දෙයක් කියන තාලය කෙනෙක් ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා වගේම ඔහු කතා කරන භාෂා විලාසයත් ඔහු ජීවත් වෙන පැත්ත අනුව, කරන රක්ෂාව අනුව, වගේම වෙනත් සමාජීය කාරනා නිසා වෙනස් වෙන්න පුළුවන්. වර්තමානයේ තාක්ෂණ නිසා හැම අස්සක් මුල්ලකම එකට යා වුනත්, ඉස්සර ඒ දේවල් වුනේ නැහැ. අන්න ඒක නිසා තමා අපි පිට පළාතකට ගියාම ඔවුන් කතා කරන විලාසයේ වෙනසක් දැනෙන්නට ගත්තේ. මේ වෙනස් කම් ගැන ඔබව දැනුවත් කරන්න, අපේ ජනවහරේ ඔබ අනිවා
දැනගත යුතු පුංචි පුංචි කාරනා කිහිපයක් කියන්නයි මේ සුදානම.
1. මාතර වහර
අපි මුලින්ම යන්න හදන්නේ මාතර පැත්තට. ඔබ මාතර පැත්තේ යනවා නම් ඔබට බොහෝ අය අමතනු ඇත්තේ “ඔහේ” කියාය. “ඔහේ” යනු “ඔබ” කියන වචනයට සමාන වචනයක් වන බව අපි හිතට ගන්න එක හොඳා. එත් බැරි වෙලාවත් “ඔහේ” කියා යම් කෙනෙකු ඇමතුවොත් ඔබ “තමුසේ” කියා උත්තර දෙන එක ඔබට කෙසේවෙතත් ඔබේ ශරීර සුවයට එතරම් හොඳ වෙන එකක් නැහැ!
ජිම් ගිහිල්ල ෆිට්නස් හදාගෙන ටෝන් බොඩි එකක් ඔබට තියේනම් මාතරදී ඔබව අමතනු ඇත්තේ “හීන් එකා” කියා වන්නට පුළුවන්. ඒ වගේම ඒ ඇඟ හදාගන්න අපි ගෙදරදී කන කෑම වල එළවලු, මාතරදී හඳුන්වන්නේ “වැංජන” කියලයි.
මාතර මිනිස්සු “කෑ ගසන්නේ” නැත. ඔවුන් දෙන්නේ “ලතෝනි”ය. එසේ ලතෝනි දෙන සමහර “උදවිය” “ලුණු පොලොත්තක්” තරම් වත් මොලයක් නැති “උන්දැලා” ය. ලුණු පොලොත්ත යනු ලුණු පොල් කට්ට වන අතර “උන්දැ” යනුවෙන් හඳුන්වන්නේ අදාළ පුද්ගලයා ය.
මාතර ෆිල්ම් හෝල් එකකට “මේ දෑස කුමටද” කියන ෆිල්ම් එක හෝල් වලට ආවම එච්චර මිනිස්සු හිටියේ නැහැලු. පස්සේ මැනේජර් පොඩ්ඩක් නම වෙනස් කලාම පහුවදා ඉඳන් සූ ගාලා සෙනගලු. බලනකොට මැනේජර් “මේ දෑස කුමටද” කියන නම “මේ දෑහ මක්කටෙයි” කියලා වෙනස් කරලලු.
2. දිගාමඩුලු වහර
දිගාමඩුලු ජනවහර කියන්නේ වැව්ගම් පත්තුව සහ බින්තැන්න පත්තුවේ ජනවහරට. වැව්ගම් පත්තුවේ බස්වහර බිම්තැන්න පත්තුවෙත් ඌවට අයත් නිල්ගල කෝරළයේත් වැඩිහිටියන් අතර දකින්නට පුළුවන්. වැව්ගම් පත්තුවේ බස්වහර අනෙක්වාට වඩා වෙනස් ප්‍රශ්නාර්ථයේදී “ද?” නොයෙදීම. ක්‍රියා පද ව්‍යවහාර කරනවිට “වවත්”, “කත්”, “සිටිත්”, “බලත්”, “කියත්” යනාදී වශයෙන් බහුවචන ස්වරූපය ගැනීම. බොහෝ වචන පැරණි භාෂාවේ භාවිතා කල වචන වීම.
දිගාමඩුලු ජනවහරේ දී පියාට “අප්පා” කියන අතර අම්මාව හඳුන්වන්නේ “මේ හෝ මොවී” කියන නමින්. අම්මගේ මව හෙවත් ආච්චි “කිරි අම්මා” වෙන අතර, තමන්ගේ සැමියා හඳුන්වන්නේ “බොටා” යන වචනෙනි. ගෙදර ඇති කරන බල්ලාට “කැටා” කියා හඳුන්වන අතර, අපි ආහාරයට ගන්නා හොද්ද හඳුන්වන්නේ “කායම” නමිනි. කිරි අල වලට “කොකිස්” කියන අතර, පැපොල් වලට “අඹ” කියන්නටද ඔවුන් දක්ෂය. තරහා කාරයින්ට අපි වෙඩි තියන අතර, ඔවුන් “ගිනිබිඳිම” කරයි. තුවක්කුව “කළු මිනික්කම” යනුවෙන් හඳුන්වන අතර, අපි වමනේ කරනවාට කියන්නේ “ඔරවනවා” කියා ය. කම්මැලි අයට “සොමාරියෝ” කියා හඳුන්වන අතර, කොල්ලන්ට කියන්නේ “ගොබිලා” කියාය.
ඉස්සර හමුදා පුහුණුවට ගත්තු සොල්දාදුවෝ ටිකකට කැප්ටන් කෙනෙක් වෙඩි තියන්න උගන්නන්න ගියාලු. තුවක්කු මානාගෙන ඉන්න සොල්දාදුවන්ට කැප්ටන් විධානය දුන්නම “fire!” කියලා ඔක්කොම වෙඩි තිබ්බත් සාමාජිකයෝ කීප දෙනෙක් වෙඩි තිබ්බේ නැහැලු. කැප්ටන් කිප වතාවක්ම “fire” කියල කිව්වත් අර කීප දෙනා නෙවෙයිලු කනකටවත් ගත්තේ.
දැන් කැප්ටන්ට මර කෙන්තියිලු. මේ වැඩේ දිහා යමින් ගමන් බලා හිටපු එක ඔෆිසර් කෙනෙක් කැප්ටන්ට කනට කරලා මොනවාදෝ කිව්වලු. ආපහු අර වෙඩි නොතියපු සොල්දාදුවෝ ටික වෙනම අරගෙන ඔවුන්ට මෙන්න මෙහෙම විධානය දුන්නලු:
“ගොබිලෝ ටික කලුමිනික්කම ඇන්න ගිනි බින්දපියව්”
අනේ කට්ටිය අගේට ඉලක්කෙට වෙඩි තිබ්බලු.
3. ඌව වහර
ඌව ජනවහරවල් වලින් විශේෂ එකක්. ඒක හැදිලා තියෙන්නේ ජනවහර දෙකක් එකතු වෙලා කියලයි කියන්නේ. ඒ තමා පානම සහ දිගාමඩුලු ජනවහර කියන දෙක.
අපේ උදේ පාන්දර ඔවුන්ට “හිල් පාන්දර” වන අතර, වහිනා මහා වැස්ස හඳුන්වන්නේ “කුලන්තරය” නමින්. උදේට අපි ආහාරයට ගන්නා බත අපි නම් උයන අතර ඌවෙ වෙන්නේ “බත සැතපිමයි”. සමහර තැන් වල කුඩා දැරියට “කෙලි පැටික්කි” කියන අතර, ඈ අඳින කුඩා ගවුම “උච්චුරු ගවුම” නමින් හදුන්වයි. කාට හරි වෙන කරදරය “පොය්යංගම” වෙන අතර, එය “කම්බිරිස්සාව” නමින්ද හඳුන්වයි. බිරිඳව “අපේ උන්දෑ” වෙන අතර, බිරිඳ සැමියාව හඳුන්වන්නේ “අපේ ඇත්තෝ” කියලයි.
4. වැදි ජනවහර
දඹාන පොලොන්නරුව වැනි ප්‍රදේශ වල සිටින ඒ ප්‍රදේශ වල සිටින මුල් පදිංචි කරුවන් වන වැදි ජනතාව අතර ඔවුන්ටම ආවේනික බස් වහරක් තියෙනවා. බොහෝ නාට්‍ය පොතපත මේ ජන වහර භාවිතා කරලා නිර්මාණ කරන්න පෙළඹිලා තියෙන්නේ එහි ඇති මනරම් බව නිසා කියලයි අනිවා අපට හිතෙන්නේ.
ඔවුන් තමන්ගේ එදිනෙදා ජිවිතේ ලොකුම කරදරය වෙන ඔවුන්ගේ හේන් පාලු කරන අලියා ව හඳුන්වන්නේ “බොටකඳයා” කියන නමින්. ඒ වගේම සෙරෙප්පු වලට වෙනත් ජන වහරවල් වලට සමානවම “වාම්පතුල්” කියා හඳුන්වන බව පොත පතේ සඳහන්. ඒ වගේම තමන්ගේ නාසය “නාස් පොජ්ජ” ලෙසත්, සිය මස්සිනා “මවන ඇත්තෝ” ලෙසිනුත්, වෙන කෙනෙකුට කතා කිරමේදී “ඔබ”, “ඔහු” කියා හඳුන්වනවා වෙනුවට ඔවුන් භාවිතා කරන්නේ “තොපන්” කියන වචනයයි. ඔවුන් ගින්දර හඳුන්වන්නේ “ගිනිරාව්වා” යන නමින් වන අතර, බහුතරයක් කිසිදා දැක නැති මහා මුහුද හඳුන්වන්නේ “මා දිය ගං ඇල්ල” නමිනි.
- aniwa.lk
සිංහල භාෂාවේ එක එක අමුතු කතා කියන ලංකාවෙ එක එක පැතිවල ජනවහරවල් 4ක්
2018-06-30T02:57:00-07:00
Gossip Lanka Hot News
slide|