අතේ ඇති සුලු මුදලින් පටන් ගන්න පුලුවන් පුංචි බිස්නස් 7ක්

පත්තර වල යන ලොකු ලොකු බිස්නස්කාරයින්ගේ සැප පහසු ජීවිත කතන්දර කියවලා හූල්ලන අපිට අමතකවන එක දෙයක් තියනවා. ඒ තමයි ඒ අය හුඟදෙනෙකුත් දියුණුවීම පටන් අරගෙන තියෙන්නේ “බින්දුවේ ඉඳන්” කියන එක.

පොඩි ආයෝජනයක් එක්ක පොඩියට පටන් ගන්න පුළුවන් වැඩ ගැන අද කාලේ කොල්ලෝ කෙල්ලෝ හරි උනන්දුයි. උනන්දුව සහ කැපවීම තියනවනම් යාලු මිත්‍රකම්, නව තාක්ෂණය සහ විවිධ සම්බන්ධතාත් භාවිතා කරලා තමන් කැමති දෙයක් කරලා දියුණු වෙන්න පුළුවන් මේ කාලේ. ඉතින් අපි
මේ කියන්න යන පුංචි පුංචි බිස්නස් අයිඩියා වලින් වැඩක් ගන්න පුලුවන්නම් ඔබත් දිනුම් තමයි.

1. සුභපැතුම් පත්

හුරුබුහුටි වැඩ වලට ඔයා දක්ෂ නම්, ඔයා නිර්මාණශිලී නම් කිසිම අපහසුවක් නැතිව පිටකොටුවෙන් උවමනා කරන කඩදාසි සහ වෙනත් උවමනා කරන අඩුපාඩු ටික සපුරාගෙන ලේසියෙන්ම තමන්ට සුභපැතුම් පත් හදන්න පුළුවන්. අමුතුවෙන් ඉගෙන ගන්නට අවශ්‍ය නැහැ යාලුවා ඔය පහතින් තියෙනවා වගේ youtube video බලලා ම ඔයාට උවමනා දේවල් ඉගෙන ගන්න පුළුවනි.

තමන්ගෙ අදහසුත් දාල නිර්මාණශීලීව මේ නිර්මාණ ඉදිරිපත් කලොත්, ඔයාට කියලා තමන්ගේ උත්සව වගේ දේවල් වලට customized greeting cards හදාගන්න ගොඩක් අය උත්සහ කරාවි.

ඒ වගේම ඔබේ ජනප්‍රියතාව සහ හැකියාව පෙන්වන්නට facebook page එකක් නිර්මාණය කලොත් ඔබේ සුභපැතුම් පත් අලෙවියට සහ ව්‍යාපාරයේ අනාගතයට එය හොඳ නිර්මාණාත්මක ආයෝජනයක් වේවි.

2. ටීෂර්ට්

මේකත් greeting cards හදන වැඩේ වගේම තමයි. ඔය මහරගම පමුණුවේ තියෙනවා අඩු මිලට ගන්න පුළුවන් තනි වර්ණයේ T-shirts. Fabric paints ටිකක් එහෙම අරගෙන ලස්සන වෙනස් විදිහේ ඩිසයින් ටිකක් ටී ෂර්ට් වල ඇඳලා ඒකට වෙළඳපොළක් හොයාගන්න ඔයාට පුලුවන්. චිත්‍ර ඇඳීමේ ලොකු හැකියාවක් නැතත් හරියට ස්ටෙන්සිල් එකක් හදාගෙන මේ වැඩේ කරන්න පුලුවන්. ඔයාගෙ අතින් ඩිසයින් ඇන්ද ටී ෂර්ට් කඩයක හෝ අන්තර්ජාලයේ විකුණන්න තියන්නට හැකිනම්, තමන්ට වියදම් වුනු ගණන වගේ දෙතුන් ගුණයක් ලෙහෙසියෙන්ම හම්බ කරන්න පුළුවන්

3. කොමියුනිකේෂන්

ගෙදර පරිගණකයක් තියෙනවා නම් පහසු ගෙවීමේ ක්‍රමයට ෆොටෝ කොපි මැෂින් එකක් ප්‍රින්ටරයක් සහ ලැමිනේෂන් මැෂින් එකක් එහෙම අරගෙන මේ වැඩේට සෙට් වෙතෑකි. ඒ වගේම දුරකථන සමාගමක නියෝජිතයෙක්ට කතා කරලා reload දාන්න ක්‍රමවේදයක් එහෙම හදාගන්න පුලුවන්. එහෙම හදාගෙන ගෙදර කොටසක වුනත් කමක් නැහැ, පුංචි පහේ කොමියුනිකේෂන් එකක් දාගන්න පුළුවන් නම් අද කාලේ හොඳ ආදායම් තමයි. තමන් ජීවත් වන ප්‍රදේශයේ අහල පහල බිස්නස් ටික අල්ලගත්තත් ගොඩ යන්න පුලුවන්. ග්‍රැපික් ඩිසයිනින්, ටයිප් සෙටින් වගේ හැකියාවන් තියනවනම් මේ වැඩේ තවත් දියුණු කරගෙන යන්න පුලුවන්.

4. වගාවන්

කෘෂිකාර්මික උපදේශකයෙක් හමුවෙන්නට පුලුවන්නම් ඔබට පහසුවෙන්ම අඩු කාලයකදී පීදෙන භෝග එහෙමත් නැතිනම් බිම්මල් වගේ කුඩා වගා ක්‍රමයකින් ආදායමක් ලබන එකත් අපහසු ක්‍රමයක් නෙවෙයි. පොඩි ඉඩකඩක වුනත් අපිට ලෙහෙසියෙන්ම කරන්නට හැකි නිසා මේ වගේ දෙයක් ගෘහණියන්ට තමන්ගේ නිවසේ රැඳෙන කාලය තුල පහසුවෙන්ම කරන්නට පුළුවන් වේවි. විෂ රසායනික නැතිව ගෙවත්තේ හදන එළවලු වලට දැන් හොඳ ඉල්ලුමකුත් තියනවා. ඒ පැත්තෙන් තමන්ගේ නිෂ්පාදන මාකට් කරන්න පුලුවන්.

මේවට තාක්ෂණික දැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්න අමුතුවෙන් මහන්සි වෙන්නට දෙයක් නැති තරම්. ඔබට ඔබේ ප්‍රදේශයේ තිබෙන ගොවිජන සේවා ආයතනයට යන්නට හැකි නම් පහසුවෙන්ම ඒ අදාළ සහය ලබාගත හැකියි.

5. ආහාර නිෂ්පාදන

මේ වෙනකොට ලංකාව ටිකෙන් ටික ගෘහාශ්‍රිත නිෂ්පාදන විශ්වාසයෙන් භාවිතා කරන මට්ටමට ඇවිල්ලා. ඒ නිසා සීනි සම්බල්, කට්ට සම්බල්, ඇඹුල් තියල්, ලුණුදෙහි වගේ නිෂ්පාදන වුනත් අපිට කල්තබාගන්නට හැකි අයුරින් නිෂ්පාදනය කරලා සිත්ගන්නාසුළු විදියට ඇසුරුම් කරලා තමන්ගේ ප්‍රදේශයේ වෙළඳසල් හෝ සුපිරි වෙළඳසල් වලට දමා විකිණීමට හැකියාව තිබෙනවා.

ඒවා විතරක් නොවෙයි. නැවුම් එළකිරි නිෂ්පාදනය, යෝගට් නිෂ්පාදනය, අයිස්ක්‍රීම්, කල්තබාගත හැකි කැවිලි නිෂ්පාදනය කරන්නත් බැරි කමක් නැහැ.

6. කේටරින්

ආහාරපාන සැපයීම වගේ දෙයක් කරන්නත් පුලුවන්. හෝටල් දාන්න නෙමෙයි උත්සව වලට, කාර්යාල වලට එහෙම ආහාර සැපයීමේ ඇනවුම් භාර ගන්න පුලුවන්. කෙටි ආහාර වල සිට බත් මුල් දක්වාම නියමිත ගුණාත්මක භාවය තබාගෙන නිෂ්පාදනය කරන්නට ඔබට පුලුවන්. පිරිසිදුකම සහ රසවත්බව කියන දේවල් රැකගෙන හරියට කරගෙන ගියොත් ටිකෙන් ටික විශාල කරගෙන දියුණු කරගත හැකි ව්‍යාපාරයකුත් වේවි.

7. චිත්‍ර

මේ කියන්නෙ හැකියාවකින් වැඩක් ගන්නයි. ඔයා විනෝදාංශයක් විදියට චිත්‍ර අඳිනවා නම්, ඔයාගේ චිත්‍ර හොඳයි ලස්සනයි කියලා ඔයාටම හිතෙනවා නම් නරකද ඉඩ තියෙන තියෙන වෙලාවලට චිත්‍ර ටිකක් ඇඳලා ඔය වික්ටෝරියා පාක් එක ගාව තියෙන කලා පොලේ විකුණන්නට තිබ්බ නම්. ඒ වගේම අපි හැමෝම දන්නා ගුඩ් මාර්කට් එකෙත් මේ වැඩේ ම කරන්න පුළුවන්. චිත්‍ර විතරක් නෙමෙයි වෙනත් අත්කම් නිර්මාණ උනත් විකුණන්න පුලුවන්.

- aniwa.lk


gossip lanka