ඔන්න කලින්ම කියනව. මොකද නියම විදියට රසම රස සීනි සම්බෝලයක් හදාගන්න නම් සෑහෙන ඉවසීමක් ඕන වෙනව.
රස රහස් ටිකක්
සීනි සම්බෝලෙ හදන විදිය කියන්න කලින් සීනි සම්බෝලෙක රස ගන්න ඔයාල දැනගෙන ඉන්නම ඕන පොඩි පොඩි රහස් ටිකක් මුලින්ම කියල දෙන්නම්.
1. සීනි සම්බෝලෙ රසම රතු ළූණු වලින්. සුද්ද කරන්නයි කපන්නයි තියෙන ලේසියට බී ළූණු ගත්තට ඉස්සර අපේ අම්මල සීනි සම්බෝලෙ හදාගත්තෙ රතු ළූණු වලින්. එහෙම තමා රසම.
2. ළූණු ටික හීනියට කපාගන්න ඕනෙ. ඒ කියන්නෙ පුළුවන් තරම් හීනියට. කම්මැලිකමට පොලු ගහල සීනි සම්බෝලෙ රස ගන්න බෑ. හරි විදියට ළූණු ටික මැලවිලා සීනි සම්බෝලෙ හැදුනට පස්සෙ මේක හැදුවෙ ළූණු වලින් කියල කෙනෙක්ට බැලු බැල්මට කියන්නත් බැරි වෙන්න ඕන. ළූණු කෑලි වෙන් නොවෙච්ච එකටම ඇලුන ගුලියක් ගාණට එන්න නම් ළූණු ටික හීනියට කපාගන්න එක අනිවා වැදගත්.
3. දාන රම්පෙ ටික පොඩියට කපාගන්න ඕන. රම්පෙ කරපිංචා ටිකක් වැඩිපුර දාගන්නත් ඕන.
4. අඩුම කුඩුම ටික දාල ළූණු ටික හොඳට පොඩි කරල අනාගන්නත් ඕන. මිරිස් චුට්ටක් ගෑවුනත් අත දැවිල්ල හැදෙන අයට ඩිස්පෝසබල් කිචන් ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
5. පොල් තෙල් පාවිච්චි කරන්න. හොඳ පොල් තෙල් වලින් හදන තරමට තමා සීනි සම්බෝලෙටම ආවේනික සුවඳ එන්නෙ. එලවළු තෙල් හෝ වෙන තෙලකින් පොල් තෙල් වලින් වගේ සීනි සම්බෝලෙ තෙම්පරාදු වෙද්දි එන මිහිරි සුවඳ නම් එන්නෙ නෑ
අවශ්‍ය ද්‍රව්‍ය
මෙහෙමයි සීනි සම්බෝලට දාන දේවල් මේ මේ ප්‍රමාණ කියල හරියටම කියන්න බෑ. එක එක්කෙනාගෙ කැමැත්ත අනුව ළූණු ප්‍රමාණය, සැර, පැණි රස, ලුණු සහ ඇඹුල වෙනස් වෙන නිසා. කැමැත්ත පරිදි ලුණු ඇඹුල් වෙනස් කරගන්න හැටිත් පහතින් අපි කියල තියෙනව.
- ළූණු
- සැර අනුව කෑලි මිරිස්
- මිරිස් කුඩු (කෑලි මිරිස් තේ හැඳි 4ට මිරිස් කුඩු තේ හැඳි 1/2ක් ප්‍රමාණවත්. සීනි සම්බෝලෙට ඕන පාට ගන්න විතරයි මිරිස් කුඩු දාන්නෙ.)
- රම්පෙ
- කරපිංචා
- සේර කෑල්ලක්
- කුරුඳු පොතු කෑල්ලක්
- කරදමුංගු
- කරාබු නැටි
- උම්බලකඩ
- සියඹලා ඉස්ම
- තලාගත් ඉඟුරු/සුදුළූණු
- සීනි
- ලුණු
සාදාගන්නා ආකාරය
- කපාගත්තු ළූණු ටික ලොකු බෝල් එහෙකට දාගන්න. ඒකට කෑලි මිරිස්, මිරිස් කුඩු, ලුණු, සීනි, සියඹලා ඉස්ම දාල හොඳට අනාගන්න.
- දැන් තෙල් ටිකක් ලිපේ තියාගන්න. සීනි සම්බෝලෙට තෙල් ටිකක් වැඩියෙන් ගත්තට කමක් නෑ. හරි විදියට හදන සීනි සම්බෝලෙ තෙල් ටිකක් ගෑවුනත් ඇති බත් කන්න කියලයි සමහරු නම් කියන්නෙ 😉
- සාමාන්‍ය ගින්දරේ තෙල් රත් උනාම ඒකට රම්පෙ, කරපිංචා, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, සේර, එකතු කරන් හොඳින් තෙම්පරාදු කරන්න. නියම ගානට තෙම්පරාදු වෙද්දි හොඳ සුවඳක් එනව. සුවඳ එනකම් තෙම්පරාදු කරගත්තට පස්සෙ ඒකට ඉඟුරු සහ සුදුළූණු එක්කම උම්බලකඩ ටික එකතු කරන් කලවම් කරගන්න. ඉඟුරු, සුදුළූණු එකතු කලාට පස්සෙ ඒ එක්කම වගේ අනාගත්තු ළූණු ටික එකතු කරගන්න. මොකද ඉඟුරු, සුදුළූණු සහ උම්බලකඩ ගොඩක් බැදුනොත් තිත්ත රසක් එන්න පුළුවන්.
- ළූණු ටික එකතු කරගත්තට පස්සෙ ළූණු ටික මැලවෙනකම් සාමාන්‍ය ප්‍රමාණෙටම ගින්දර තියාගෙන විනාඩි 2න් 2ට කලවම් කරගන්න. කලවම් කරගන්න කියන්නෙ හොද්දක් හැඳි ගානව වගේ නෙවෙයි භාජනයේ යට කොටසේ තියෙන ළූණු ටික උඩට එන විදියට හැන්දෙන් පෙරලන්න. ළූණු ටික මැලවුනාට පස්සෙ ගින්දර අඩුම කරගන්න.
- දැන් තමයි සීනි සම්බෝලෙ රස පදම බලන්නෙ. ලුණු රස වැඩි නම් තව සියඹලා ඉස්ම ටිකක් දාගන්න, ඇඹුල් රස වැඩි නම් තව සීනි ටිකක් දාගන්න, සැර වැඩි නම් තව ළූණු ටිකක් එකතු කරගන්න.
- මේ විදියට සීනි සම්බෝලෙ රස බැලන්ස් කරගත්තට පස්සෙ තමා අමාරුම වැඩේ සහ අර අපි මුලින්ම ගන්න කියපු ඉවසීම කිලෝ එක ඕන වෙන්නෙ. අඩුම ගින්දරේ තියෙන සීනි සම්බෝලෙ විනාඩි 3කට 4කට සැරයක් කලින් වගේම හැන්දෙන් පෙරල පෙරල ලිපේ තියාගන්න ඕනෙ. ළූණු ටික මැලවුනාට පස්සෙ මොකටද තවත් ලිපේ තියන්නෙ කියල හිතෙනව නේද? ඒ තමා සීනි සම්බෝලෙ නියම පාට ගන්න රහස. අනික ළූණු ටික මැලවුනාටම රස පදම හරියන්නෙ නෑ. අඩුම ගින්දරේ වැඩි වෙලාවක් තියාගන්න එක තමා කරන්න ඕන. තද දුඹුරු පාටට හැරිලා ළූණු ටික එක ගුලියට වගේ එකතු වෙන ගාණට ආවම ලිපෙන් ඉවත් කරගන්න. ඒක තමා සීනි සම්බෝලෙ නියම පදම.
- අවසානයට කියන්න තියෙන්නෙ ඉතින් මේ විදියට සීනි සම්බෝලයක් හදලම රස බලන්න කියල තමයි. මීට පස්සෙ සීනි සම්බෝල කියල ළූණු බැදුම් කන එකක් නෑ ඔයාල