එක

ඔයා කරන රැකියාව අනුව ඔයාගේ කාඩ් එක වෙනස් වෙන්න ඕනේ. ඒක ඇත්තක්. අපි හිතමු ඔයා Designer කෙනෙක්, Photographer කෙනෙක් එහෙමත් නැතිනම් Film Director කෙනෙක් කියලා. එහෙම නම් ඔයා ඔයාගේ නිර්මාණශීලි බව කැපීපෙනෙන විදියටත්, ඔයාගෙ වෘත්තිය පිළිබිඹු වෙන ලෙසටත් තමයි තමන්ගේ කාඩ් එක ඩිසයින් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට මෙහෙම අය නම් තමන්ගේ කාඩ් එක තමන්ම ඩිසයින් කරගන්නවා. මක් නිසාද ඔවුන්ට ඒ සම්බන්ධව දැනුම තිබෙන නිසා.

නමුත් ඔයා කරන්නේ white Collar රැකියාවක් නම් ඔයාගේ කාඩ්පත බොහොම චාම් සරල නමුත් විස්තර සහිත එකක් වුනාට වරදක් නැහැ.  මොනවා වුනත් ඔයා ඔයාගේ රැකියාව හෝ ව්‍යාපාර ගැන කල්පනා කරලයි කාඩ් එකේ ඩිසයින් එක සැලසුම් කර ගන්න උවමනා වෙන්නේ. මේක අනිවා ෆැක්ට් එකක්.

3. හොඳ බිස්නස් කාඩ් එකක තිබිය යුතු දේ


  • නම : මූලිකව ම ඔයාගේ නම පැහැදිලිව තිබෙන්නට අවශ්‍යයි. එය මුලකුරු සමඟ නම හෝ උප්පැන්න සහතිකේ තිබෙන සම්පුර්ණ නමම වන්නට අවශ්‍ය නැහැ. ඔයාගේ මුල් නම සමඟ වාසගම තිබ්බා නම් හොඳටම ඇති. ඒවගේ ම කාඩ්පත සඳහා යොදන නම පහසුවෙන් කියවාගත හැකි එකක් වීම වටිනවා.
  • තනතුර සහ අධ්‍යාපන සුදුසුකම් : ඔයාට කාඩ්පත ලබාදෙන්නේ ඔයා සේවය කරන ආයතනයෙන් නම් මේ ගැන ඇත්තටම වද වෙන්නට අවශ්‍ය නැහැ. නමුත්  ඔයා තමන්ගේම ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්. ඔයා ආයතනය තුල ඉටුකරන සේවයේ හැටියට අදාළ තනතුර දමන එක වටිනවා. ඒ වගේම ව්‍යාපාරය ඔබේ බව පවසන්නත් අමතක කරන්නට එපා.
  • උවමනා නම් ඔයාගේ ඉහළම වෘත්තීමය සුදුසුකම් කිහිපය අකුරු කිහිපයකින් දැම්මත් වරදක් වෙන්නේ නැහැ.
  • සම්බන්ධ වීමේ තොරතුරු : මේ කියලා තියෙන්නේ කොන්ටැක්ට් ඩීටේල්ස් ගැන. දුරකථන නොම්මර එකක් හෝ දෙකක්, ලිපිනය, ඊමේල් ලිපිනය, ආයතනයේ වෙබ් අඩවිය මෙන්න මේ වගේ තොරතුරු තිබෙන එක වටිනවා.
  • වෙනත් : එයට අමතරව “උවමනා නම් පමණක්” තමන් හෝ තම ආයතනයේ සමාජජාල සබැඳි එකක් හෝ දෙකක් දැම්මට වරදක් නැහැ.
  • ඊටත් අමතරව උවමනා නම් විතරක් :   ඔයාගේ කාඩ් එකට QR කෝඩ් එකක් ඇතුලත් කරන්න හැකියාව තිබෙනවා. මේවා QR code generator හෝ goqr වගේ වෙබ් අඩවි වලින් පහසුවෙන් තනාගන්නට පුළුවන්.


4. දාන්න හොඳ නැත්තේ මොනවාද?


  • පින්තූර : ඉස්සර පින්තූර සහිත බිස්නස් කාඩ් තිබුනා. ඒවා ඒ කාලේ හරිම ජනප්‍රියයි. මේ වෙනකොටත් ලංකාවේ නම් සමහර තැන්වලදි මේවා දකින්නට ලැබුනත්, පින්තුර සහිත බිස්නස් කාඩ් කියන්නේ හරිම යල් පැනපු ට්‍රෙන්ඩ් එකක්.
  • ලස්සන අකුරු කැටයම් : ඕනෑවට වඩා වැඩියෙන් එක එක අකුරු වර්ග වලින් රටා දාපු කාඩ් එකක් අතට ගත්තම කියවන්නට ටිකක් අමාරුයි. මේ නිසා එකම වර්ගයේ අකුරු රටාවකින් ප්‍රමාණයෙන් මහත සහ සිහින් අකුරු වලින් වෙනස් කම් කරන්නට හැකි නම් ඔයාගේ කාඩ් පතත් හරි කදිමට පෙනේවි.
  • පුද්ගලික දුරකථන අංක සහ ඊමේල් : ඔයා බිස්නස් කාඩ් එකකට යොදන්නට උවමනා වෙන්නේ තමන්ගේ ව්‍යාපාරික තොරතුරු පමණයි. ඒ සඳහා ඔයා තමන්ගේ ආයතනයට ගත්තු දුරකථන නොම්මරය සහ ඊමේල් ලිපිනය දැම්මට වරදක් නැහැ. නමුත් පුද්ගලික නොම්මර සහ අනෙකුත් විස්තර දමන්න එපා. ඒක පුද්ගලික ජීවිතයටත් බාධාවක් වේවි.


5. සැලකිය යුතු දේවල්


  • ප්‍රමාණය : ඔයාගේ බිස්නස් කාඩ් එක උවමනාවට වඩා ලොකු වීම සහ ප්‍රමාණයට වඩා කුඩා වීම කියන කාරණා දෙකම අනිවා සලකා බලන්න ඕනේ වෙනවා. මෙයට හේතුව තමයි, කෙනෙක් ඔහුට ලැබෙන බිස්නස් කාඩ් එකතු කරගෙන සිටින්නේ Business Card Book එකක වෙන්න පුළුවන්. අපි ප්‍රමාණයෙන් විශාල කාඩ් එකක් දුන්නොත් එයට එම කාඩ්පත ඇතුලත් කරන්නට නොහැකි වෙනවා. ඒ වගේම ප්‍රමාණයෙන් පොඩි කාඩ් එකක් දුන්නොත් එය බිස්නස් කාඩ් එකතුවෙන් හැලී යන්නට හෝ අවධානයට ලක් නොවී තිබෙන්නට හැකියි. බිස්නස් කාඩ්පතක් සාමාන්‍යයෙන් අඟල් 3.5 x 2 හෝ මිලිමීටර් 84 x 55 ප්‍රමාණයෙන් මුද්‍රණය කිරීම තමයි වඩාත් සුදුසු.
  • තද සහ කැපී පෙනෙන වර්ණ භාවිතාව : අපි ටිකක් තද වර්ණ භාවිතා කරලා කාඩ් පතක් මුද්‍රණය කලොත් එය කාලයක් භාවිතා කිරීමේදී සහ කියවීමේදී වර්ණ වියැකී යන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ නිසා ඔයාගේ නිර්මාණශීලි බවත් රැකගෙන ඇසට ප්‍රිය වර්ණාවලියක් යොදාගන්නට හැකි නම් හරිම අපුරු වේවි. ඕනෑවට වඩා වෙවර්ණ සහ කැපී පෙනෙන වර්ණ භාවිතය ඔබේ කාඩ්පතට වැඩි අවධානයක් ගෙන දෙන්නට ඉඩ තියනවා වුවත් එවැනි සමහර වර්ණ මගින් ඔබේ වෘත්තිය හෝ ව්‍යාපාරය හෑල්ලුවට ලක්වීමටත් ඉඩ තියන බව මතක තියාගන්න.
  • ලෝගොවේ පාට : බිස්නස් කාඩ් එකට අපි යොදන ලෝගෝව තුල තිබෙන පාට බිස්නස් කාඩ් එකට අපට යොදන්නට හැකියාව තිබෙනවා නම් කාඩ් පතට බොහොම ආකර්ශනීය බවක් එකතු කරගන්නට හැකියාව තිබෙනවා.
  • අකුරු: අපි කලිනුත් කියපු විදිහට තමන්ගෙ කාඩ්පතට යොදාගන්නා අකුරු කියවීමට පහසු තත්ත්වයෙන් පැවතිය යුතුයි. මෙහිදී ෆොන්ට් සයිස් 8ට වඩා අඩු අකුරු යෙදීම එතරම් පැහැදිලි නොවෙන්නට පුලුවන්. විශේෂයෙන්ම අපේ කාඩ් ඩිසයින් එකේ ඇති කුඩා අකුරු මොනිටරයෙන් බලද්දි පැහැදිලිව පෙන්වුවත් මුද්‍රණයෙන් පස්සෙ තරමක් අපැහැදිලිව පෙනෙනන්ට ඉඩ තියනවා. ඒ ගැනත් සැළකිලිමත් වන්න.


6. කඩදාසිය

ඔයාගේ මුද්‍රණකරුවාගෙන් මෙන්න මේ ගැනත් අහන්න අමතක කරන්න එපා. කාඩ්පතක් මුද්‍රණය කරනකොට මොන තරම් ඝණකම් කාඩ් පතක්ද යොදාගන්නේ සහ එහි තත්ත්වය ගැනත් අමතක නොකර විමසන්න. ඒ වගේම සමහර මුද්‍රණකරුවන් සතුව විශේෂිත (special papers) ඝණකමින් වැඩි කොළ වර්ගත් තිබෙනවා. ඒවායේ විවිධ රටා පවතින නිසා ඔයාගේ කාඩ් පත එවැනි බෝඩ් එකක මුද්‍රණය කලොත් අනිත් කාඩ් වලට වඩා වෙනස් පෙනුමක් ගෙන දෙන්නත් පුළුවන්.

7. මුද්‍රණය

බිස්නස් කාඩ් එක කියන්නේ ඔබේ වෘත්තීමය හෝ ව්‍යාපාරික තොරතුරු අන් අය අතරට ගෙනයන්න, අලුත් සබඳතා ඇති කරගන්න බෙහෙවින් උදවු වන්නක්. ඉතින් එහෙම අවශ්‍යතා වලට භාවිතා කරන කාඩ්පත හොඳම මුද්‍රණ තත්ත්වයෙන් තියෙන්න ඕන බව අහන්නත් දෙයක් ද?

මේ නිසා හැමවිටම ඔයාගේ බිස්නස් කාඩ්පත් මුද්‍රණය කරන්න යනකොට ඔයාගේ මුද්‍රණකරුවාගෙන් හොඳම තත්වයේ, වියැකී නොයන වර්ණ පරාසයක් ගන්නට හැකි පැහැදිලි මුද්‍රණ ක්‍රමවේදයක් ගැන අහන්නට අමතක කරන්න එපා. සමහර විට මුදලින් පුංචි ප්‍රමාණයක් වැඩි වෙන්නට පුළුවන්. ඒ වුනත් ඔයාගේ කාඩ් එකේ කොලිටිය ගැන කල්පනා කරලා එය වියදම් කිරීමට මැලි වෙන්නට එපා.

නිදසුනක් විදියට ඔයාගේ කාඩ් එක ලේසර් ප්‍රින්ටින් හෝ ෆෝ කලර් ප්‍රින්ටරයකින් මුද්‍රණය කරලා, මැට් හෝ ග්ලොස් ලැමිනේෂන් එකක් යෙදීම කාඩ් පත වැඩි කාලයක් භාවිතා කිරීමට හේතුවක් වෙන බව කියන්නම ඕනේ.

පුළුවන් හැම විටම කාඩ් පත් 1000ක ප්‍රමාණය මුද්‍රණය කරන්නට උත්සහ කරන්න. එවිට එක කාඩ් පතකට මිල බොහොම සුළු අගයක් ගනීවි. ඔයා කාඩ්පත් 1000ට අඩුවෙන් නම් මුද්‍රණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ එක කාඩ් පතකට යෙදෙන මිල ටිකක් වැඩි වෙන්නට ඇති ඉඩ වැඩියි.

8. වෙනස් ඩිසයින් ගැනත් හිතන්න

මේ වෙද්දි සාම්ප්‍රදායික කාඩ් ඩිසයින් වලින් පිට පැනල කරන කාඩ් නිර්මාණත් තියනවා. විවිධ නැවුම්, සිදුරු සහ හැඩතල ඇති මේ කාඩ්පත් අනෙකුත් කාඩ්පත් අතරින් ඔබේ කාඩ්පත කැපී පෙනෙන්නට සලස්වා ඔබේ ව්‍යාපාරයට වැඩි අවධානයක් ගෙන එන්නටත් ඉඩ තියනවා.  ඔබේ මුද්‍රණකරුවා එක්ක කතාකරගෙන ඔබේ ව්‍යාපාරයට ගැලපෙන පරිද්දෙන් ඒ වගේ එකක් නිර්මාණය කරගන්නත් උත්සාහ කරන්නට ඔබට පුලුවන්.

- aniwa,lk



gossip lanka