බිසී නිසා ලයිෆ් එක බැලන්ස් නැද්ද? මෙන්න එහෙනම් බැලන්ස් එක හදාගන්න උපදෙස් 9ක්

රැකියා ජීවිතෙයි පෞද්ගලික ජීවිතෙයි අතරේ සමබරතාවයක් පවත්වාගැනීමේ වැදගත්කම කියන එක හැමදෙනෙක්ම හිතට ගන්න උවමනා වෙන්නෙ ඒක කාර්යබහුලත්වයත් එක්ක අමතක වෙලා යන්න ඉඩ තියෙන නිසා. මේ බැලන්ස් එක බිඳවැටුනම මානසික ප්‍රශ්න,සෞඛ්‍ය  ප්‍රශ්න, පවුල් ප්‍රශ්න වගේම රැකියා කටයුතුවලදි අකාර්යක්ශම වීමත් සිද්ධ වෙනවා. ඒ හින්දා රස්සාවම නෙමෙයි ජීවිතේ. ඔෆිස් එක ගෙදර කරගන්නෙ නැතුව ඉන්න මේ කතා ටිකත්
කියවලාම ගියොත් හොඳයි.

1. අපෙ හිතේ තියෙන සන්තෝෂය කාටද ඕනෙ

කොහොම වුනත් රස්සාව ඇතුළෙත් පොඩි ජොලියක් තියාගන්න. කෙල්ලෙකුට විහිළුවක් කරන්න, කොල්ලෙකුට මඩ පෝස්ටරයක් ගහන්න, වැඩේම ඔලුව ඔබාගෙන ඉන්නෙ නැතුවඔලුව වෙහෙසන්න ඕන නැති වැඩකදි සින්දුවක් අහන්න. පුංචි ගේම් එකක් කරන්න. ස්මාට්ෆෝන්වල‍ට ඕනතරං පස්ල් ගේම්ස් තියෙනවනෙ. පස්ල් ගේම් එකක් ගහන එක ඔෆිස් වැඩටත් හොඳයි. ස්මාට්ෆෝන් එකක් නැත්තං ඔෆිස් කම්පියුටර් එකෙන් ගූග්ල් එකේ ගේම් එකක් ගහන්න.

2. බී සෝෂල් ප්ලීස්!

සෝෂල් වෙන එක හුඟක් හොඳ දෙයක්. ඒක රස්සාවත් ජීවිතෙත් වෙන්කරවලා හොඳ පිවිතුරු මනසක් තියාගන්න කියාපු වැඩක්. ඒත් ඒකට සෝෂල් මීඩියා වෙබ් පාවිච්චි කරන්න එපා. ඒවා ඇබ්බැහි වෙන සුළුයි. ඒ වගේම ඒවායේ සබඳතා එතරම් මානුෂීයත් නැහැ. අනික ඒ වෙත ඇබ්බැහි වීම ඔබේ සාමාන්‍ය ජීවිතයට වගේම කාර්යාලීය ජීවිතයටත් බාධාවක් වෙනවා නිසැකයි.

3. ඔෆිස් ඊස් ද ප්ලේස්

වැඩ කරන්න හොඳ ඔෆිස් පරිසරයක්. තවත් කාර්යාලීය මිනිස්සු ඉන්න පරිසරයක්. ඒ වගේම ඒකට ඔබට පඩියක් ගෙවනවා. ඔ‍ෆිස් වැඩ ගෙදර උස්සගෙන එන එකෙන් වෙන්නෙ ඔබේ ජීවිතය ඔබට අහිමි වීමක්. ඔෆිස් එක ඇතුළෙ අයිස් නොගහා වැඩ කළා නම් වැඩ ගෙදර ගේන්න වෙන්නෙ නැහැ. ඔෆිස් එකේ දොරෙන් පිටවෙද්දි ඒ ප්‍රශ්න ඔෆිස් එකටම සීමා කරලා එන්න. එතන ඉඳන් ගෙදර දකින ආසාවෙන්ම එන්න.

4. නිවාඩු!

නිවාඩු තියෙන්නෙ ප්‍රයෝජනයට ගන්න. තමුන්ගෙ අත්‍යවශ්‍ය වැඩකට ගන්න නැති නිවාඩුවකින් වැඩක් නැහැ. ඒ වගේම ඒ දවසට තමුන්ගෙ වැඩ කටයුතු සිදු වෙන අයුරු ගැනත් හිතන්න. මොකද ඔබට ජීවත් වෙන්නට පඩියක් ගෙවන්නෙ ඔබ ඒ වගකීම දරණ නිසායි. ඒ නිසා ඔබේ පැත්තෙන් සිදු වි යුතු දේත් ඉටු වෙලාද කියලා හරියට බලන්න. ලොක්කො නිවාඩු දෙන්නෙ නෑ කියලා කියන එක බොරු කතාවක්. ඔබට හිමි නිවාඩු ගන්න බාධාවක් වෙන්න බැහැ.

5. කෙටි විවේකයන්!

කාර්යාලයේදි කෙටි විවේකයන් උපරිමයෙන් විඳින්න. තේ වෙලාවල්වල තේ බීපු ගමන් මේසෙට දුවන්නෙ නැතුව යාළුවො එක්ක විහිළුවක් තහළුවක් කරලා ඉන්න. ඒ වෙනුවෙන් පැය කාලක්වත් ගත කරන්න. එය ඔබේ මනස නිරවුල් කරනවා වගේම ආයෙත් හිත සතුටෙන් වැඩ කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරනවා. දිවා ආහාරයට මිනිත්තු හතලිස් පහක්වත් ගන්න. යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එළියට ගිහින් යෝගට් එකක් කන්න. ඒක අතුරුපසකට එහා ගිය කාර්යාලීය ආතතියෙන් මුදවන වෙලාවක් වේවි.

6. බැම්ම කඩන්න!

හැමදාමත් ගෙදරින් ඔෆිස් එකට, ඔෆිස් එකෙන් ගෙදරට. දවස් දෙකක් ගෙදර. ආයෙ ඔෆිස් එකට කියලා තියෙන බැම්ම කඩන්න. එක සති අන්තෙක ට්‍රැවල් කරන්න. අනිත් සති අන්තෙ මුහුදු වෙරළකට ගෙදර කට්ටියත් එක්ක යන්න. ටීවී, සමාජ ජාල වෙබ් වගේ දේවල් අඩු කරලා භෞතිකව සතුටු වෙන්න.

7. සබඳතා!

සබඳතා වැඩි කරගන්න. අම්මා සහ තාත්තා එක්ක ගෙදරට එද්දි මූනිච්ඡාවට දාන හිනාවට වඩා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න.ප්‍රශ්න කතා කරන්න. උපදෙසක් ගන්න. හැමදාම පැය ගණං ෆෝන් එකෙන් කතා කරන පෙම්වතිය එක්ක පැය තුන හතරක් නිදහසේ ජීවත් වෙන්න. එය ඉලෙක්ට්‍රොනික් වෙච්ච කටහඬකට වඩා කොච්චර හිතට සතුටක් ගේනවද බලන්න., සුරතලෙක් විදියට බල්ලෙක් ඇතිකරන්න. ඉක්මනට ගෙදර යන්න ඒක හේතුවක් කරගන්න. තිරිසනෙක් තමුන්ට ආදරය කරන බව දැනෙන මොහොත හිතට දනවන සතුට අත්විඳින්න. මිතුරු කල්ලි කිහිපයක් තියාගන්න. ඔෆිස් යාළුවො, ඉස්කෝලෙ යාළුවො, ගෙවල් පැත්තෙ යාළුවො, කැම්පස් යාළුවො වගේ සෙට් හදාගන්න. කවදාවත් පාළුවක් නැතිවෙයි. ෆේස්බුක් එකෙන් සෙට් වෙච්ච යාළුවොන්ව ඇත්ත ජීවිතේදි හම්බෙලා යාළුකං තර කරගන්න.

8. නිකං ඉඳිද්දි

වැඩ ඉවර කරලා නිකං ඉන්නව දැක්ක ගමන් හැම එකාම එන්නෙ මොකක්හරි වැඩක් ඇ‍ඟේ පටලවන්න. ඒ හින්දා හැමදේටම හා කියල කොයිවෙලෙත් අනුන්ගෙ වැඩත් බාර අරගෙන කරන්න නොයන එක හිතේ තියාගන්න. තමන්ට අදාල නැති, තමන්ගේ පෞද්ගලික නිදහසට බාධා වෙන අනවශ්‍ය රාජකාරි වලට කෙලින්ම බෑ කියන්න පුරුදු වෙන එකත් හොඳයි. නැත්තං පස්සෙ ඒවා තමුන්ගෙම රාජකාරි වෙලා වාතයක් වෙන්න ගන්නවා.

9. ඩෝන්ට් මිස්

රස්සාව නිසා ව්‍යායාම, යහපත් ආහාරපාන සහ නින්ද කියන තුන මිස්කර නොගන්න එක වැදගත් දෙයක්. මේ දේවල් මානසික සහ ශාරීරික සෞඛ්‍යයටත් බලපාන නිසා මේ දේවල් අඩු උනොත් ලයිෆ් එක බැලන්ස් නෑ කියල හිතෙන්නටත් ඉඩ තියෙනවා. ඒකෙන් වක්‍රාකාරව ස්ට්‍රෙස් වැඩිවෙනවා. ඒ නිසා ඒක කාර්යාල සහ ගෙදර ජීවිතේට අයහපත් විදිහට බලපාන්නත් පුලුවන්.

- aniwa.lk


gossip lanka