මේ දවස් වල නං ජීනියස් කිව්ව ගමන් ඔළුවට එන්නේ එක්කෝ ෆේස්බුක් එකේ තියෙන ජීනියස්ලා ඉන්න ‘දීනියස් එකතුව’ ගෘප් එක. ඒකට ගිහින් පූසො ඤාව් කියන්නෙ ඇයි කියන එකේ ඉඳන් ඔරායන් තරු පංතියේ තියෙන රීගල් තාරකාවට බස් එකේ ගිහින් එන්න කොච්චර කල් ගත වෙයිද වගේ ප්‍රශ්නෙකට වුනත් එහෙ බලලා මෙහෙ බලනකොට උත්තර හොයාගන්න පුලුවන්. එහෙම නැත්තං ජීනියස් කිව්ව ගමන් ඔලුවට එන අනික් කාරණාව තමයි ස්කෝර්පියන් ටීවී නාටකේ. මේකේ ඉන්නේ IQ ලෙවල් එක හෙන උඩ තියෙන ජීනියස් සෙට් එකක්,
මේ ගොල්ලෝ ඇමරිකාවේ වෙන කාටවත් විසඳන්න බැරි ප්‍රශ්න විසඳලා හොරු අල්ලලා එහෙම දෙනවා. දැන් ඕකත් එක්ක අපිට ඔලුවට එන ප්‍රශ්නයක් තමයි ‘මේ අපිට ජීනියස් කෙනෙක් වෙන්න බැරිද’ කියන එක. ඒකත් බැරි නං අඩු ගාණේ අපේ ළමයෙක් වත් ජීනියස් කෙනෙක් කරන්න බැරිද? ආන්න ඒ ප්‍රශ්නෙට නං උත්තර තියෙනවා. IQ ලෙවල් අනං මනං පැත්තක තිබ්බත්, ඥාණවන්ත කම වගේම හැඟීම් එක්ක තියෙන සමීපත්වයත් සමබරව තියෙන විදියට තමන්ගේ දරුවා හදා වඩා ගන්නේ කොහොමද? මේ තනිකරම විද්‍යාත්මකව, හරියටම කියනවා නං මනෝවිද්‍යාත්මකව සනාථ කරපු කරුණු ටිකක්.
1. වෙනස් වෙනස් ජීවන අත්දැකීම් ලබාගැනීමට ඉඩ දෙන්න
අපි කැමති වුනත් නැතත්, මේ සමාජය තුළ ඉහළ තැන් වලට නගින්නට හැකියාව තියෙන්නේ ජීනියස් පුද්ගලයන්ට කියන එක පිළිගැනුනු කාරණාවක්. ඒ කියන්නේ විශේෂ දක්ෂතා වලින් ලෝක ප්‍රසිද්ධ වීමේ ඉඳන්, තමන් නියැළෙන ක්ෂේත්‍රයේ තරුවක් වීම දක්වා මේ ඥාණවන්ත දරුවන්ට තියෙන අවස්ථාවන් බොහෝමයි.
ඔබේ දරුවාත් මේ විදියේ හැබෑ ඥාණවන්තයෙක් කරන්න අත්‍යාවශ්‍ය කරුණක් තමයි ඔහු හෝ ඇය ජීවිතේ එක කොණකට විතරක් සීමා වෙලා නොතිබීම. දරුවෙක්ට ජීවිතේ වෙනස් වෙනස් අත්දැකීම් ලබාගන්න ඉඩ දෙන්න ඕන. සැපට හැදුනු ඔබේ දරුවාට දුෂ්කර පලාතක පාසැල් පුනරුත්ථාපන ව්‍යාපෘතියකට සහභාගි වෙන්න ඕනේ කියනවා නං ඒකට ඉඩ දෙන්න. හැමදාම කාර් එකේ පාසැලට ගිහින් දාන දරුවාට තනියම යන්න එන්න පුලුවන් වයස ආවහම පොදු ප්‍රවාහන සේවයක යන්න එන්න ඉඩ දෙන්න. වෙනස් සංස්කෘතියක් එක්ක ගනුදෙනු කරන්න, දෙවෙනි භාෂාවක් කතා කරන්න දරුවාට උගන්වන්න. මේ විදියට වෙනස් වෙනස් ජීවන අත්දැකීම් ලබාගැනීමට ඔබේ දරුවාට ඉඩ ලබාදීමෙන් ලැබෙන වාසි කීපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානතම දේ තමයි ඔබේ දරුවා බබෙක් නොවී වැඩුණු පිරිමියෙක් නැත්නම් ගැහැණියක් වීමට, සමාජය තුළට නොබියව පා තියන්නට හැකියාව ලබාගැනීම.
2. දරුවාට හැකියාවක් තියෙනවා නං ඊට අවධානය ලබාදෙන්න
මේ කාරණය දෙයාකාරයි. ගොඩක් දෙමාපියෝ කරන දෙයක් තමයි තමන්ගේ දරුවා යම් කිසි ක්ෂේත්‍රයක්ට සහජ දක්ෂතාවය පෙන්නුවත් ඒක තමන්ගේ හිතට හරියන්නෙ නැතිනම් දරුවාව බලෙන්ම තමන්ට ඕන පැත්තට තල්ලු කිරීම. අපි ඕන තරම් දැකලා තියෙනවා සංගීතයට සුවිශේෂී සහජ දක්ෂතාවයක් දක්වන දරුවෙක්ට ඔය සිංදු විකාර නවත්තලා ඉංජිනේරුවෙක් වෙන්න පාඩම් කරන්න කියලා බල කරන අම්මලා තාත්තලා. මෙතනදී වෙන්න පුලුවන් දේ තමයි අනාගතයේ ලෝ ප්‍රකට සංගීතඥයෙක් වෙන්න හැකියාව, වාසනා ගුණය තිබුණු දරුවෙක් තවත් එක් සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවෙක් වෙලා නවතින එක. ඒක ඇත්තටම ජාතික අපරාධයක්. මේ කාසියේ අනික් පැත්ත තමයි පොඩි එකෙක් නිකමට කොළේක පාට පැස්ටල් කෑල්ලකින් බලිකුරුට්ටක් ඇන්දත්, ‘හානේ අපේ පුතාට චිත්‍ර උපතින්ම පිහිටලා තියෙනවා’ කියලා ඌට වෙන මුකුත් කරන්න නොදී චිත්‍ර පංති දක්කන එක. අපි කියන්නේ මේ දෙකම හොඳ නෑ කියලයි.
සාමාන්‍යයෙන් දරුවෙක්ට සුවිශේෂී හැකියාවක් පිහිටලා තියෙනවා නම් අවධානෙන් ඉන්න අම්මෙක්ට තාත්තෙක්ට ඒක වටහා ගන්න පුලුවන්. නිකම්ම මොකක් හරි දේකට ආස වීම නෙවෙයි, ප්‍රබල හැකියාවක් යම් දේකට පිහිටලා තියෙනවා කියලා දැනුනහම අන්න ඒ ක්ෂේත්‍රයෙන් දරුවාට වැඩි පුහුණුවක්, අධ්‍යාපනයක් ලබා දීම නිසා දරුවා අනාගතේ ඒ ක්ෂේත්‍රයේ සුපිරිතමයෙක් වෙන එකට අඩිතාලම වැටෙයි. හැබැයි ඒ කියන්නේ අධ්‍යාපනයේ අනික් හැම දේම අමතක කරලා මේකම කරවන්න කියන එක නෙවෙයි. හැකියාවට ප්‍රමුඛත්වය ලබාදෙන්න කියන එක.
3. මොළේ වගේම හදවතත් පාවිච්චි කරන්න උගන්වන්න
ගොඩක් වෙලාවට දකින්න පුලුවන් දෙයක් තමයි ජීනියස් ලෙවල් එකේ මනුස්සයෙක්ට හොඳ සමාජ කුසලතා නැතිවෙන්න පුලුවන් වීම. මෙහෙම වෙන එක හොඳ නෑ. දරුවෙක්ට බුද්ධිමය හැකියාවන් වගේම භාවාත්මක හැකියාවනුත් ලබාදෙන්න ඕන. හැබැයි විශේෂ හැකියාවන් තියෙන දරුවෙක්ව අඳුනාගෙන ඔහුට හෝ ඇයට වඩාත් ප්‍රමුඛ අධ්‍යාපනයක් ලබාදුන්නා කියලා සමාජ කුසලතා නැති වෙන්නේ නෑ. සමාජ කුසලතා ඇතිවෙන්න කියලා අනික් ළමයින්ගේ ලෙවල් එකේම මේ දරුවාත් තියලා තියන්න ඕන නෑ. හැබැයි මේ වෙනස දරුවට වටහලා දෙන්න ඕන. කොහොමද සමාජයේ හැසිරෙන්නේ, සමාජයත් එක්ක මනා සන්නිවේදනයක් පවත්වාගන්නේ, කොහොමද තමන්ගේ වගේම අනුන්ගේත් හැඟීම්වලට සංවේදී වෙන්නේ වගේ කාරණා දරුවාට කියලා දෙන්න ඕන. ඒක කරන්න පුලුවන් දෙමාපියන්ටම තමයි.
4. දරුවන්ට මුහුකුරා යෑමට උදවු කරන්න
ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා කරන වැරැද්දක් තමයි, සුවිශේෂී හැකියාවන් තියෙන දරුවෙක්ගේ මේ “ටැලන්ට්” එක වර්ණනා කරන එක. දරුවාට වුනත් ප්‍රශංසා කරන්නේ මේ ටැලන්ට් එක තිබීම ගැන. ඒක නෙවෙයි වෙන්න ඕන. ටැලන්ට් එක වර්ධනය කරගන්න, ඒක පොලිෂ් කරගන්න දරුවෙක්ට මග පෙන්නන්න ඕන. එතකොට ඒ සඳහා දරුවා ගන්න ඒ උත්සාහය වර්ණනා කලාට, ඒ උත්සාහය ගැනීම ගැන දරුවාට ප්‍රශංසා කරාට කමක් නැහැ. හැමවෙලේම මතක තියාගන්න ඕන දේ තමයි ටැලන්ට් එක කියන්නේ රළු පරළු මූලික දෙයක් කියන එක. ටැලන්ට් එක විතරක් තිබ්බා කියලා දරුවා ජීනියස් කෙනෙක් නැත්නම් ලෝ ප්‍රසිද්ධ තරුවක් වෙන්නේ නෑ. දරුවාට ඒ ටැලන්ට් එක වැඩිදියුණු කරගන්න, පොලිෂ් කරගන්න සෑහෙන වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්. ටැලන්ට් එක කියන්නේ පටන් ගන්න තැන විතරයි.
5. අවදානමට, අසාර්ථකත්වයට දරුවාගේ බය නැතිකරන්න
මේ ලෝකේ ඕනෑම මනුස්සයෙක් අසාර්ථක වෙන අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. ඒකට ජීනියස් මනුස්සයෙක්ද සාමාන්‍ය මනුස්සයෙක්ද කියන එක අදාළ වෙන්නේම නෑ. හැබැයි දරුවෙක් අසාර්ථකත්වයට බය වෙනවා කියන්නේ ඒ දරුවා වැඩුනට පස්සේ වුනත් කිසිම අවදානමක් ගන්න බය වෙනවා. ඉතින් හැමදේම ප්‍රවේසමින් කරන්න යනවා කියන්නේ ගොඩක් දුරට ඒ දරුවාට අනාගතයේදී තමන්ගේ නියම හැකියාවට ලඟා වෙන්න බැරි වෙනවා කියන එක තමයි. මොකද කොයි තරම් උපන් හැකියාවෙන් යුක්ත කෙනෙක්ට වුනත් ජීවිතේ ඉදිරියට යන කොට යම් යම් අවදානම්කාරී ක්‍රියාවන් කරන්න වෙනවා. මේ නිසාම ඔබේ ජීනියස් දරුවාට කියා දෙන එක වටිනවා අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වය දෙසට තවත් එක පියවරක් බව. බුද්ධිමත් ලෙසින් අවදානම් ගැනීම සාර්ථකත්වයට නොවරදින පියවර බව. මේ කියන්නේ ගොන්නු වගේ ඕනම අවදානමක් ඉස්සරහට පනින එක නෙවෙයි, මොළේ ඇතුව හිතලා බලලා, කිරලා මැනලා අවදානමක් ගන්න එක. මේක කියා දෙන්න නම් දරුවා අසාර්ථක වෙන මොහොතේදී ඔහුට හෝ ඇයට තරවටු කරනවා වෙනුවට ඔවුන් එක්ක ඉන්න දෙමාපියන්ට සිද්ධ වෙනවා.
6. ලේබල් ගහන එකෙන් වළකින්න
සාමාන්‍යයෙන් උපන් දක්ෂතාවයක් තියෙන දරුවෙක්ට එතනින් එහාට යන්න නොදෙන්න කරන්න පුලුවන් ෂුවර්ම දේ තමයි “මේ දරුවා නම් හරිම දක්ෂයි, මාරම ජීනියස්” කියලා ලේබල් කරන එක. සාමාන්‍යයෙන් ඔය පොඩි වයසෙන් පොත් ලියන, චිත්‍ර ප්‍රදර්ශන කරන පොඩි එකෙක් එතනින් එහාට හොයාගන්නවත් නැතිවෙන්නේ මේ කාරණේ හින්දා තමයි. ඒ කියන්නේ තමන් දක්ෂතාවය නිසා කරන පළවෙනි දේ හිට් වුනාට පස්සේ හැමෝම අවශ්‍ය ප්‍රමාණයට වඩා උඩින් තියන්න උත්සාහ කරනවා. ඊට පස්සෙ පොඩි එකාට ඊලඟට දෙයක් කරන්න බයයි. ඇයි අර කලින් කරපු එකට වඩා සිරා වැඩක් කරන්න වෙනවනේ. ඒ බයත් එක්ක දක්ෂතාවය ක්‍රමයෙන් නැතිවෙලාම යනවා. අන්න ඒ නිසා දෙමාපියෝ මතක තියාගන්න ඕන තමන්ගේ ජීනියස් දරුවාව ලේබල් කරන එක නවත්තන්න. තමන්ට ලෝකේ කාටවත් නැති මාරම හැකියාවක් තියෙනවා කියලා දරුවාගේ ඔලුවට යන එක වලක්වන්න. තමන්ගේ දක්ෂතාවය ඇති සැටියෙන් පිළිගන්න දරුවාව හුරු කරන එක දෙමාපියන්ගේ වගකීම.
7. පාසැලේ පරිසරය හරියට හදාදෙන්න
ගණිතයට සුවිශේෂී හැකියාවක් කුඩා කාලයේ ඉඳන්ම පෙන්නන දරුවෙක්ට සමාජ හැකියාවනුත් ලබාදෙන්න ඕනය කියලා අනික් ළමයි එක්ක 5+5=10 කිය කියා ඉන්න දෙන එක අපරාධයක්. හැබැයි අනික් ළමයින්ගෙන් සම්පූර්ණයෙන් වෙන් කරලා විශේෂ අධ්‍යාපනයක් ලබාදෙන එකත් අවුලක්. මෙන්න මේ කාරණේ නිසා තමයි තමන්ගේ ජීනියස් දරුවාගේ ගුරුවරුන් එක්ක හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්න එක, ඒ අයත් එක්ක නිරන්තරයෙන් කතා බහ කරමින් දරුවාගේ සමාජ කුසලතා වර්ධනයට හානි නොකරමින් විශේෂ හැකියාවන්ට අවධානය යොමු කරලා විශේෂ පුහුණුවක් පාසැලේදීත් ලබාදෙන්න කටයුතු කරන එක වටින්නේ. මේක දෙමාපිය ගුරුවර සහයෝගයෙන් පහසුවෙන්ම කරගන්න පුලුවන් දෙයක්.
8. දරුවා එක්කම ඔබත් ජීනියස් වෙන්න
සුවිශේෂී හැකියාවන් තියෙන දරුවෙක්ට විශේෂ අවධානයක් සහ විශේෂ පුහුණුවක් ලබාදෙන තැන තියෙන ලොකුම චැලේන්ජ් එකක් තමයි, දරුවාගේ හැකියා මට්ටමට ඉන්න දෙමාපියන්ට නොහැකි වෙන එක. ඒක ගැන වදවෙන්න එපා. හැබැයි ඔබට මූලික අවබෝධයක් සහ බුද්ධියක් තියෙන්න ඕන දරුවාව හරි පාරේ ගෙනියන්න. එහෙම නැතුව සුපිරි චිත්‍ර හැකියාවක් තියෙන දරුවෙක්ට පිකාසෝ ගැන කියලා දෙන්න ඔබට බැරි වුනාට කමක් නෑ. හැබැයි මූලික වර්ණ සංයෝජනයන් ගැන කියලා දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකට කරන්න තියෙන්නේ ඔබත් ටිකක් දුර දරුවාගේ විශේෂීකරණ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්න එක. අමාරු වැඩක් නෙවෙයිනේ. ඒකත් එක්ක දරුවාට අභියෝගයන්ට මුහුණ දෙන්න කියලා දෙන්නත් ඔබට පුලුවන්. ඒ වගේම දරු-දෙමාපිය සම්බන්ධතාවය හරියට අරගෙන යන්නත් හැකියාව ලබාගන්න පුලුවන්.
9. ජීනියස්ලා හදන්න ගිහින් පිස්සො වෙන්න එපා!
ජීනියස් ළමයි හදන්න කියලා ගිහින් පිස්සො වෙන්නේ අම්මලා තාත්තලා කියන එකට උදාහරණයක් ඕන්නං මේ පාර ශිෂ්‍යත්වේ ලකුණු අඩු වුණු පොඩි එකෙක්ගේ අම්මෙක් එක්ක පොඩ්ඩක් කතා කරල බලන්න. මේක සෙල්ලමක් නෙවෙයි. විශේෂයෙන්ම දරුවන්ගේ අසාර්ථක වීම් විඳ දරාගන්න බැරිව මානසිකව වගේම ශාරීරිකව කඩා වැටෙන දෙමාපියන් නිසාම ඒ දරුවොන්ගේ අනාගතේත් විනාස වෙලා යන තැන් ඕන තරම් තියෙනවා. හැම දරුවෙක්ටම සුපිරි ජීනියස් කෙනෙක් වෙන්න බැරි වෙයි, ඒත් හැම දරුවෙක්ට සුවිශේෂයි කියන එක මතක තියාගන්න ඕන.
- aniwa.lk
ඔබේ දරුවාත් ඥාණවන්තයෙක් කරන්න විද්‍යාත්මක කරුණු 9 ක්
2018-06-16T01:16:00-07:00
Gossip Lanka Hot News
slide|