අපි කොයි වෙලෙත් හරියි කියල හිතන්නට, නිවැරදි තීරණ ගැනීමට බාධා කරන ප්‍රධාන හේතු 5ක්

අපි හැමවෙලේම අපි නිවැරදියි කියල හිතන්න කැමතියි. ඒක තමයි මිනිස් ස්වභාවය. ඒත් අපි හරියි කියල හිතුවට හැමවෙලේදීම ඒක එහෙම වෙන්නෙ නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

අපි කොයි වෙලෙත් නිවැරදියි කියල හෝ තව කෙනෙක් කොයි වෙලෙත් වැරදියි කියල හෝ හිතන එකෙන් අපිට ගොඩක් අවාසි සිද්ද වෙන්න පුලුවන්. යාලු මිත්‍රතා, සම්බන්ධතා අහිමිවීම වගේම ජීවිතේ වෙනත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්නටත් අපිට සිද්ද වෙන්න පුලුවන්.

අපි නිවැරදිය අනිත් අය වැරදිය කියලා විශ්වාස
කරන්න අපිට බලපාන හේතු සාධක කීපයක්ම තියනවා. මේ දේවල් ගැන දැනුවත් වීම ඉතාම වටිනවා. බලන්න මේ වැනි හේතු නිසා ඔබටත් හරි වැරැද්ද දැකීමට බාධා පැමිණිලා තියනවද කියල?

1. අපේ විශ්වාසයන්ට පහර වැදීම නිසා

අපි ගොඩක් වෙලාවට කැමති නැහැ, අපි දරන අදහසක් වෙනස් කරගන්න. නිදසුනක් විදිහට අපි යම් දෙයක් ගැන දරන අදහස වෙන කෙනෙක් බිඳහෙලනවා නම් එහෙමත් නැතිනම් විවේචනය කරනවා නම් අපි ඒ ගැන එතරම් මනාපයක් නැහැ. මේකට හොඳම උදාහරණය තමයි දේශපාලනය, ජාතිය සහ ආගම වගේ දේවල්.

2. තමන්ගෙ ඔලුවට මුලින්ම වැටෙන අදහසක් විශ්වාස කිරීම නිසා

නිකමට හිතන්න අපි ක්‍රිකට් බලන්න පටන් ගත්ත මුල්ම කාලේ කවුරු හරි කෙනෙක් කිව්වොත් ඕස්ට්‍රේලියන් කාරයෝ හෙන හොර කරන කණ්ඩායමක් කියලා, අපි මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ගන්න තිරණේකට ඔස්ට්‍රේලියාව කොහෙන් හරි සම්බන්ධ වෙලා තියෙනවා නම් අපේ උඩු හිත මොනවා කිව්වත්, යටිහිත කියන්නේ අර මුලදි ඔස්ට්‍රේලියාව ගැන අපිට අහන්න ලැබුන දේ තමා. මේක ක්‍රීඩාව සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ඕනෙම දෙයක් ගැන එහෙම තමා.

3. තමන්ගේ ජිවිතේ වෙනස් වෙනවට බය නිසා

අපේ පුද්ගලික ජීවිත වල ලොකු වෙනස්කම් සිදුවෙනවට තිබෙන බය නිසා අපේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අඩු වෙනව. උදාහරණයක් විදිහට අපි ඉන්න බෝඩිමේ කාමරේට වෙන අපි නොදන්නා කෙනෙක් අලුතින් එන එකට අපි බය වෙන්න හේතු තියෙනවා, එයා අපේ පුද්ගලික ජීවිතේට බලපෑම් කරයිද? එයා ආවම මගේ නිදහස නැතිවෙයිද? වගේ දාහක් ප්‍රශ්න. මේවා උඩු හිතෙන අමතක කලාට යටි හිතෙන් අමතක වෙන්නේ නැහැනේ. ඉතින් වෙන්නේ අර බෝඩිමට අලුතින් එන කෙනාගේ වැරදි නිතරම දකින එක සහ ඒවා විවේචනය වෙන එක.

4. මීට කලින් වුනා වගේ හැමදාමත් වෙයි කියලා හිතෙන නිසා

මතකද වෘකයෝ ආවෝ කියලා කෑ ගහල ගම්මුන්ව කලබල කරපු ගොපලු කොල්ලට වෙච්ච දේ? දවස් කිහිපයක්ම වෘකයෝ ආවෝ කියලා බොරුවට කෑ ගහපු කොල්ලා ඉන්න ගොවි බිමට ඇත්තටම වෘකයෝ ආපු දවසේ කොච්චර කෑ ගැහුවත් බේරගන්න ගම්මුන් ආවේ නැහැ. තනි වුන ගොපලු කොලුවා අන්තිමේ අර නපුරු වෘකයින්ට ගොදුරු වුනා. ගම්වැසියො තමන් කලින් මුහුණදීපු අත්දැකීම් වලට අනුව තීරණ ගත්ත නිසයි මේ විපත සිද්ද උනේ.

මේ වගේ අපේ කලින් අත්දැකීම් මත විශ්වාසය තියල ක්‍රියා කිරීම හේතුවෙනුත් අපි ඇත්ත බොරුව, හරි වැරැද්ද පටලව ගන්නව.

5. තමන්ගේ හිතේ ඒ දේවල් ගැන තිබෙන කැමැත්ත/ අකමැත්ත

යම් යම් දේවල් කෙරෙහි අපේ හිතේ තියන කැමැත්ත හෝ අකමැත්තත් හරි වැරැද්ද තෝරාගැනීමේදී අපිට බලපෑම් කරන සාධකයක්. උදාහරණයක් හැටියට ඔබ කෑමට හෝ මත්පැන් බීමට ගිජු පුද්ගලයෙක්නම් ඔබේ ඒ පුරුද්දට සාධාරණීයකරණය කරන දේවල් කරන්න ඔබ පෙළඹෙනවා. ඒ දේවල් වල වැරදි පැත්ත දැකීමෙන් ඔබේ ආශාව අහිමි කරගන්න ඔබ අකමැතිවීම නිසා නිවැරදි දැක්ම ගිලිහෙන්න පුලුවන්. මේක කෑමට බීමට පමණක් නොවේ පුද්ගල ආශ්‍රයේදීත් බලපානවා.

- aniwa.lk




gossip lanka