මීට පස්සෙ ලංකාවේ කෝපි කඩේකට ගියහම වැඩ්ඩෙක් වගේ කෝපි එකක් ඉල්ලන්න, මේ කෝපි වර්ග ගැන දැනගෙන ඉන්න

ලංකාවේ අපිට කෝපි ගැන අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑනේ ආයුබොවන්ඩ. ආය කෝපි කඩෙන් ගන්න වැඩි සීනි හරිස්චන්ද්‍ර කෝපි එකත්, ගෙදර හදන කබලේ බැදලා කුඩුකරගත්තු ගහේ කෝපි කෝප්පෙත් අපිට ගේමක් නෑ. හැබැයි ඉතින් ඔය බර කරලා කියන්නේ “කොෆී ලෝන්ජ්” කියලා. ආන්න ඒ පොට් එකකට ගියාට පස්සේ සමහරුන්ට පොඩ්ඩක් අප්සැට්. වෙන මොකක්කත් නෙවෙයි, ඕකේ මෙනු එකේ තියෙන නානාප්පකාර කෝපි ජාති දිහා බලලා අප්සැට්. දැන් ඕක ඕඩර් කරලා අරන්
බොන්න බැරි වුනොත් වස චාටරේ. ඒ විතරක්ද, සුපියල් දෙතුන්හාර සීයකුත් අපතේ. ආන්න ඒ නිසා තමයි අපි කියලා දෙන්න හදන්නේ ඔය කොෆී ලෝන්ජ් වල තියෙන අමුතු නං තියෙන කෝපි වල ඇත්තටම රස එහෙම කොහොමද කියලා. එතකොට ඊලඟ වතාවට ඔය වගේ පොට් එකකට ගියහම වැඩ්ඩෙක් වගේ, ඔව් වැඩ්ඩෙක් වගේ කෝපි ඕඩර කරතෑකි!

1. Espresso

කුඩු හරහා තෙරපන එක. ඒ කියන්නේ පීඩනයකින් තමයි මේ වතුර ටික කෝපි කුඩු හරහා එන්නේ. එතකොට වෙන්නේ බොහොම ප්‍රබල කෝපි රසයක් තියෙන, අර කෝපි වල ඇසිඩ් ගතිය සුපිරියටම තියෙන සාන්ද්‍ර කෝපි ද්‍රාවණයක් ලැබෙන එක. මෙන්න මේක තමයි එස්ප්‍රෙසෝ කියන්නේ.

මේකට තමයි සිංගල් ෂොට් එස්ප්‍රෙසෝ නැත්නම් නිකම්ම එස්ප්‍රෙසෝ කියන්නේ. හැබැයි සමහරු මෙච්චර බර, සාන්ද්‍ර කෝපි රහට කැමති නෑ. ඒ නිසා මුලින්ම සිංගල් ෂොට් එස්ප්‍රෙසෝ එකක් තොලගාලා හිටියනං, අනික් කෝපි ජාති වෙනස් වෙන හැටි හිතාගන්න තිබුණා.

2. Double Espresso

ඔව් මේකෙන් කියවෙන්නෙත් ඔය හිතන දේම තමයි. එස්ප්‍රෙසෝ ෂොට් දෙකක් එක කෝප්පෙකට දාලා. ලොකු අවුලක් නෑ වගේ කියල නේද හිතෙන්නේ? එස්ප්‍රෙසෝ වලට හුරුපුරුදු, සාන්ද්‍ර කෝපි රහට කැමති මනුස්සයෙක්ට නං අවුලක් වෙන එකක් නෑ. හැබැයි හුරු නැති ඩයල් එකක් නං ඩබල් ෂොට් එස්ප්‍රෙසෝ ගහන්න ගිහින් ඔලුව කැක්කුමත් හදාගෙන නවතින්නේ.

3. Short Macchiato

සාමාන්‍යයෙන් කෝපි ලෝලියෙක්ගේ ඩ්‍රින්ක් එක තමයි එස්ප්‍රෙසෝ. හැබැයි ඉතින් අර සාන්ද්‍ර කෝපි ගතියත්, ඇසිඩිටි එකත් එක්ක එනවා තිත්ත රහකුත්. සමහරු මේකට කැමතියි, සමහරු අකමැතියි. දැන් අපි හිතමු අපිට එස්ප්‍රෙසෝ එකේ රසය විඳගන්න ඕන අර තිත්ත ගතිය නැතුව කියලා. ඔන්න එනවා මැකියාටෝ. ෂෝට් මැකියාටෝ කියන්නේ ඇත්තටම හුමාලයෙන් රත් කරපු කිරි චුට්ටක් දාපු එස්ප්‍රෙසෝ එකක්. මේකෙන් එස්ප්‍රෙසෝ එකේ තද කළු ගතිය පොඩ්ඩක් මැකෙන එක විතරයි වෙන්නේ.

4. Long Macchiato

දැන් අපි කියමු ෂෝට් මැකියාටෝ එකක් රහ බලනකොට, මේකේ තව පොඩ්ඩක් ස්වීට් ගතිය අඩුවෙලා තව සාන්ද්‍ර කෝපි ගතිය, ඒ කියන්නේ එස්ප්‍රෙසෝ ගතිය වැඩි වුනා නං මරු කියලා අපිට හිතෙනවා කියලා. අන්න එතකොට ගැලපෙන ඩ්‍රින්ක් එක තමයි ලෝන්ග් මැකියාටෝ. ඒ කියන්නේ ඩබල් ෂොට් එස්ප්‍රෙසෝ එකකට අර විදියටම ස්ටීම් කරගත්තු කිරි ජුන්ඩක් දාලා හදාගන්න බීම. මෙතනදීත් අර තිත්ත රස මැකිලා ගියත්, ලෝන්ග් මැකියාටෝ එක වඩා ප්‍රබල රසයකින් යුක්තයි.

5. Americano

මෙන්න මේක තමයි ගැලපෙන්නේ ඔය උඩ කිව්ව කෝපි එකක්වත් සෙට් වෙන්නෙ නැති අයට. ඇමරිකානෝ! මේක හදන්නේ එස්ප්‍රෙසෝ එකට කේතලෙන් ගත්තු උණුවතුර දාලා. එතකොට මොකැයි වෙන්නේ? අර එස්ප්‍රෙසෝ එකේ තියෙන සාන්ද්‍ර, බර, තිත්ත ගතිය මැකිලා ගාණකට එනවා. හරියට ගෙදර හදපු කෝපි එක වගේ. හැබැයි එමම නෙවෙයි. මොකද ඊට වඩා මොකද්දෝ ආතල් රහක් මේකේ තියෙනවා. ඒ කියන්නේ අර නිකං බටර්ස්කොච් ෆ්ලේවර් එකක් වගේ.

6. Cappuccino

මෙන්න උදේ කෑමට පස්සේ ගහන්න මරු කෝපි එක. සාමාන්‍යයෙන් නං කැපුචිනෝ එකක් හදන්නේ ඩබල් ෂොට් එස්ප්‍රෙසෝ එකක් අරගෙන, ඒකට උණු කිරි සහ අර ස්ටීම් කරගත්තු කිරි පෙණ දාලා. ඔය ටික ගාණට බැලන්ස් කරලා ගත්තහම ඩබල් ෂොට් එස්ප්‍රෙසෝ එකේ තියෙන තිත්ත රහ මැකිලා ගිහිල්ලා කිරි රහත් එක්ක බොහොම රසවත් කෝපි රහක් සෙට් වෙනවා. මේකට සමහරු කිරි වෙනුවට ක්‍රීම් දානවා. එතකොට සමහරු ඔය කුරුඳු කුඩු ටිකක්, කොකෝවා කුඩු ටිකක් එහෙමත් ඉහිනවා රස වැඩි වෙන්න.

7. Café Latte

මෙන්න මේක මරු බර කෝපි රහට වැඩි කැමැත්තක් නැති අයට. සමහරු නං මේක සලකන්නේ පොඩි එවුන්ගේ කෝපි බීමක් විදියට තමයි, ඒත් ඉතින් අර සාන්ද්‍ර එස්ප්‍රෙසෝ එක සෝබනේටවත් බොන්න හිත හදාගන්න බැරි කෙනෙක්ට මේක නියමම ට්‍රීට් එකක්. කැෆේ ලතේ නැත්නම් නිකම්ම ලතේ හදන්නේ එස්ප්‍රෙසෝ එකට ස්ටීම් කිරි සෑහෙන්න දාලා, උඩට අර කිරි පෙණ ලේයර් එකකුත් එකතු කරලා. ඔව්, ගෙදර හදන කිරි කෝපි එක වගේ දැනෙනවා තමයි. හැබැයි මේක ඊට වඩා සෑහෙන්න රහක් තියෙන බීමක්.

8. Mocha

කැෆේ මෝකා, මොකැචිනෝ නැත්තං නිකංම මෝකා කියලා ඉල්ලන්න පුලුවන් මේ කෝපි එක මාරම රහ එස්ප්‍රෙසෝ එකක්. මේක අර උඩ කිව්ව කැෆේ ලතේ එකෙන් වෙනස් වෙන්නේ, මේකට වැඩිපුර චොකලට් සිරප් එකතු කරන එකෙන් තමයි. නිකමට හිතලා බලන්නකෝ අර එස්ප්‍රෙසෝ එකේ තිත්ත සහ බර ගතිය සම්පූර්ණයෙන්ම මැකිලා ස්වීට් ගතිය ඉස්මතු වෙන්න දාපු ලොකු කිරි කෝප්පෙත් එක්කම චොකලට් සිරප් රහත් එකතුවෙලා එනකොට? හැබැයි ඉතින් මේක බඩ පිරෙන බීමක්.

මේ ඇරෙන්න තව දැනගෙන හිටියට වැ‍රැද්දක් නැති දෙයක් තමයි එක එක විදියේ කෝපි වර්ග. ඒ කිව්වේ කෝපි ඇට වර්ග. මොකද මේ කෝපි ඇට වර්ග වල විදියටත්, ඒ කෝපි ඇට රෝස්ට් කරන විදියටත්, අන්තිමට එන්නේ එකම වර්ගෙක කෝපි ඇට ජාතියක කුඩුද, එහෙම නැතිනම් කුඩු කීපයක් මිශ්‍ර කරලා හදපු බ්ලෙන්ඩ් ප්‍රොඩක්ට් එකක්ද කියන එක මතත් කෝපි කෝප්පේ රහ වෙනස් වෙනවා. කොහොමත් ලෝකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ කොෆී රොබස්ටා (Coffee Robusta) සහ කොෆී ඇරබිකා (Coffee Arabica) කියන ජාති දෙක තමයි. එතනින් එහාට අප්‍රධාන කෝපි ඇට ජාති හැටහුටාමාරක් විතරම තියෙනවා. ඉතින් එච්චර දරුණුවට හිතන්නේ නැති කෙනෙක් නං උඩ කිව්ව කෝපි

9. ගෙදර කෝපි

ගෙදර කෝපි හදන හැටි අමුතුවෙන් කියලා දෙන්න ඕනෙද? හැමෝටම ඕන නෑ. හැබැයි ඉතින් කෝපි එකක් තියා තේ එකක්වත් හරියට හදාගන්න බැරි කෙල්ලොන්ට කොල්ලොන්ට මේවත් කියල දෙන්න වෙනවනේ අම්මපා!

සාමාන්‍යයෙන් නං උතුරවා ගත්තු වතුරට කෝපි තේ හැඳි බාගයක් හරි එකක් හරි තමන්ට ඕන සාන්ද්‍රණය අනුව දාලා, සීනි හැඳි එකක්, දෙකක් හරි තුනක් තමන් සීනි බොන ප්‍රමාණය අනුව දාලා හදාගන්න තමයි තියෙන්නේ. මේකට පිටි හැඳි දෙකක් එකතු කළහම කිරිකෝපි. ඕන නං කන්ඩෙන්ස්ට් මිල්ක් දාන්නත් පුලුවන්. පාස්චරීකෘත කිරි දාන්නත් පුලුවන්. හොයාගන්න පුලුවන් නම් එළකිරි දාලම හැදුවහම සුපිරි කිරි කෝපි එකක් තමයි. සමහරු ඉන්නවා වැනිලා බිංදුවකුත් මේකට දානවා. සමහරු කුරුඳු කුඩු බිංදුවකුත් එකතු කරනවා. මේ ඕන දෙයක් කරලා හදාගන්න පුලුවන්. මේකම අයිස් කෝපි කරගන්නත් පුලුවන්. හැබැයි මේ විදියට නෙවෙයි හදන්නේ.

බිත්තර කෝපි ගැන අහල තියෙනවද? මේක වියට්නාමේ ප්‍රචලිත බීමක් වුනාට ඇඟට ශක්තිය දෙන කෝපි බීමක් විදියට ලංකාවේත් සීයලගේ කාලෙ ඉඳලම ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙනවා. මේකට ගන්නේ කෝපි, සීනි, කිරි සහ බිත්තර කහමදය. ටිකක් බර කෝපි බීමක්.

එහෙම නැතිනම් සීනි නොදා තද කළුවට හදාගත්තු කෝපි එකට කුරුඳු කුඩු ඇබිංදක් එහෙම දාලා බොන්නත් පුලුවන්. හැබැයි ඒක සෙට් වෙන්නේ නියමම කෝපි ඩයල් එකකට තමයි. අනික් අයට පැණිරහ නැතුව කෝපි බොන්න බැහැනේ.

මීට අමතරවත් කෝපි වලින් කරගන්න වැඩ තව තියෙනවා.

- aniwa .lk


gossip lanka