ගෘහණියන්ට, Househusbandsලට, කාටත් කුස්සියේ කාලය, ශ්‍රමය හා කඳුළු බේරගන්න ටිප්ස් 15ක්

හුඟ දෙනෙක් හිතන්නේ උයන පිහන එක කුස්සියක් පිළිවෙලට තියගන්න එක හරි අමාරු වැඩක් කියල. මාළු ටිකක් අත ගෑවම දවසම අත ගඳයි, සීනි බෝතලේ කොයි වෙලෙත් කූඹි, ලූනු ටිකක් සුද්ද කරගන්න බෑ ඇඬෙනවා,ගේන එළවලු කල් තියාගන්න බෑ නරක් වෙනවා… මේ වගේ ප්‍රශ්ණ ගොඩයි. ඒත් කුස්සියේ පුංචි පුංචි රහස් ටිකක් ඉගෙන ගත්ත නම් උයන පිහන එක හරිම අපූරු වැඩක්.

අපේ අනිවා කියවන හිතවතියන්ට ඔන්න එහෙම රහස් ටිකක් කියල දෙන්නයි අපි හදන්නේ.
බලන්නකො මේව ඔයාල මීට කලින් දැනන් හිටියද කියලා.

1. පාන් නොකැඩී හීනියට පෙති කපමු

පාන් ගෙනාවට ලස්සනට පෙති කපාගන්න එක හරිම අමාරු වැඩක්. පාන් එකේ කුඩු හැලෙන්නෙ නැතුව කැඩෙන්නෙ නැතුව කපා ගන්න නම් පිහිය උණුසුම් වතුර එකක දාල රත් උනාම රෙදි කෑල්ලකින් ඉක්මණින් පිහිදල අරන් පාන් කපන්න. වෙනදට වඩා ලස්සනට පාන් පෙති ටික කැපේවි.

2. මොට වූ බ්ලෙන්ඩර් තල මුවහත් කරන්න

පාවිච්චි කරලම බ්ලෙන්ඩර් එකේ තල වල මුවහත නැති වෙලා නම් ඔන්න ඒකට පොඩි ක්‍රමයක්. ලුණු කුඩු හෝ හාල් ටිකක් නිකම්ම බ්ලෙන්ඩර් එකට දාල විනාඩි 2ක් පමණ ඒක ඔන් කරන්න. තල ටික මුවහත් වේවි.

3. කොයි වෙලේ බැලුවත් සීනි බෝතලේ කූඹිද?

කොච්චර තද කරල වැහුවත් සීනි බෝතලේට කූඹි එනවද? සීනි බෝතලේ ඇතුලට කරාබු නැටි දෙක තුනක් දාල තියන්න කූඹි එන එක නිකම්ම නතර වෙයි.

4. අඬන්නේ නැතුව ලූනු කපන්න

පොඩි දෙයයි කරන්න තියෙන්නේ. උයන්න ගන්න විනාඩි 15කට විතර කලින් ලූනු ගෙඩි ටික අධි ශීතකරණයේ දාල තියල ගන්න. අඬන්නේ නැතුව ලූනු ටික කපාගන්න පුළුවන්.

5. අල හෝ බිත්තර තම්බද්දි මෙහෙම කරන්න

අල හෝ බිත්තර තම්බද්දි වතුරට ලුණු ටිකක් එකතු කරන්න. බිත්තර වල කට්ට ගලවන්න ලේසියි වගෙම අල පැලෙන්නෙ නැතුව ඉක්මණට තම්බ ගන්න පුළුවන්.

6. මැස්සොත් එක්ක නම් හරි කරදරයක්

කුස්සියේ මැස්සො එළවන එක වදයක් වෙලා නේද? ලෙඩ රෝග බෝ කරන මැස්සන්ගෙන් ඔබේ කුස්සිය පරිස්ස්ම් කරගන්න මෙන්න පහසු පිළියමක්. ස්ප්‍රේ කරන්න පුළුවන් බෝතලයකට මද රස්නෙ වතුර ටිකක් පුරවගන්න. එයට කුරුඳු තෙල් බින්දු කීපයක් දාලා මැස්සන් කුස්සියට ඇතුලු වෙන කව්ළු වල වටේට සහ දොර වටේට ස්ප්‍රේ කරන්න. මැස්සන් එන එක වැළකේවි.

7. කරවල, හාල්මැස්සෝ පුස් අල්ලනවද?

කරවල, හාල්මැස්සො ගෙනාවම තියාගන්න එක ටිකක් කරදරයි. එක්කො පුස් අල්ලනවා නැත්නම් තෙතගතියක් එනවා. මේකට හොඳම විසදුම ප්ලාස්ටික් පෙට්ටියට දාපු හාල්මැස්සන් හෝ කරවල අධිශීතකරණයේ තැන්පත් කරන එක. ගඳත් නෑ තෙතත් නෑ පුස් අල්ලන්නෙත් නෑ. රසයට වෙනසක් වෙන්නෙත් නෑ.

8. නූඩ්ල්ස් තැම්බුවම ඇලෙනවනම් මෙන්න පිළියම

තම්බ ගත්තු නූඩ්ල්ස් ටිකේ වතුර පෙරාගෙන පෙරෙන්න දාපු හිල් බාජනේ පිටින්ම ටැප් එකට අල්ලල ඇල් වතුරෙන් ටිකක් සෝදලා වතුර බේරෙන්න තියන්න. නූඩ්ල්ස් වල කැඳ ගතිය ගිහින් ඇලෙන එක නැතිවේවි.

9. සලාද කොල කල් තියාගන්න

සලාද කොළ ගෙනාවට දවසකට දෙකකට වඩා තියාගන්න අමාරුයි. මෙහෙම කරල බලන්න. කඩෙන් කෑම ඔතල ගේන සුදු කඩදාසියක සලාද කොළ ඔතල ශීතකරණයට දාන්න. එහෙමත් නැත්නම් ටිශූ කොළ කීපයකින් ඔතන්න. පත්තර වල ඔතන්න එපා ඒ කාබන් එක විසයි.

10. කොළ හැලෙන කරපිංචා මිටියට විසදුමක්

ඉස්සර වත්තෙ කරපිංචා තිබුණට දැන් ගහක් දකින්නෙත් කලාතුරකින්. කඩෙන් ගේන කරපිංචා මිටියත් දවසින් දෙකෙන් කොළ හැලිලා කළු වෙනවා. මීට පස්සෙ කරපිංචා ගෙනාවම ඉති ටික කඩල සෝදල වතුර වේලෙන්න තියල ප්ලාස්ටික් පෙට්ටියක හෝ වීදුරු බෝතලයක දාලා ශීතකරණයට දාන්න. වෙනදට වඩා කාලයක් තියාගන්න පුළුවන් වේවි.

11. මාළු හේදුවා අනේ, අත තාම ගඳයි

ඔහොම කියන්න වෙන්නෙ නෑ මීට පස්සෙ මෙහෙම කලොත්. මාළු සෝදල ඉවර වෙලා සින්ක් එකයි ටැප් එකයිත් සබන් ටිකක් දාලා සේදුවට පස්සෙ දෙහි බෑයක් මිරික ගත්ත මද රස්නෙ වතුරෙන් අත හොඳට සෝදන්න. දෙහි ලෙල්ලත් අතේ අතුල්ලන්න. ඊට පස්සෙ සබන් දාල සෝදගන්න.

12. කොස් කැපුවොත් පිහියෙ කොහොල්ලෑ නේද?

කොස්, දෙල් වාරෙක කොයි ගෙදරද මේවා හදන්නෙ නැත්තෙ. හැබැයි කොස් දෙල් කැපුවට පස්සෙ පිහියෙ කොහොල්ලෑ ටික යවන එක ලේසි නෑ. මෙන්න ඒකට ලේසි ක්‍රමයක්. පිහිය ලිපට අල්ලල රත් කරන්න. පොල් මුඩ්ඩකින් හෝ ඝණකම රෙදි කෑල්ලකින් ඉක්මණින් පිහිය පිහිදන්න. ලේසියෙන් කොහොල්ලෑ ඉවත් වේවි.

13. කේක් වල පිළී ගඳට පිළියමක්

කේක්, පුඩින්, වටලප්පන් කොච්චර රස වුනත් සමහර වෙලාවට ඒවගෙන් එන බිත්තර පිළීගඳ නිසා කන එකත් එපා වෙනවා. එහෙම ගඳ නැතුව මේවා හදන්න පොඩි රහසක් කියන්නම්. බිත්තර ටික කඩල බෝල් එකට දාගත්තට පස්සෙ කහ මදය අයිනේ ඇතු ඝන සුදු පාට කෑල්ල හැන්දකින් ඉවත් කරගන්න. කේක්, පුඩින් වල පිළීගඳක් එන්නෙම නෑ.

14. දවල් වෙනකම් බත් එක පිළුණු නොවෙන්න නම්

උදේ පාන්දර නැගිටල මහන්සි වෙලා උයන බත් පත වැඩට ගිහින් දවල්ට කන්න ගනිද්දි කී දවසක් පිළුණු වෙලා තිබ්බද? මේ විදියට කරල බලන්න ඔබට බත් අහක දාන්න වෙන එකක් නෑ. බත ලිපේ තියද්දි දෙහි බින්දු කීපයක් හෝ විනාකිරි බින්දු ටිකක් දාගන්න. රස්නෙ පිටින් බත් එක ඔතන්නේ නැතුව නිවුනම ඔතාගන්න.

15. ලස්සන රවුම් කට්ලට් ටිකක්

කට්ලට් බදින කොට කැඩිලා තෙලේ ඉහිරෙනවද? දෙපාරක් පාන් කුඩු තවරලා බදින්න. එහෙමත් නැත්නම් තෙල් ටික රත් වෙන්න තියන්න කලින් ලුණු චුට්ටක් එකතු කරල බලන්න කට්ලට් නොකැඩී බැදගන්න පුළුවන්.

- aniwa.lk

gossip lanka