මේ වන් පොට් ඩිශස් 5 ගෙදරදි හදල බැලුවොත් ආයෙ නම් වැඩ වැඩි දවසට කඩෙන් කන එකක් නැහැ

ගෙදර කලබල දවසක හොදි මාළු දෙක තුනක් උයන්න වෙලාවක් නෑ. සේරටම වඩා ගෙදර ඈයො කඩෙන් කන්න කැමතිත් නෑ. එහෙම දවසක හදන්න අපි මීට කලින් කම්මැලි බත් රෙසිපි 5ක් කියල දුන්නනෙ. මේ කියන්නෙත් ඒ වගේම පහසුවෙන් උයාගන්න පුළුවන් වන් පොට් ඩිශ් ගැන. අපේ රටේ හුඟක් ගෙවල් වල උදවියට ගෙදර උයන කෑම ටිකක් නොකෑවොත් කෑවෙ නෑ වගේ ගතියක්නෙ තියෙන්නෙ. ඉතින් එහෙම කාර්යබහුල ගෘහණියන්ට විතරක්ම නෙවෙයි මේ ලිපිය වැදගත් වෙන්නෙ.
රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු වලට ගෙදරින් පිට නතර වෙලා තනියම ජීවත් වෙන තරුණ තරුණියන්ටත් තනිකඩයන්ටත් ලේසියෙන් හදාගන්න පුළුවන් වන්පොට් ඩිශ් ගැනයි මේ කියන්න යන්නෙ. මේ වන් පොට් මීල්ස් එහෙමත් නැත්නම් වන් පොට් ඩිශස් වලින් ආර්ථිකේට පොඩි වාසියක් නැත්තෙත් නෑ. භාජන දෙක තුනක් කිලිටි කරගන් නැතුව එකම භාජනේක මුළු ආහාර වේලක්ම සකස ගන්න පුළුවන් නම් කොයි තරම් ලේසිද නේ. හදමු එහෙනම් වන් පොට් ඩිශ්. මස් මාලු කීපයක්ම එකතු කරල හදාගන්න වන් පොට් ඩිශ් එහෙකට බත් ටිකක් විතරක් උයාගත්තම හොඳටම ඇති.

1. Chicken Stir Fry with Spinach

උණු උණුවෙන් සුදු බත් පිඟානකට වග කියන්න මේ ඩිශ් එක හොඳටම ඇති. හදාගන්නත් හරිම ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩාවට කපාගත් චිකන් 250g
  2. නිවිති කොළ අවශ්‍ය පමණ
  3. තලාගත් සුදු ළූණු මේස හැඳි 2
  4. තලාගත් ඉඟුරු තේ හැන්දක්
  5. චොප් කරගත් ළූණු කප් 1/2
  6. ඉදුණු මිරිස් කරල් 2ක්
  7. තෙල්
  8. ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
  9. සෝයි සෝස් මේස හැඳි 1
  10. සීනි තේ හැඳි 1
  11. වතුර මේස හැඳි 2


  • තෙල් ටිකක් ලිප තබා රත් වෙන්න හරින්න. එයට චිකන් ටික එක් කර මද වෙලාවක් බැදෙන්නට හැර ළූණු, සුදු ළූණු, ඉඟුරු, කපාගත් මිරිස් කරල් එක් කර හොඳින් මිශ්‍ර කර අඩු ගින්දරේ පිසෙන්න හරින්න.
  • චිකන් ටික බැදුන පසු එයට සෝස් වර්ග දෙක, වතුර සහ සීනි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. විනාඩි 10ක් පමණ පියනකින් වසා තබා අවසානයට නිවිති කොළ එක් කර මිශ්‍ර කරගෙන නිවිති මැලවීගෙන එන විටම ලිප නිවා උණුවෙන්ම බත් සමඟ කෑමට ගන්න. සැරට අවශ්‍ය නම් පමණක් ගම්මිරිස් සැර අනුව එක් කර ගන්න.


2. Chicken with Vegetables in Thai Style

මේක නූඩ්ල්ස් එකක් එක්ක වගේම බත් එක්කත් කන්න හදාගන්න පුළුවන් වන් පොට් ඩිශ් එකක්. කැමති මස් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. දිග අතට මහතට කපාගත් චිකන් බ්‍රෙස්ට් භාගයක මස්
  2. සෝයා සෝස් මේස හැඳි 2
  3. විනාකිරි මේස හැන්දක්
  4. සීනි තේ හැඳි 2
  5. තලාගත් ඉඟුරු තේ හැන්දක්
  6. තලාගත් සුදු ළූණු මේස හැඳි 2
  7. තෙල්
  8. අඟල් 2ක පමණ දිගට කපාගත් බෝංචි කරල් කීපයක්
  9. අඟල් 2ක පමණ දිගට කපාගත් කැරට් ටිකක්
  10. කපාගත් ළූණු ගෙඩියක්
  11. මිරිස් කුඩු
  12. ගම්මිරිස් කුඩු
  13. ළූණු කොල ටිකක්


  • තෙල් ටිකක් රත් වෙන්නට හැර එයට කපාගත් චිකන් තීරු ටික ලුණු ටිකක් අතගා දමා දෙපැත්තම රන්වන් පැහැ වනතෙක් බැදගෙන භාජනයෙන් ඉවත් කරගන්න.
  • ඒ තෙල් සහිත භාජනයටම ළූණු, ඉඟුරු සුදු ළූණු, කැරට් සහ බෝංචි එක් කර තෙම්පරාදු කරගෙන එයට ළූණු කොල හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. සැර අනුව මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එක් කරගන්න.
  • බෝංචි වල පැහැය වෙනස් වෙන්නට පෙර ලිපෙන් ඉවත් කර බැදගත් චිකන් සහ ළූණු කොල එක් කර කලවම් කරගන්න. උණුවෙන්ම නූඩ්ල්ස් හෝ බත් සමඟ කෑමට ගන්න.


3. Curd Rice

අල්ලපු රටේ සෑහෙන ජනප්‍රිය කෑමක් මේ. මස් මාළු වලට කැමැත්තක් නැති වෙජිටේරියන් අයට රස වගේම පෝශණයත් තියෙන නිසා මේක කියාපු බත් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හාල් කප් 1
  2. මීකිරි කප් 1
  3. කුඩාවට කපාගත් පිපිඤ්ඤා
  4. කුඩාවට කපාගත් කැරට්
  5. ඇට ඉවත් කර කුඩාවට කපාගත් තක්කලි
  6. කුඩාවට කපාගත් මාළු මිරිස්
  7. තෙල්
  8. අබ ඇට තේ හැඳි 1/4
  9. තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  10. චොප් කරගත් අමු මිරිස් කරලක්


  • හාල් සෝදා භාජනයක දමා සාමාන්‍ය පරිදි උයාගන්න. (රයිස් කුකර් එකක් පාවිච්චි කරනවා නම් කුකර් බෝල් එකම ලිපේ තියල මේක හදාගන්නත් පුළුවන්)
  • බත ඉදුනු පසු නිවෙන්නට හැර එයට මී කිරි එක් කර හැන්දකින් පොඩි කරමින් හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව ලුණු සහ එලවළු සියල්ලම එක් කරගන්න.
  • පොඩි කරගත් බත් එක බඳුනෙන් ඉවත් කර එයටම තෙල් ස්වල්පයක් දමා රත් වෙන විට අබ එක් කර අබ පුපුරන විට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකතු කර මදක් තෙම්පරාදු කරගන්න. එයට සාදාගත් බත් එක් කර මිශ්‍ර කරගන්න.

4. Chicken Macaroni with Cheese

මේක රෑ කෑමකට වගේම දවාලට බත් කන්නම ඕන නෑ කියල හිතෙන කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්න රසම රස මැකරෝනි එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බා නොගත් මැකරෝනි කප් 2
  2. කොටු කපාගත් ළූණු ගෙඩියක්
  3. තලාගත් සුදු ළූණු බික් 2
  4. පාන් පිටි මේස හැඳි 2
  5. ඇට ඉවත් කර චොප් කරගත් තක්කලි කප් 1
  6. තක්කලි සෝස් කප් 1/2
  7. මිරිස් කුඩු තේ හැඳි 1/2
  8. කොටු කපාගත් චිකන් කප් 1
  9. චෙඩාර් චීස් කප් 1
  10. වතුර කප් 2
  11. රස අනුව ලුණු



  • තෙල් ටිකක් රත් වෙන්නට හැර එයට චිකන් එක් කර චිකන් ටික බැදෙන තුරු තෙම්පරාදු කරගෙන චිකන් ටික ඉවත් කරගන්න.
  • ඒ තෙලටම ළූණු, සුදු ළූණු එක් කර ළූණු විනිවිද පෙනෙන ගාණට එන තෙක් අඩු ගින්දරේ තෙම්පරාදු කරන්න. එයට මිරිස් කුඩු සහ පිටි එක් කර කලවම් කරගන්න.
  • එයට තක්කලි සෝස්, තක්කලි සහ වතුර කප් 2 එක් කර මිශ්‍ර කරගෙන එයටම තම්බා නොගත් මැකරෝනි එක් කරගන්න. මැකරෝනි ටික තැම්බෙන තුරු විටින් විට කලවම් කරමින් පියනකින් වසා පිසගන්න.
  • මැකරෝනි පිසුණු පසු ගින්දර අඩු කර එයට චිකන් ටික එක් කර අඩු ගින්දරේ සෝස් එක ඝණ වී හිඳෙන තුරු කලවම් කරමින් තබා අවසානයට චීස් එක් කර චීස් ටික දිය වෙන තුරු හොඳින් කලවම් කරගන්න. රස අනුව ලුණු එක් කර උණුවෙන්ම කෑමට ගන්න.

 5. Masala Prawns with Rice

ඔය කාර්බහුල ජීවිත ගෙවන අයට ඉස්සො ටිකක් ගෙදර උයාගන්න එක කෙරෙන්නෙම නැති වැඩක් සුද්ද කරන්න ගතවෙන කාලය හින්දා. හැබැයි නිවාඩු දවසක ඉස්සො ටිකක් වැඩිපුර ගෙනල්ලා සුද්ද කරලම ෆ්‍රීස් කරගත්ත නම් මේ වගේ රස ඩිශ් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සුද්ද කරගත් ඉස්සන් 250g
  2. තලාගත් ඉඟුරු සුදු ළූණු
  3. චොප් කරගත් ළූණු ගෙඩියක්
  4. තලාගත් ඉඟුරු, සුදු ළූණු තේ හැන්දක්
  5. මිරිස් කුඩු
  6. කහ චුට්ටක්
  7. රස අනුව ලුණු
  8. චොප් කරගත් තක්කලි ගෙඩියක්
  9. කරදමුංගු ඇට දෙක තුනක්
  10. අබ තේ හැන්දක්
  11. කපාගත් ළූණු කොල
  12. උකු පොල් කිරි කප් මේස හැඳි 3
  13. ගරම් මසාලා තේ හැඳි 1
  14. පිස ගත් බත් කප් 1
  15. ෆ්‍රෝසන් ග්‍රීන් පීස් කප් 1/4
  16. සීනි තේ හැඳි 1/2


  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ටික දාල පුපුරන්න හරින්න. එයටම ඉඟුරු, සුදු ළූණු, ළූණු එක්ක ඉස්සො ටිකත් එකතු කරන් ඉස්සන්ගෙ පැහැය වෙනස් වෙනකම් තෙම්පරාදු කරගන්න.
  • එයට ග්‍රීන් පීස්, තක්කලි, කරදමුංගු, සීනි, කහ, මිරිස් සහ රස අනුව ලුණු එක් කරගෙන හොඳින් කලවම් කරගන්න. තක්කලි වල වතුර ගතිය වෙන්වීගෙන එන විට ගරම් මසාලා එක් කරගන්න.
  • පොල් කිරි ටික එක් කර හොඳින් මිශ්‍ර කරගෙන අඩු ගින්දරේ හිඳෙන්නට හැර එයට පිස ගත් බත් සහ ළූණු කොල එක් කර මිශ්‍ර කරගන්න.



gossip lanka