අනවශ්‍ය විදිහට වියහියදම් කරන එක පාලනය කරගන්නේ මෙහෙමයි

වැඩ ඇරිලා එහෙම ගෙදර යනකොට හිතෙන හිතෙන දේවල් එහෙම ගන්න හිතෙනවද? එහෙම නැත්තම් මාස මේ මාසේ අන්තිම සතිය වුනත් සුද්දා වගේ සල්ලි වියදම් කරන එක නැවතිලා නැද්ද? එහෙම කලා වගේ නෙවෙයි කරලා ආපහු හැරිලා බලනකොට පර්ස් එකේ බර්මියුඩා ත්‍රිකොනේ තියෙනවද කියලා හිතෙන්න පුළුවන් ඉඩ ඕනේ තරම් තියෙනවා.

මොකද අපි අනවශ්‍ය හැම දේටම සල්ලි වියදම් කලාට උවමනා වෙලාවට සල්ලි අතේ නැති නිසා.
ඉතින් මේ වගේ අපි හැමෝටම එක එක ප්‍රමාණයෙන් තියන මේ අනවශ්‍ය දේවල් වලට අනවශ්‍ය විදිහට වියදම් වෙන ජිවන රටාවට පොඩි පහේ සොලුෂන් ටිකක් කියන්න තමයි මේ හදන්නේ.

1. විනෝදාංශ ගැන හොයන්න

“All work and no play makes Jack a dull boy” කියල ඉංග්‍රීසියෙත් එන කියමනක් තියනවනෙ. ඒ නිසා අපේ ජීවිතේට විනෝදවීමේ මාර්ග අත්‍යවශ්‍යයයි. හැබැයි විනෝදවීම එක්කම මේ වගේ දෙයකුත් කරන්න උත්සාහ කරන්න. කලින් මාසෙ විය හියදම් ටිකක් ලියාගෙන. බිල්පත් ටික එකතු කරගෙන ටිකක් මේ වියදම් කොටස් කරගන්න බලන්න. වැඩිපුර වියදම් වෙලා තියෙන්නෙ කඩචෝරු කන්නද? ඇඳුම් ආයිත්තම් ගන්නද? නැත්නම් යාලුවො එක්ක සෙට් වෙන්නද වගේ. ඊට පස්සෙ තීරණය කරන්න මේ කරපු වියදම් වලින් ඔයාගෙ ඒ මොහොතට හෝ අද දවසට සරිලන සතුටක්, වටිනාකමක් ආවද කියල. එහෙම නැතුව නිස්කාරණේ මුදල් වියදම් උනාය කියල හිතෙන වියදම් ගැන මේ මාසෙ ඉඳන් වෙනදට වැඩි අවධානයක් යොමු කරන්න.

2. එහා ගෙදර ට්‍රික්සි නිසා ඔයත් ගන්න එපා

එහා ගෙදර නේබර් ගත්ත නිසා ඔයත් ගන්න ඕනෙමයි කියලා නියමයක් එහෙම නැහැ. එයා ගන්න ඇත්තේ මොකක් හරි උවමනාවක් නිසා වෙන්න පුළුවන්. ඔයා දන්න අඳුරන හැමෝම ගාව තියන භාණ්ඩයක් උනත්, ඔයාට ඒ දේ අවශ්‍ය නැත්නම් ඒ දෙය ගන්න හිතන්න එපා. ඔයාටත් එහෙම දෙයක් ගන්න සැබෑ අවශ්‍යතාවයක් තියෙනවා නම් හදිස්සි වෙන්නේ නැතුව, වෙළඳ පොලේ මිල එහෙම හොඳට හොයලා බලලා, මිල අඩු තැනකින් ගන්නයි තියෙන්නේ. කේස් ක්ලෝස්.

3. ඇහැට ඉවසීම පුරුදු කරවන්න

නිකමට හිතන්නකෝ ඔයා බඩු මොනවා හරි ගන්න සුපර් මාකට් එකට ගියා කියලා. එහෙම ගියාම තමන්ට උවමනාවක් නැතත් උවමනාවක් ඇති වෙන විදියටනේ එකේ බඩු එහෙම තියලා තියෙන්නේ. ඒ වුනාට එයාල අපිට ගන්න හිතෙන විදියට බඩු ඇරෙන්ජ් කරලා තිබ්බට අපිට ගන්න කොහේ තියෙන සල්ලිද?

ඉතින් මෙහෙම වුනාම කරන්න තියෙන්නේ නිකමට වගේ දවසක් විතර ඒ දේ ගන්න එක පොඩ්ඩක් පස්සට දාලා ඇත්තටම තමන්ට මේ දේ ගන්න එක ඇත්තටම මේ වෙලේ අවශ්‍යද කියලා කල්පනා කරලා බලන එක. මොකද ගොඩක් වෙලාවට අපි මිලදී ගන්නේ අපිට අත්‍යාවශ්‍යම නැති දේවල් නිසා. ඒ නිසා ඒ වෙලේ ආශාවට ගන්න ගිය අනවශ්‍ය දෙයක් නම් දවසක් විතර යද්දි මේ ආශාව ඇරිල යයි.

4. පොඩි දේ ගන්නත් සුපර් මාකට් සරණං ගච්චාමි ද?

මේක නම් හරිම කරදර වැඩක් සහ සල්ලි ගොඩක් වියදම් වෙන වැඩක්. ඒ කියන්නේ අපි අපිට ගන්න පුළුවන් හැම දේ ගන්නම සුපර් මාකට් අස්සේ රිංගන එක එච්චර හොඳ නැහැ. පොඩි දෙයක් ගන්න ගිහින් අනවශ්‍ය දේවල් වලට ඇහැ යොමු වෙලා තව ලොකු අමතර වියදමක් කරගෙනයි එන්න වෙන්නෙ.

මේ නිසා ෂැම්පු පැකට් එකක් ගන්න, සබන් කෑල්ලක් වගේ පොඩි දෙයක් ගන්නත් සුපර් මාකට් අස්සේ යන එක දැන් නතර කරන්න දැන්නම් කාලේ හරි නේද? ඒ වෙනුවට අහල පහල පොඩි කඩේකින් මේ දේවල් ගන්න. වියදමේ දැනෙන වෙනසක් වේවි.

 5. ඇඩ් පස්සෙන් දුවන්නේපා.

අපි සෝෂල් මිඩියා අස්සේ ඉන්නකොට එක එක ඇඩ් කෑලි අපේ ඇහැට පේනවානේ.මේවා දකිනකොට නිකම්ම උවමනාවල් විදියට එලියට ඇවිත්  අපේ සාක්කුවේ තියෙන සල්ලි ටික එතෙන්ට පුදලා එනවා. ඉතින් ඔයාගේ හිතේ ඇත්තටම සල්ලි ඉතුරු කරන්න අදහසක් තියෙනවා නම් එහෙම ෂුවර් එකටම මේ දේවල් ගැන හිතන්නවත් එපා. උදාහරණයක් හැටියට, ඔයාට කෑමට අසීමිත විදිහෙ වියදම් කිරීමේ ප්‍රශ්නයක් තියනවානම්, රටේ ලෝකෙ තියන හැම රෙස්ටූරන්ට් එකේම, ෆාස්ට් ෆුඩ් අවන්හලේම පේජ් ෆලෝ කරන්න යන්න එපා. අවශ්‍යතාවයක් ඇති උන වෙලාවට ඒ පිටු විමසල බලන්න. නැතිනම් බොහෝවිට අනවශ්‍ය වියදමකට පාර කැපීමක් වෙන්න පුලුවන්.

6. ණයපත ගෙදර දාලා යන්න

තමන්ගේ අතේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනකොට තමන්ගේ හිත නිතරම වියදමට බර වෙනවා. ඒ හැටි. ඒ නිසා තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක ගෙදර දමා ගියාම වියදම් කරන්න උවමනා වුනත් ක්‍රෙඩිට් කාඩ් එක නැති නිසා වියදම් කරන්න විදියක් නැහැ. හැබැයි ඉතින් අත්‍යවශ්‍ය මොහොතකදි ක්‍රෙඩිට් කාඩ් එක ළග තියාගන්න එපා කියල අපි කියන්නෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට පාචිච්චි කරන හැටි ගැන අපේ ආටිකල් එක කියවන්නකො. ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

7. ගෙදරින් කෑම

ඔෆිස් එකේ ඉන්න කොට යාළුවො එක්කලා එලියට ගිහින් කෑම කන්න වෙන අවස්ථා වැඩියි නේද? එහෙම අවස්ථා වල ඔයාගේ අතේ තියෙන මුදල් වියදම් වෙන්න තියන අවස්ථාව බොහොම ඉහලයි. මේ නිසා ඔයා ගෙදරින්ම උදේ දවල් කෑම සකසාගෙන යන්න පුළුවන් නම් මුදල් අනවශ්‍ය විදියට වියදම් වීම විතරක් නොවෙයි, සෞඛ්‍යටත් ගුණ දායක වේවි.

8. ටැක්සියෙන්ද? පයින්ද?

ඔයා නිතරම එහෙමෙහෙ යන්න ටැක්සි හෝ ත්‍රීවිල් භාවිතා කරනවා නම්, ඒ වාහනේ ගමන් කරන දුර ඔයාට ලේසියෙන්ම පයින් යන්නට පුලුවන්නම් පොඩ්ඩක් ඒ වැඩෙත් ට්‍රයි කරලා බලන්න. සාක්කුවට වගේම තමාගේ හදවතටත් බොහොම ගුණ දායකක් වේවි ඒ ක්‍රියාව.

- aniwa.lk
gossip lanka