දෙමව්පියන්ට දරුවන්ව නතර කරන්න වෙන්නෙ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක එහෙමත් නැත්නම් ඩේ කෙයා (day care) එකක.
දැනට අවුරුදු 15කට 20කට විතර කලින් නම් ඩේ කෙයා තිබ්බෙ අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරම් සුළු ප්‍රමාණයක්. ඒ කියන්නෙ අපේ ළමා කාලේ ඩේ කෙයා එකක් ඇතුලෙ ගෙවුනෙ නැති තරම්. නමුත් සීඝ්‍රයෙන් වෙනස් වුන ආර්ථික සහ සාමාජීය ජීවන රටාවත් එක්ක ඩේ කෙයා වල පැතිරීම ඉක්මණ් උනා කිව්වොත් නිවැරදියි.
තමන්ගෙ දරුවාට සුදුසු දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තෝරාගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් ගැනයි අපි මේ කතා කරන්න හදන්නෙ. දවසේ වැඩි කාලයක් දරුවා ගත කරන්නෙ මේ දිවා සුරැකුම තුල නිසා ඔහුගේ යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍යට මෙන්ම කාර්යබහුල දෙමවුපියන්ගේ මානසික සුවයටත් මේ පෙර සොයා බැලීම් ඉතාම වැදගත්. නිසි ප්‍රමිතියකින් තොරව නුපුහුණු පුද්ගලයන් පවත්වාගෙන යන දිවා සුරැකුම් තුල ළමා අපයෝජන පවා සිදු විය හැකියි. ඔබේ දරුවාට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගැනීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කාරණා මෙන්න මේ විදියයි.
1. පෙර සූදානම
ඔබේ නිවාඩු අවසන් වෙන්නෙ කවදාද කියන එක ගැන ඔබ දන්නවනෙ. නිවාඩුව අවසන් වෙනකම් ඉඳල අන්තිම මොහොතේ ඩේ කෙයා එකක් සොයාගන්න උත්සහ කරන්න එපා. ඔබේ කලබලයට ඔබට බලන්න තියෙන හුඟක් දේවල් මඟ ඇරෙන්න පුළුවන්. මේ නිසා අඩුම තරමින් මාස 2ක් 3ක් වත් කලින් ඉඳන් ඩේ කෙයා එකක් ගැන සොයා බලන්න පටන් ගන්න.
2. පිහිටි ස්ථානය
අනිවාර්යෙන්ම ඔබේ රැකියා ස්ථානයට වඩාත් ළඟ තැනක පිහිටා ඇති ඩේ කෙයා එකක් තෝරා ගන්න. හදිසි අවශ්‍යතාවයකදී ඔබට ඉක්මණින් සහ පහසුවෙන් ළඟා විය හැකි තරම් දුරකින් පිහිටා තිබීම වැදගත්. එමෙන්ම දරුවාගේ මානසික සහ කායික සංවර්ධනයට අවශ්‍ය පරිසරය ඇත්දැයි සොයා බලන්න. සෙල්ලම් කිරීමට ඉඩ පහසුකම් ඇති තැනක් වීම, අවට පරිසරය පිරිසිදු වීම ඉතාම වැදගත්. ඩෙංගු වැනි රෝග බහුලව පවතින මේ කාලයේ පරිසරයේ පිරිසිදුකම ගැන ඔබ අවධානය යොමු කල යුතුමයි. ළඟපාත රෝහලක් තිබීම හෝ රෝහලකට පහසුවෙන් ළඟාවිය හැකි තැනක පිහිටන එකත් අමතර වාසියක් බව මතක තබාගන්න.
3. අනෙක් අයගේ නිර්දේෂ
ඔබේ රැකියා ස්ථානයේ සහ අවට ස්ථානවල සේවය කරන ඔබ දන්නා හඳුනන අයගෙන් මුලින්ම තොරතුරු ලබාගන්න. ඔවුන්ගේ දරුවන් සිටින ස්ථාන සහ ඒවායේ පහසුකම් සහ ගණන් මිනුම් සැසඳීමක් කරන්න. එහි සේවක පිරිස, වට පිටාව ගැන දරුවාගේ පැවැත්මට සුදුසු පරිසරය ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා ඔබ දන්න කෙනෙකුගේ නිර්දේශය ඔබට අනිවාර්යෙන්ම වටිනව.
4. ප්‍රමිතිය සහ පළපුරුද්ද
ඔබ තෝරාගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට රජයේ ප්‍රමිති සහතිකය ඇත්දැයි විමසා බලන්න. එහි වැඩ කරන සේවකයන්ගේ පළපුරුද්ද සහ සුදුසුකම් ගැන නොපැකිලව විමසා බලන්න. එමෙන්ම ඔවුන්ගේ ආයතනික නීති රීති ගැන අසා දැනුවත් වෙන්න. දිවා සුරැකුම් මධ්‍යස්ථානය වසා දමන ඔවුන්ගේ නිවාඩු දිනයන් ගැන විමසීමක් කර ඒ පිළිබඳවත් දැනුවත් වෙන්න.
ඩේ කෙයා එකක ප්‍රමිතීන් පිළිබඳව ඔබට මේ ලින්කුවෙන් යම් අදහසක් ලබාගන්න පුළුවන්. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව දිවාසුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ප්‍රමිති සහ නීති රීති සඳහා නව වෙනස්කම් කීපයක් සිදු වෙමින් පවතිනවා. මේ සියල්ල පිළිබඳව ඔබේ පූර්ව දැනුවත්කම සුදුසු ඩේ කෙයා එකක් තෝරාගැනීමේදී ඔබට වැදගත් වේවි.
5. යන එන ගමන් ගොඩ වදින්න
කෙනෙක්ගෙන් එහෙම අහල කරල ඔබ තැනක් තෝරාගත්තට පස්සෙ ඒ ස්ථානයට පෙර දැනුම් දීමකින් තොරව යන එන ගමනකදී දෙකකදී ගොඩ වදින්න. ඔවුන්ගේ පිරිසිදුකම, සාමාන්‍ය හැසිරීම සහ දරුවන්ට සලසන ආරක්ෂාව යනාදිය ගැන මෙයින් අවබෝධයකට ආ හැකියි. ඒ වගේම දරුවා එම ස්ථානයට භාර දුන් පසුත් කලින් නොදන්වා විවිධ වේලාවන් කීපයකදී විටින් විට එම ස්ථානයට යන්න.
6. එක්කෙනෙක්ට දරුවො කීයක්ද?
මේකෙන් අදහස් කරන්නෙ දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුල එක් අයෙකු භාරව දරුවන් කී දෙනෙකු සිටිනවාද යන්නයි. ප්‍රමිතියට අනුකූලව නම් අවුරුද්දට අඩු දරුවන් 3-4ක් සඳහා එක් අයෙක් ලෙසද අවුරුද්දට වැඩි දරුවන් 4-6ක් සඳහා එක් අයෙක් ලෙසද සිටිය යුතුයි. මෙමඟින් ඔබේ දරුවාට කොපමණ අවධානයක් යොමු කෙරෙනවාද යන්න තීරණය කල හැකියි.
7. දරුවාගේ ආරක්ෂාව සහ පැවැත්ම
මේ තමා වඩාත්ම වැදගත් වන කරුණු ටික. මේ දේවල් පිළිබඳව ඔබේ විශේෂ අවධානය අනිවාර්යෙන් යොමු කල යුතුමයි.
- ඔබේ දරුවා රඳවන ස්ථානය, දරුවා බලාගන්න පුද්ගලයා හැරුන විට දරුවාට ලඟා විය හැකි අනෙක් පුද්ගලයන්, දරුවා බලාගන්න පුද්ගලයාගේ සුදුසුකම් සහ ඔහුගේ හෝ ඇයගේ ස්වභාවය, සේවය කරන ස්ත්‍රී සහ පුරුෂ සංඛ්‍යාව වැනි දේවල් ගැන අවධානය යොමු කරන්න.
- ඒ වගේම සීසීටීවී පහසුකම් සහිත දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් වීම ආරක්ෂාව සම්බන්ධව වැදගත් සුදුසුකමක් බවත් මතක තියාගන්න.
- හදිසි අවස්ථාවක ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය ගැනත් තොරතුරු දැන සිටීම ඉතා වැදගත්. ඔවුන් සතු ප්‍රථමාධාර හැකියාව, එවැනි අවස්ථාවක ඔවුන් සම්බන්ධ කරගන්නා වෛද්‍ය පහසුකම් ආදිය ගැනත් විමසා බලා තොරතුරු දැනගන්න.
- එසේම එම ස්ථානය දරුවන්ට සුදුසු ආකාරයෙන් ආරක්ෂිත විදිවිධාන සලසා ඇතිද යන්න (චයිල්ඩ් පෲෆ්, බේබි පෲෆ්). වැඩුණු දරුවන් හා බිළිඳුන් රැඳවීම අතර වෙන් කිරීමක් තිබීම වැදගත් කරුණක්. වැඩුණු දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය සෙල්ලම් බඩු යනාදියට කුඩා දරුවන්ට ලඟා වීමේ හැකියාවක් තිබීම ආරක්ෂාවට හොඳ කාරණයක් නෙවෙයි. කුඩා කුඩා අවදානම් සහගත සෙල්ලම් බඩු කටේ දාගැනීම වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්.
- දරුවාට ලබා දෙන ආහාර සහ වේල් ගණන, ඒවායේ පෝෂණය සහ පිරිසිදුකම, දරුවාගේ වයසට සරිලන පරිදි සකසා ඇති ක්‍රියාකාරකම් සහ සෙල්ලම් බඩු යනාදිය ගැනද සොයා බලන්න.
8. නිරන්තරයෙන් සන්නිවේදනය කිරීම
දරුවා උදෑසනට දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාර දෙන විට දරුවා උදෑසන ආහාරය ගත්තාද නැද්ද යන්න, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය, දත් එන වයසේ දරුවෙක් නම් ඒ පිළිබඳව දැනුවත් කිරීම, ආසාත්මිකතා සහ වෙනත් රෝග තත්වයන් ඇත්නම් ඒවා පිළිබඳව සහ තුවාල ආදිය ඇත්නම් ඒ ගැන ඔවුන්ව දැනුවත් කරන්න.
එමෙන්ම දරුවාගේ දවස ගත වුන ආකාරය ගැන, දරුවාගේ කෑම බීම රටාව, දිනකට මාරු කල නැපි ගණන, දරුවාගේ හැසිරීම ආදිය ගැන ඔවුන් හා කතාබහ කොට විමසා දැනගන්න. දරුවාට කතා බහ කිරීමට හැකි වයසක් වන තුරු ඔබ දරුවා රැකබලාගන්න කෙනාගෙන් දරුවාගේ දෛනික තොරතුරු ලබා ගැනීම වටිනව. දරුවාගේ යම් වෙනසක් සිදුවුවහොත් ඒ පිළිබඳව ඔවුන් හා කතා බහ කිරීමට පහසු පරිසරයක් මෙසේ හොඳ සන්නිවේදනයක් මඟින් ලබාගන්න පුළුවන්.
- aniwa.lk