වගේ කෑම ජාති වගේම ඔයාල නිතර අහල නැති රෙසිපි කීපෙකුත් තියෙනව. හදලම රස බලන්නකො.
1. Gulab Jamun
පිටි කිරි ඉතින් ඕනෙම ගෙදරක නිතරම තියෙනවනෙ. මේ ගුලාබ් ජමුන් එක හදන්නෙ පිටි කිරි වලින්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි පිටි කප් 1
- පාන් පිටි කප් 1/2 (වෙනම මේස හැඳි දෙකකුත් ගන්න.)
- ගී තේ හැඳි 2
- කිරි මේස හැඳි 1
- මී කිරි හෝ යෝගට් මේස හැඳි 1
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- බැදීමට තෙල් හෝ ගී
- ෂුගර් සිරප් එකට
- සීනි කප් 1 1/2
- වතුර කප් 1 1/2
- කරදමුංගු 4
- රෝස් වෝටර් බිංදු කීපයක්
- වතුර, කරදමුංගු සහ සීනි එකට එක් කර තරමක් ඝණ වන තුරු උණු කරගෙන එයට රෝස් වෝටර් එක් කර පසෙකින් තබාගන්න.
- පිටි, කිරි පිටි සහ බේකින් සෝඩා හොඳින් එකට මිශ්‍ර කරගන්න.එයට ගී, කිරි සහ යෝගට් එක් කර හොඳින් කලවම් කරගන්න. වඩා වියළි ගතියක් දැනේ නම් කිරි ස්වල්පයක් එක් කරගන්න. හුඟක්ම තෙත ගතියට දැනේ නම් පිටි ස්වල්පයක් එක් කරගන්න. හැඩය රඳවා ගන්න පුළුවන් ඩෝ එකක් මෙයින් අනාගන්න.
- ඩෝ එකෙන් එක ප්‍රමාණයේ කුඩා බෝල 12ක් 15ක් පමණ සාදා ගී හෝ තෙල් තරමක් රත් වෙන්නට හැර සාමාන්‍ය ගින්දරේ රන් වන් පාට වන තුරු බැදගන්න.
- බැදගැනීමට පෙර සීනි සිරප් එකේ රස්නය තිබේදැයි බලන්න. සීනි සිරප් එක නිවී ඇත්නම් ටිකක් රත් කරගන්න. බැදගත් ගුලාබ් ජමුන් බෝල සීනි සිරප් එකට දමාගන්න. පිලිගැන්වීමට පෙර මෙය පැය තුනක්වත් පැණි උරාගැනීමට තැබිය යුතුයි. කජු හෝ ආමන්ඩ් දමා සරසා පිලිගන්වන්න.
2. Rasgulla
රස්ගුල්ලා හදන්න පනීර් එක ගෙදරම හදාගන්න තරමට රසයි. මේක ඉන්දියාවෙ ජනප්‍රිය උනාට බෙංගාල කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 1
- මී කිරි හෝ යෝගට් (නැතිනම් විනාකිරි හෝ දෙහි යුශ මේස හැඳි 2ක් ගන්න පුළුවන්. වඩාත් රස යෝගට් ගන්න එක.)
- අයිස් වතුර ලීටර 1
- සීනි කප් 1 1/2
- වතුර කප් 2 1/2
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- සැෆ්‍රන් කෙඳි කීපයක් (අත්‍යාවශ්‍ය නැත.)
- කිරි ටික උතුරන්නට ලිපේ තියාගන්න. උතුරන විට යෝගට් හෝ මී කිරි එක් කරගන්න. (දෙහි යුශ පාවිච්චි කරනවා නම් එයට වතුර තේ හැඳි 2කුත් එක් කරගන්න.) ලිප නිවා කිරි කැටි ගැසෙන්නට තබන්න.
- කැටි ගැසුන කිරි එකට අයිස් වතුර එක් කර ටික වේලාවක් තබා මස්ලින් හෝ චීස් ක්ලෝත් එකක් ගෙන මිශ්‍රණය එයට පෙරා ගන්න. දෙහි හෝ විනාකිරි යොදා ගත්තා නම් මේ පනීර් ටික ගලා යන වතුරට අල්ලා ටිකක් සෝදාගන්න.
- තරමක් තද කර රෙද්ද ගැට ගසා විනාඩි 45ක් පමණ වතුර බේරෙන්නට තබාගන්න.
- සීනි, වතුර සහ කරදමුංගු කුඩු මිශ්‍ර කර ලිපේ තබා ගන්න. එය උතුරන්නට හැර පනීර් හොඳින් අනා කුඩා බෝල සාදාගන්න.
- උතුරන සීනි සිරප් එකට පනීර් බෝල එකින් එක ප්‍රවේසමට එක් කරගන්න. පියනකින් වසා විනාඩි 10ක් තියෙන්නට හැර ලිප නිවා ගන්න. හොඳින් නිවෙන්නට හැර උඩින් සැෆ්‍රන් දමා පිලිගන්වන්න.
3. Kaju Katli/Barfi
මේක ටිකක් අපේ අලුව වලට සමාන කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කජු කප් 1 1/2
- වතුර මිලිලීටර් 90
- සීනි කප් 1
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- කජු ටික පියලි කර පෑන් එකක දමා ක්‍රිස්පි ගතියට එන තුරු රෝස්ට් කරගෙන නිවෙන්නට තබන්න.
- හොඳින් නිවුනු පසු කජු ටික ග්‍රයින්ඩ් කර කුඩු කරගන්න. පමණට වඩා ග්‍රයින්ඩ් කරන්න එපා. කජු වල තෙල් ගතියක් ඇති වී ගුලි ගැහෙන්න පුළුවන්.
- සීනි වලට කරදමුංගු කුඩු සහ වතුර එක් කර එය උණුවෙන්නට ලිපෙන් තබාගන්න. සීනි හොඳින් උණු වූ පසු කජු කුඩු එයට එක් කර ලිපෙන් ඉවත් කර හොඳින් මිශ්‍ර කරගන්න. නැවතත් ලිප තබා තෙත ඇලෙන සුළු ගතියට මිශ්‍රණය එන තුරු මිශ්‍ර කරමින් තබාගන්න.
- ලිපෙන් ඉවත් කර තරමක් නිවෙන්නට හැර අතින් ඇල්ලීමට හැකි රස්නටය ආ පසු අතේ තෙල් හෝ ගී ටිකක් තවරාගෙන හොඳින් මිශ්‍රණය අනාගන්න. මිශ්‍රනය ඇලෙන සුළු නම් කිරි පිටි ටිකක් එක් කර අනාගන්න. වියලි නම් උණු කර නිවා ගත් කිරි එක් කර අනාගන්න.
- ලෑල්ලක් මතු පිට තබා ලන්ච් ශීට් හෝ ෆොයිල් එකක් උඩින් දමා රෝලින් පින් එකකින් තුනී කරගෙන කැබලි කපාගන්න.
4. Basundi
මේකත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසවත් ඉන්දියන් අතුරුපසක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කප් 2
- මිල්ක්මේඩ් ලොකු ටින් එකෙන් භාගයයි
- සාදික්කා කුඩු පින්ච් එකක්
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- කහ පින්ච් එකක් හෝ සැෆ්‍රන් කෙඳි කීපයක්
- සිහින්ව කපාගත් ආමන්ඩ් හෝ කජු මිටක්
- කිරි ටික කහ හෝ සැෆ්‍රන් දමා දිගින් දිගටම හැඳි ගාමින් උතුරුවා ගන්න. එයට මිල්ක්මේඩ් එක් කර හොඳින් හැඳි ගාගන්න. තරමක් ඝණ වන විට එයට ආමන්ඩ්, සාදික්කා සහ කරදමුංගු කුඩු එක් කර මිශ්‍ර කරගන්න. විනාඩියක් ලිප තබා ඉවත් කරගන්න.
- ශීතකරණයේ තබා සිසිල් කර පිළිගන්වන්න.
5. Gajar ka Halwa
මේක නම් නිතර ඇහෙන නමක් ඉන්දියන් ෆිල්ම් වල සහ නාට්ටි වල. හදලම බලන්නකො රස.
- අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේට් කරගත් කැරට් ග්‍රෑම්ස් 500
- මිල්ක්මේඩ් ලොකු ටින් 1/2
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- ගී තේ හැඳි 1 1/2 (භාජනයේ තැවරීමට වෙනම තේ හැන්දක් තියාගන්න.)
- කජු සහ වියලි මිදි මිටක්
- භාජනයක් ගෙන අඩියට ගී ටික තවරා ගන්න. එයට කැරට් සහ මිල්ක්මේඩ් ටික එකතු කරගන්න. සාමාන්‍ය ගින්දරේ ලිප තබා විනාඩි 2,3ක් පිස ගන්න.
- ලිප අඩුම කර කැරට් ටික පිසෙන තුරු පියනකින් වසා විටින් විට මිශ්‍ර කරමින් ලිප තබා ගන්න.
- කැරට් ටික මෙලෙක් වූ පසු එයට ගී එක් කර කරදමුංගු කුඩුත් එක් කර තෙත ගතිය හිඳෙන තුරු හැදි ගාමින් ලිප තබාගන්න. ලිපෙන් ඉවත් කිරීමට විනාඩි දෙකකට පමණ පෙර කජු සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගන්න.