අවුරුද්දම බැලන්ස් කරන පෞද්ගලික අයවැය ටිප්ස් 7ක්

1. වියදම් ලැයිස්තු ගත කරන්න.

ඔබට කරන්නට ඇති අත්‍යාවශ්‍ය වියදම් මොනවාද? කලාතුරකින් යෙදෙන වියදම් මොනවද? කියලා නිවාඩු පාඩුවේ පැත්තකට වෙලා කොලේකුයි පෑනකුයි අරගෙන ලිස්ට් එකක් හදාගන්න. ඊට පස්සේ ඒවාට යන වියදම් ඊට ඉස්සරහින් ලියාගෙන එකතු කරලා බලන්න. මාසෙට කලයුතු අනිවාර්ය වියදමුයි
අනිවාර්ය නොවන වියදමුයි දෙකම ගැන ඔබට දළ අවබෝධයක් ගත්ත හැකි මේ මගින්.

ඊට අමතරව මේ වැඩේ තවත් පහසු වෙනවා ඔබ වෙනම excel sheet එකක් හදාගෙන වෙනම විය හියදම් ලැයිස්තු ගත කරගන්නවා නම්. එහෙමත් නැත්නම් Expense manager වැනි App එකක් භාවිතයෙනුත් ඔබට මේ දෙය කරගන්න පුලුවන්.

තවත් ක්‍රමයක් තියෙනවා ඒ තමයි ඔබ මාසය තුල වියදම් කරන සියලුම දේවල් සඳහා ලදුපතක් ලබා ගැනීම.  මෙය හරිම පහසු ක්‍රමයක්. ඒ වගේම ලදුපතක් නොලැබෙන යම් වියදමක් කරනවා නම් පෙර පරිදිම ඔබේ සටහන් පොතක එය සටහන් කරගන්නට පුළුවන්.

2. වියදම් සැලසුමක් හදාගන්න.

දැන් වියදම් ගැන දළ අදහසක් ගත්තා නේ. දැන් කරන්න තියෙන්නේ ඒවාට මුදල් යොදවන්නේ කොහොමද කියන එක ගැන තීරණය කරන එකයි. සමහර වියදම් තියෙනවා ඔබේ ඉතුරුම් වලින් අරගෙන පියවන ඒවා. සමහර වියදම් ඔබේ පඩියෙන් පියවන්නට පුළුවන් ඒවා. ක්රෙඩිට් කාඩ් වගේ දෙයක් ඔබ සතුව තිබේ නම් ඒවාට බිල එන්නේ මාසයේ යම් දිනයකට පෙර ගෙවන්න නිසා ඒ වගේ දින ගැන වසර මුල සිටම  සැලකිල්ලක් දැක්වීම වැදගත්.

මේ වියදම් සැලසුම මාසයකට, මාස තුනකට, හයකට වගේම අවුරුද්දකට උනත් හදාගන්න හැකියාව තියෙනවා. එහෙම කරන්නට හැකියාව තියෙනවා නම් ඔබේ මුදල් ඔබට නොදනිම ඔබේ ගිණුමේ ඉතිරි වේවි.

3. මුදල් ඉතුරු කිරීම, පඩිය මුලදී ම වෙන් කරගන්න.

වියදම් සැලසුමක් හදාගත්තාම යන වියදම් ටික කලින් මාසයේ සිටම තේරුම් අරං සිටීම ඔබට ඉදිරියට එන මාස වල දී ඉතුරු කරන ප්‍රමාණය කොපමණක්ද කියලා තීරණය කරන්න පහසුවක් වේවි. වියදම් ගැන අදහසක් ඔබ තුල තියෙන නිසා වියදම් කරන්නට උවමනා කරන නිතර ගත යුතු මුදල් එක ගිනුමකත්, වියදම් කල පසු ඉතිරි වන මුදල් වෙනම ගිනුමකත් තියෙනවා එය ඔබේ අනාගතය සම්බන්ධයෙන් පහසුවක් වේවි. කොහොමටත් සැලරි එකවුන්ට් එකට වැටුන ගමන්ම ස්ථාවර නියෝගයකින් (Standing Order) අර ඉතුරු කලයුතු මුදල ඒ ගිණුමට බැර වුනාම ඔබට කරදරයක් නැහැ.
මොකද වියදම් කරලා ඉතිරිය පොතේ දානවා කියලා කිව්වට කවදාවත් එක නොකෙරෙන වැඩක් නිසා.

4. ඉතුරුම් ඉලක්ක.

අර උඩ කාරණාවේදී කිව්ව ස්ථාවර නියෝගයකින් මුදල් වෙනම ගිනුමක තැන්පත් වෙනවා නේ. ඉතින් මේ සල්ලි ඔබට වයස අවුරුදු 20-30 කාලය තුළදීවත් ආරම්භයක් දෙනවා නම් හරි වටිනවා. මොකද ඔබ තවදුරටත් කුඩා දරුවෙක්වත් පාසල් යන සිසුවෙක් වත් නොවෙන නිසා. එහෙම උනාම ඔබ ඒ ගිණුම ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. ඔබ යම් කිසි සීමාවක් හිතින් ඉලක්ක ගත කරන්න. අපි හිතමු මාස 6 තුල රුපියල් 100000ක් ඉතුරු කරනවා කියලා. ඔබ 7 වෙනි මාසයේදී පඩියෙන් ඉතුරුම් පංගුව මේ ගිණුමට අර ස්ථාවර නියෝගය හරහා බැර වුනාම, ඔබට පුළුවන් අර එකතු වුනු මුදල ස්ථිර තැන්පතුවක් බවට පත් කරන්න.

ස්ථිර තැන්පතු ක්‍රම මාස 3 සිට අවුරුදු 5 වනතෙක් ඔබට කැමති කාලයකට දාන්න පුළුවන්. පොලියත් වැඩියි සල්ලිත් ඉතුරුයි. කාලයත් සමග වැල් පොලී වෙමින් මුදල වැඩිවන නිසා අනාගතය ගැන බියවෙන්නට දෙයක් නැහැ.

5. අලුත් ඉතුරුම් ක්‍රම අත්හදා බලන්න.

මෙහෙම සල්ලි අතේ තියෙනකොට අලුත් ඉතුරුම් ක්‍රම අත්හදා බැලුවට කමක් නැහැ. භාණ්ඩාගාර බිල්පත් ගැනීම, ස්ථිර තැන්පතු, විශ්වාසවන්ත ව්‍යාපාර ආයෝජන සහ රන් භාණ්ඩ වගේම ඉඩම් මිලදී ගැනීම කියන දේවල් මේ ලයිස්තුවේ තියෙනවා. එත් මේ සියල්ලක්ම කල යුත්තේ ඒ පිළිබඳව ඔබේ මුල්‍ය උපදේශකවරයා සහ ඔබේ අදහස ධනාත්මක නම් පමණයි.

මේ සල්ලි හම්බ කරලා තියෙන්නේ ඔබ. ඒ නිසා එය වැඩි දියුණු කලයුත්තේ කොහොමද කියන එක ගැන අවබෝධය වැඩිපුරම තියෙන්න ඕනෙත් ඔබටම තමා.

6. පුද්ගලයකුගෙන් ණයට නොගන්න.

එක එක පුද්ගලයන්ගෙන් ණය ගන්න එපා මොනම හේතුවක් නිසාවත්, ඔබට ණය ගන්නට අවශ්‍යම නම් එය බැංකුවක් හරහා කරන්න, එවිට ඔබට නොදැනීම ඔබට වගකීමක් පැවරෙන නිසා ඔබ ණය කලට වෙලාවට ගෙවාවී. එහෙම උනාම බැංකුව සහ ඔබ අතර තියෙන විශ්වාසයත් තර වේවි.
කිසිම කෙනෙකුගෙන් ණයට ගන්න එපා කියන්න හේතුවක් තියෙනවා ඒ තමයි මේ ණය ගැනීම නිසා ඔබට මිතුරාව හෝ හිතවතාව අහිමි වෙන්න ඉඩ තියෙනවා. අපිට කුමක් හෝ කරදරයක් වී කලට වෙලාවට උවමනා කරන විදියට ණය මුදල ගෙවා ගන්න නොලැබුනොත් කාට කියන්නද?

7. මාසෙන් මාසය ගිණුම තර වෙන ආකාරය  නිරීක්ෂණය කරන්න.

මෙහෙම සල්ලි දානකොට සල්ලි තමන්ගේ අතේ රැඳෙනවා කියලා දැනෙනකොට හිත ඇතුලේ පුංචි සතුටක් තියෙනවා. මේ මම හම්බ කල සල්ලි නේද? කියලා හිතලා. ඒ සතුට හදවත පුරා විඳ ගන්න. අනාගත ඉලක්ක තබන්නට මූල්‍යමය අතින් ඔබ ශක්තිමත් බව දැනුනම, ඔබට වෙනත් සහයක් උවමනා නැති වේවි.

- aniwa.lk


gossip lanka