දැන් ඔය බඩු විකුණන අයියලා අක්කලා ඉන්නවා නේද? ඒ අය අපිට පට්ට ආදරෙයි. බඩු විකුණන අය කිව්වහම පේමන්ට් එකේ ඕන කෑල්ලක් රුපියල් සීයයි කියලා විකුණන අයියගේ ඉඳන්, කඩවල බඩු විකුණන අයගේ ඉඳන්, ෆුඩ් සිටියෙන් බඩු අරගෙන එනකොට එක්ස්කියුස් මී කියලා ඉස්සරහට එන සූටි අක්කලා දක්වා සෑහෙන පිරිසක් ඇතුළත් වෙනවා. ඉතින් මේ කට්ටිය බඩු විකුණුවේ නැත්තං අපි බඩු ගන්නේ කොහෙන්ද? ඒ නිසා ඒ මිනිස්සුන්ව එහෙම
පාතට දාලා කතා කරන එක හරි නෑ. හැබැයි අපිට ඕන තරම් හම්බුවෙනවා විකිණෙන්නේ නැති බඩු එහෙම ඔය එක එක ට්‍රික්ස් දාලා අපේ ඇඟේ ගහන හාදයෝ/හාදියෝ එහෙම. ආන්න ඒ නිසා ඔය කතන්දර ටික දැනගෙන හිටියහම අපිට දෙයියනේ කියලා ඕන නැති බඩුවක් අතේ තියෙන සල්ලි ටික වියදං කරලා ගන්නෙ නැතුව හරි ඉන්න පුලුවන්නේ.
1. ඉස්සර මහාතයි… දැන් කෙට්‍ටුයි… ඔයත් අදම බොන්න
දැන් ඕනම ඇඟ අඩුවෙන සප්ලිමන්ට් එකක්, එක්සයිස් මැෂින් එකක්, මූණ සුදු කරන ක්‍රීම් එකක්, ෂැම්පු එකක් වගේ බඩුවක් විකුණගන්න තියෙන එක ක්‍රමයක් තමයි ෆොටෝ දෙකක් එක ලඟ දාන එක, ඉස්සර අරෙහෙමයි දැන් මෙහෙමයි කියලා. ඉස්සර ඩබල් ප්ලස් සයිස් අක්කෙක් දැන් සනී ලියෝන් ගාණට ඇවිත් ඉන්නවා දැක්ක හැටියේ අපේ අක්කලත් දුවනවා ඒ සප්ලිමන්ට් එක ගන්න. හැබැයි ඊලඟ දවසේ එහෙම ඇඩ් එකක් දැක්කහම මෙන්න මේ දේ කරල බලන්න. දැන් තිරය දෙකට බෙදලනේ ඔය ෆොටෝ දෙක දාන්නේ. ඒකේ පස්සේ මෙහෙමයි කෑල්ල අතින් වහගෙන ඉස්සර මෙහෙමයි කෑල්ල විතරක් බලන්න. දැන් ඉස්සර මෙහෙමයි කෑල්ල අතින් වහගෙන පස්සේ මෙහෙමයි කෑල්ල විතරක් බලන්න. තේරුණාද හිතාගන්න බැරි තරම් ලොකු වෙනසක් වෙලා නෑ කියලා. ඇත්තටම වෙන්නේ ඒ ෆොටෝ දෙකම එක ලඟ තියෙනකොට අපිට ලොකු වෙනසක් පේන එක. ඉස්සර සුදයි දැන් සුදයි, ඉස්සර කොණ්ඩෙයි දැන් කොණ්ඩෙයි වගේ පෙන්නන ඕනම සීන් එකකට ඕක පොදුයි.
2. සේල් සේල්, සීයෙට පණහක් දක්වා මහා සේල්!
දැන් ඔහොම ඇඩ් එකක් හරි බෝඩ් එකක් හරි දැක්කහම කවුද නිකමට බලන්න කියලා හරි නොයන්නේ? මොකද බඩුවකින් සියේට පණහක් අඩු කරලා දෙනවා කියන එක සෑහෙන්න ලොකු දෙයක් විදියට අපිට පේනවා. හරි, ඒක ලොකු දෙයක් තමයි. හැබැයි පොඩි කොස්සක් තියෙනවා. එක්කෝ ඔය සියේට පණහට දෙන්නේ අනිවා විකුණගන්න බැරුව තියෙන තොගයක්. එතකොට ඇයි ඕක විකුණගන්න බැරි? එක්කෝ මොකක් හරි ඇදක් පළුද්දක් තියෙනවා. එහෙම නැත්තං කාටවත් වැඩක් නැති බඩුවක්. ඔය ඕන එකක් වෙන්න පුලුවන්. ආන්න එතකොට අපි කල්පනා කරන්න ඕනේ නියම ගාණෙන් බාගෙකට දුන්නට මේක අපිට වැඩක් තියෙනවද කියලා. හැබැයි ඉතින් අපිට වැඩක් තියෙන දෙයක් නං පොඩි ඇදපලුද්දක් තිබ්බත් ගත්තට කමක් නෑ. ඔය පොත් කඩවල සේල් වලින් පළුදු වෙච්ච මැණික් වගේ පොත් සීයෙට පණහේ ගාණට හම්බුවෙන්නේ. ඒ වගේ.
හැබැයි මෙතන තව සීන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ සීයෙට පණහට දෙන බඩුවේ ඇත්ත ගාණට තව සියේට තිහක් හතළිහක් එකතු කරලා, ඒකෙන් සීයෙට පණහක් දෙනව වෙන්නත් පුලුවන්. අනික සීයෙට පණහ දක්වා වට්ටම් කියලා ගහල තිබ්බට ඇතුළට ගිහිල්ලා බලනකොට ඒ ඩිස්කවුන්ට් එක දෙන්නේ කඩේ අයියගේ හම්පඩ සෙරෙප්පු දෙකට විතරක් වෙන්න පුලුවන්. ඇයි හරිනේ. සීයෙට පණහ දක්වා කිව්වහම එකක් ඇරෙන්න අනික් ඒවා සීයෙට දහයට දෙන්නත් පුලුවන් නේ.
3. වන් ටු වන් ෆ්‍රී!
එකක් ගත්තහම එව්වගෙන්ම තව එකක් ෆ්‍රී දෙනවා කියන එකත් ආයෙ ඕන ඩයල් එකක් පැනලා ගිහින් බඩු ගන්න පොළඹවන පොයින්ට් එකක්නේ. දැන් ඔය පීසා කඩවල එහෙම ඉඳලා හිටලා ඔය වගේ ඔෆර්ස් දෙනවා, තමන්ගේ විරුද්ධවාදී පීසා කඩවලට කොකා පෙන්නලා සේල්ස් වැඩි කරගන්න. හැබැයි මෙහෙමත් සීන් තියෙනවා. එක පාරක් අපේ යාලුවෙක් ෆුඩ් සිටියේ ඇවිද ඇවිද ඉන්නකොට අර ටොබ්ලරෝන් චොකලට් වල තියෙනවා එකක් ගත්තොත් එකක් ෆ්‍රී ප්‍රොමෝෂන් එකක්. අපේ කොල්ලත් ඇරියෙ නෑ, ගත්තා දෙකක්ම රුපියල් අටසිය ගාණක් දීලා. දැන් චොකලට් හතරයි. හැබැයි මනුස්සයා ගෙදර ඇවිත් නිකමට බලනකොට, කල් ඉකුත් වීමේ දිනයට තියෙන්නේ තව සතියයි! ආන්න ඒක තමයි එකකට එකක් නොමිලේ දෙන එකේ රහස. හරි අවුලක් නෑ, එහෙම සතියක් තිබ්බා කියලා චොකලට් නරක් වෙන්නෙ නෑ තමා. හැබැයි ඉතින් වෙළෙඳ මහත්තයාගේ අරමුණ තමයි කල් ඉකුත් වෙන්න තියෙන ස්ටොක් එකක් ඇඟේ ගහන එක.
4. මෙයින් තුනක් ගත්තොත් අරකෙන් එකක් ෆ්‍රී
ඔය බයි වන් ගෙට් වන් ෆ්‍රී කියන්නේ, ඒ කිව්වේ හතරක් ගත්තොත් එකක් නොමිලේ කියන එකත්, ඒ වගේම අරකෙන් තුනක් ගත්තොත් මේකෙන් එකක් නොමිලේ කියන එකත් පාවිච්චි වෙන්නේ තමන්ට විකුණගන්න ඕන ප්‍රඩක්ට් එකක් පුෂ් කරන්න හරි, යන්නෙ නැති ප්‍රඩක්ට් එකක් යවාගන්න හරි තමයි. මේක අවුලක් නෑ මෙහෙම. සීනි කිලෝ තුනක් ගත්තොත් එකක් නොමිලේ නං හිතේ කහටක් නැතුව ගත්තෑකි. මොකද සීනි කිලෝ හතරක් ගෙදර ගෙනාවට අපතේ යන්නෙ නෑනේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඔය විදියට දෙන ගොඩක් බඩු එක්කෝ අපිට හතරක් අනවශ්‍යයි. එහෙම නැත්තං තුනක් ගත්තහම දෙන හතරවෙනි බඩුව අපිට වැඩක් ඇත්තෙම නෑ. හැබැයි අපි ඔය වගේ ඔෆර්ස් වලට පට ගාලා වැටෙනවා. පැනලා ගිහින් වැඩක් නැතත් තුනක්ම ගන්නවා. කොහොම වුනත් කවදාවත් සීනි වලට එහෙම ඔය විදියේ ඩිස්කවුන්ට් දෙනවා දැකලා තියෙනවද? ආන්න ඒක තමයි රහස.
5. අද විතරයි, මෙව්වා හෙට නෑ!
දැන් ඔය ඩේලි ඩීල් සයිට් වල එහෙම බඩු ඩිස්කවුන්ට් පිට විකුණන්නේ නියමිත කාලයක් ඇතුළේ විතරයිනේ. අපි කියමු මාසයක් කියලා. දැන් අපිට කවුන්ට් ඩවුන් එකකුත් පෙන්නනවා ඒ බඩුව ඉවර වෙන්න තියෙන්නේ මෙච්චර කාලයක් කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ඔය ගොඩක් ඩේලි ඩීල් සයිට් වල දවස් තිහ ගියාට පස්සේ ඒ බඩුවම ආයෙමත් දවස් තිහකට ඇඩ්වටයිස් කරනවා. එතකොට අවුරුද්දක් විකුණන්නත් බඩු තියේ නං, මොන මගුලකටද මාසයයි මේක ඩිස්කවුන්ට් පිට තියෙන්නේ කියලා කියන්නේ? ආන්න එතන තමයි රහස. ඩිස්කවුන්ට් එක දෙන්නේ සීමිත කාලයකට කිව්ව ගමන් අපිට ඒක ගන්න කොහේවත් නොතිබුණු වුවමනාවක් එනවා. සමහර විට ඒක දැන්ම ඕන නොවෙන බඩුවක් වෙන්න පුලුවන්. ඒත් බයයිනේ ඉවර වුනොත් ආයි හොයාගන්න බැරි වෙයි කියලා. ඒ නිසා පැනලා ගිහින් ගන්නවා.
6. ඕන කෑල්ලක් සුපියල් සීයයි!
මෙන්න මේක දැන් කාලේ සෑහෙන්න ජනප්‍රිය ට්‍රික් එකක්. ඒ කියන්නේ එක්කෝ කොටුවේ රෙදි විකුණනවා, ඕන කෑල්ලක් සීයයි කියලා. එහෙම නැත්තං දැන් සමහර කඩවල් තියෙනවා, ඒ කඩේ ඕනම හට්ටියක් මුට්ටියක් රුපියල් පන්සීයයි. එතකොට දැන් එළවළු කඩවලුත් තියෙනවා ඕනම එළෝලුවක් කිලෝ එක රුපියල් හැටයි. මේක ගජ වාසියක් නෙවෙයිද? වාසියි බඩුවල ගණන් ටක්කෙට දන්න ඩයල් එකකට. ඇයි එතකොට ගණන් සාපේක්ෂව වැඩි බඩු විතරක් බැලන්ස් කරලා ගන්න පුලුවන්. එතකොට ඩිස්කවුන්ට් ලැබුනා වගේ තමයි. හැබැයි මේ කඩවල තියෙන ඇත්තම සීන් එක මේකයි. ඔතන ගාණ ටිකක් වැඩි බඩු රුපියල් පන්සීයට දෙනව වගේම ගාණ පන්සීයට අඩු බඩු සෑහෙන්න තියෙනවා. ඇත්තටම වැඩියෙන් තියෙන්නේ පන්සීයට දුන්නට පාඩුවක් නැති, ඒ කිට්‍ටු ගාණක හරි ඊට අඩු ගාණක හරි බඩු තමයි. ඉතින් එහෙම බඩුත් පන්සීයට දෙන්න පුලුවන් වීම මුදලාලිට ලොකු වාසියක්. අර උඩින් කිව්ව එළවළු කඩේක වුනත් සීන් එක ඒකයි.
7. තව පහයි ඉතුරු වෙලා තියෙන්නේ, කවුද මේ පහ ගන්න වාසනාවන්තයා?
දැන් ඔය බස් එකට නගිනවනේ අනං මනං පොඩි පොඩි පොත් කෑලි, මාල, සුකුරුත්තං එහෙම අරගෙන වෙළෙඳ මහත්තුරු. මේ අය අනිවා කියන කතාවක් තමයි තව පහයි ඉතුරු, වාසනාවන්ත පස් දෙනෙක්ට විතරයි හම්බුවෙන්නේ වගේ සීන්. ගොඩක් වෙලාවට ඔහොම කියනකොට බස් එකේ ඉන්න කවුරුහරි එක පොතක්වත් ගන්නවාමයි. සමහර වෙලාවට ඒ මනුස්සයට ඒ පොතෙන් එහෙමට ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්. හැබැයි තව පහයිනේ ඉතුරු කියනකොට අපේ ඔළුවට පොඩි මෙව්වා එකක් එනවා, ඉවර වෙන්න කලින් ගන්න ඕනය, ඉවර වුනාට පස්සේ කොහෙන් ගන්නද කියලා. හැබැයි ලොකු ලොකු සමාගම් වලත් ඕක වෙන විදියකට කරනවා. ඔය ටීවී එකේ එහෙම ඇඩ් යන්නේ රුපියල් සීයේ අහවල් ප්‍රඩක්ට් එක රුපියල් අනූනමයට දෙනවා, තොග සීමිතයි, මෙම වට්ටම තොග අවසන් වන තුරු පමණි කියලා. දැන් ඕක දැක්කම අපිට හිතෙනවා අනිවා තොගේ ඉවර වෙන්න කලින් අපිත් ගිහින් ගන්න ඕන කියලා. ගන්න එකේ අවුලක් නෑ. හැබැයි ඔය ප්‍රඩක්ට් එක අපිට ඇත්තටම ලොකු අවශ්‍යතාවයක් නැති එකක් නං එතන වෙලා තියෙන්නේ වැඩක් නැති බඩුවක් අපේ ඇඟේ ගහන එක තමයි.
- aniwa.lk
විකිණෙන්නේ නැති බඩු විකුණගන්න අනිවා හරියන ට්‍රික් 7 ක් මෙන්න
2018-06-26T02:52:00-07:00
Gossip Lanka Hot News
slide|