සමහර වෙලාවට අපිට මුණගැහෙනවා පොඩ්ඩක් බැරිවුණු ගමන් අඬන ගෑණු ළමයි. සමහර පිරිමි ළමයි වුනත් ඉන්නවා අඬන්නෙ නැති වුනාට පොඩ්ඩක් වචනයක් එහෙ මෙහේ වුනත් හිත රිද්දගන්නවා. ඔව් මේ අය හරි සෙන්සිටිව් මිනිස්සු. හැබැයි අපි ආදර සම්බන්ධෙකට මේ වගේ කෙනෙක් එක්ක ගියහම හිතලා බලන්න ඕන කරුණු කාරණා තියෙනවා. මොකද ලව් කරනවා කියන්නේ නිකම් බිත්තර කටු උඩ ඇවිදිනවා වගේ වැඩක් නෙවෙයිනේ. ඒ නිසා. හැබැයි මෙහෙමයි, සංවේදී හිතක් තියෙන මනුස්සයෙක් එක්ක ආදර සම්බන්ධෙක ඉන්නවා
කියන එකේ බොහොම ලස්සනකුත් තියෙනවා. ඒ වගේ කෙනෙක්ට කොහොමත් අනික් අයගේ සිතුම් පැතුම් තේරෙන නිසා ඒ අය අපේ හිත් රිද්දන්න හදන්නෙ නැති තරම්. ඒ වගේම පැලෙන්න ලස්සනට ආදරේ කරන්නත් සංවේදී හිත් තියෙන අයට පුලුවන්. ඒ නිසා මේ කියලා දෙන්න යන්නේ සංවේදී හිතක් තියෙන ආදරවන්තයෙක් එක්ක, ආදරවන්තියක් එක්ක කොහොමද තමන්ට තමන් විදියට ජීවත් වෙන්න, ආදරේ කරන්න පාර හදාගන්නේ කියන එක තමයි.
1. තේරුම් ගන්න එක වටිනවා
මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි සෙන්සිටිව් මනුස්සයෙක් කියන්නේ අපි කලිනුත් කියලා තියෙන විදියේ ඩ්‍රාමා ක්වීන්ලා නෙවෙයි කියන එක. ඒ කියන්නේ සෙන්සිටිව් මනුස්සයෙක් පොඩ්ඩ ඇත්නම් හිත රිද්දගන්නේ තේරුමක් නැති දේවලට නෙවෙයි. අපේ අවධානය ගන්නත් නෙවෙයි. ඒ දේවලට ඇත්තටම රිදෙන නිසා. හැබැයි එච්චර සංවේදී නැති මනුස්සයෙක් ඒ වගේ කාරණයක් ගණන් ගන්නෙ නැතුව ඉන්න පුලුවන්. ඉතින් මෙන්න මේ කාරණාව මුලින්ම තේරුම් ගන්න එක වටිනවා.
ඒ වගේම තමයි සෙන්සිටිව් මනුස්සයෙක් එක්ක ආදරේ කරන තමන්ගේ විදියත් තේරුම් ගන්න එක අනිවා වෙන්න ඕන දෙයක්. උදාහරණයක් විදියට අපි කියමු ඔය කැපෙන වචන වලින් දමලා ගහන එක අපි යාලුෆිට් එකටත් කරන වැඩක් කියලා. හැබැයි ආදරේ හින්දයි කියලා එහෙම වචන පිහි විසිකරනවා වගේ දමලා ගහන එක සංවේදී කෙනෙක් එක්ක හරියන්නෙ නෑ. එතනදී අපි කොච්චර කිවුවත් වැඩක් නෑ ඒ මගේ හැටි කියලා. මොකද එයා අසංවේදී වෙනවට වඩා ලේසියි අපි ඒ නරක පුරුද්ද හදාගන්න එක. ආන්න ඒ නිසා සංවේදී කෙනෙක් එක්ක ආදරේ කරනව නං, අපේ අසංවේදී තැන් හදාගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒකට අපි එයා ගැනත්, අපි ගැනත් හොඳට තේරුම් ගන්න ඕන.
2. සංවේදී කමට ආදරේ කරන්න
අපි කලිනුත් කිව්වනේ සංවේදී මනුස්සයෙක් එක්ක ආදරේ කරන එක බොහොම සුන්දර අත්දැකීමක් වෙයි කියලා. ඒකට හේතුව මේකයි. සංවේදී මනුස්සයෙක් තමන්ට රිදෙන තැනක් ගැන වගේම අනුන්ට රිදෙන තැනක් ගැනත් බොහොම සංවේදී වෙනවා. රිදෙන තැන් ගැන විතරක් නෙවෙයි, සතුට උපදවන තැන් ගැනත් සංවේදී වෙනවා. මොකද කෙනෙක් සංවේදීයි කියන්නේ එයා තමන්ගේ හැඟීම් එක්ක බොහොම සමීප සම්බන්ධතාවයක් තියෙනවාය කියන එක. ඒ නිසා සංවේදී කෙනෙක්ගෙන් ලැබෙන ආදරේ හරිම ලයාන්විත බවක්, හිතට සනීපය ගෙන දෙන බවක් තියෙනවා. අන්න ඒකට ආදරේ නොකර ඉන්න බැහැ.
3. සෙන්සිටිව් නොවීම තේරුම් ගන්න ඕන
සෙන්සිටිව් මනුස්සයෙක් තමන්ගේ ජීවිතේ ඉන්නවා නම් ඔය කට කැඩිච්ච කතා, ඇණුම්පද කියන පුරුදු අපිට හදාගන්න වෙනවා. ඒවා හදාගන්න අපි ලෑස්ති නැතිනම් කරන්න තියෙන හොඳම දේ තමයි ඒ මනුස්සයගේ ජීවිතේ අපායක් නොකර අයින් වෙලා යන එක. හැබැයි එකක්, මේ සෙන්සිටිව් වීම සහ නොවීම කියන දෙකේ වෙනස පැහැදිලිවම අඳුනාගන්න පුලුවන් වෙන්න ඕන.
අපි කියමු මනුස්සයෙක් ඉන්නවා සොබාවයෙන්ම නිහඬයි. හැම වෙලේම අයි ලවු යූ කිය කියා ඉන්නෙ නෑ. හැබැයි එයා අයි ලවු යූ කියන වෙලාවට ඒක කියන්නේ බොක්කෙන්මයි. එයා තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය ගැන හොයාබලන්නෙත් මේ නිහඬ බවෙන්ම තමයි. දැන් ඕක අසංවේදීකම නෙවෙයි. මෙහෙම මනුස්සයෙක් අතින් ජීවිතේට සංවේදී මනුස්සයෙක්ගේ හිතක් රිදෙන්නේ නැති වෙයි. හැබැයි නිතරම ආදරෙයි ආදරෙයි කිය කියා ඉන්න මනුස්සයෙක් අතින් සිද්ධ වෙන නොසැළකිලිමත් එක දේකින් සෙන්සිටිව් මනුස්සයෙක්ගේ හිතක් සෑහෙන්න රිදෙන්න පුලුවන්. ඒ නිසා ඔය දෙකේ වෙනස තේරුම් ගන්න ඕන.
4. මෘදු කතාබහ
කොහොමත් අපේ හිත් වැඩිපුරම රිදෙන්නේ වචන නිසානේ. ආන්න ඒ නිසා තමයි සංවේදී මනුස්සයෙක් ආදරයක් එක්ක තමන්ගේ ජීවිතේ ඉන්නව නම් එයා එක්ක මුදුමොළොක් විදියට කතාබහ කරන්න ඉගෙන ගන්න ඕන කරන්නේ. ඒ කියන්නේ තමන්ට වෙන දෙයක් නිසා තරහ ගිය පළියට එයාගේ ඇඟට කඩා පනින එක, වැරැද්දක් දැකලා ඒක නොකියා හින්ට් ගහන එක වගේ දේවල් සෙන්සිටිව් මනුස්සයෙක් එක්ක කරන එක අන්තිම අප්සට්. ඒ නිසා අපි අපේ කතාබහ පොඩ්ඩක් හදාගන්න වෙනවා. විශේෂයෙන්ම අපි වැරැද්දක් වුනහම ඒක අපි අතින් වුනාය කියලා පිළිගන්නෙ නැතුව කටින් ගහලා දිනන්න උත්සාහ කරනවනේ. අන්න ඒ වගේ දේවල් එහෙමත් හදාගන්න ඕන. ඒත් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණයක් තියෙනවා. අපි අමුතුවෙන් මෘදු බවක් ආරෝපණය කරගෙන කතා කරන්න ඕන නෑ. ඒකෙන් වෙන්නේ මේ ආදර සම්බන්ධතාවය අපි බලෙන් පවත්වගෙන යන්න ඕන එකක් වගේ අසීරුකමක් අපිට දැනෙන එක. ඊට වඩා අර උඩින් කිවුව තේරුම් ගැනීමට ගියහම ඉබේම මෘදු මොළොක් විදියට කතාබහ කරන්න අපිට පුලුවන් වෙයි.
5. කෙලින් කතා
මෙන්න මේක සංවේදී මනුස්සයෙක් එක්ක ආදරේ කරනකොට, ජීවිතේ බෙදාගන්නකොට පිළිපදින්න ඕන අත්‍යාවශ්‍ය කාරණයක්. කෙලින් කතාබහ. අවංක කතාබහ. ඒ කියන්නේ මෙහෙමයි. සංවේදී මනුස්සයෙක් සංවේදී වුනා කියලා එයා දෙවි කෙනෙක් හරි දේවතාවියක් හරි වෙන්නෙ නෑනේ. ඒත් මිනිස්සු, වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුලුවන් මිනිස්සු. හැබැයි අපි ඔය වැරදි අඩුපාඩුකම් කෙලින් පෙන්නලා දෙන්නෙ නැතුව හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ අනිවා ඒ මනුස්සයාටත් ඒක අසහනයක් වෙනවා. අමතක කරන්න එපා, සංවේදී මනුස්සයෙක් තමන්ගේ හැඟීම් වලට වගේම තමන් ආදරේ කරන කෙනාගේ හැඟීම් වලටත් සංවේදීයි. ඒ නිසා එයාට ඕක ලේසියෙන්ම දැනෙන්න ගනීවි. ඒ නිසා හොඳම දේ තමයි හැමදේම අවංකව, නොවළහා කතාබහ කරන්න පුරුදු වෙන එක. එයාගේ වැරැද්දක් දැක්කොත් ආදරෙන් පෙන්නලා දෙන්න. තමන්ගේ වැරැද්දක් එයා පෙන්නුවොත් බොහොම නිහතමානීව ඒක පිළිගන්න. අන්න එහෙම කෙලින් ඩීල් කරන්න පුරුදු වෙනකොට එයාගේ හිත රිද්දන්නෙත් නැතුව, තමන්ගේ හිත රිද්දගන්නෙත් නැතුව ඉන්න පුලුවන් වෙයි.
6. පොඩි පොඩි අත්වැරදි
අපි කියමු අද හවස අපි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කෝල් එකක් දෙනවා කියලා කියනවා මුණගැහෙන්න එන්න. හැබැයි අපිට ඔෆිස් වැඩ නිසා කෝල් එක මතක් වෙන්නේ ගෙදර ගියාටත් පස්සේ. දැන් එයා සෙන්සිටිව් කෙනෙක් නං හිත රිද්දගෙනද ඉන්නේ? අනිවා! ඔයා කළේ නොසැලකිලිමත් වැඩක්. ඒ වගේ වැඩක් වෙන කෙනෙක් ගණන් නොගෙන ඉන්න පුලුවන්. ඒත් ඔයාගේ සංවේදී හිතක් තියෙන ආදරවන්තියට ඒක හරියට දැනෙනවා. දැන් මොකද්ද කරන්න ඕන? ඔයාට ඔෆිස් වැඩ තිබුණා කියලා, ඔයාගෙ ඔෆිස් වැඩ කවුරුවත් කරල දෙන්නෙ නෑය කියලා එයත් එක්ක තර්ක කරන එක, එයාට වැරැද්ද පටවන එක? නැහැ. ඒකෙන් වෙන්නේ එයාගෙ හිත තවතවත් රිදෙන එක. ඊට වඩා හොඳම දේ තමයි අවංකවම සිද්ධ වෙච්ච දේ කියලා කණගාටුව ප්‍රකාශ කරන එක. ඒක නිතර සිද්ධ වෙන්න පුලුවන් දෙයක් නම් ඒකට වෙන සිස්ටම් එකක් හදාගන්න එක. උදාහරණයක් විදියට ඔයාට කෝල් කරන්න අමතක වුනොත් හිත රිද්දගන්නෙ නැතුව ඔයාට කෝල් එකක් දීලා බලන්න කියලා එයාට කියන්න පුලුවන්. හැබැයි එතකොට මොන වැඩේ තිබුණත් එයාගෙ කෝල් එකට කඩාපනින්නේ නැතුව ආන්සර් කරන එක ඔයාගෙ වැඩක්. අන්න ඒ වගේ පොඩි පොඩි අත්වැරදීම් වළක්වා ගන්න සිස්ටම් හදාගන්න එක විශේෂයෙන්ම සංවේදී ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් හරි එක්ක ඉන්නවා නම් ගොඩක් වටිනවා.
7. ඇහුම්කන් දෙන්න
මේක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඕනම ආදර සම්බන්ධතාවෙකදී මේ ඇහුම්කන් දීම කියන එක තියෙන්න ඕන. හැබැයි සංවේදී මනුස්සයෝ එක්ක ආදර සම්බන්ධෙක ඉන්නකොට මේක තව පොඩ්ඩක් එහාට යනවා. අපි කියමු සෙන්සිටිව් කෙල්ලෙක් කියලා. එයා ඔයාට එයාගේ හැඟීම් ප්‍රකාශ කරනකොට ඔයා ඒ ගැන තකන්නේ නෑ කියලා දැනෙනකොට වෙන්නේ එයා ඔයාට එයාගේ හැඟීම් ගැන නොකියා ඉන්න උත්සාහ කරන එක. ඒකෙන් දෙන්නා ටිකෙන් ටික ඈත් වෙයි. සෙන්සිටිව් කොල්ලෙක් නම් ඒක වෙනස්. එයා හිත රිද්දගත්තු ගමන් ඉබ්බෙක් කට්ටට රිංගනවා වගේ කට්ට ඇතුළට වෙලා ඉඳී. ඒක දෙන්නටම අවුල් තත්ත්වයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා විශේෂයෙන්ම සෙන්සිටිව් මනුස්සයෙක් එක්ක ඉන්නවා නම්, අපිත් එක්ක එයාලගේ හැඟීම් ඕන දෙයක් කියන්න පුලුවන් කියන එක එයාලට ඒත්තු ගන්වන්න ඕන. අන්න ඒකට හොඳම ක්‍රමය තමයි හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන එක.
- aniawa .lk
සංවේදී හිතක් තියෙන කෙනෙක් එක්ක ආදරේ කරනකොට හිත් රිද්දගන්නෙ නැතුව ලස්සනට ආදරේ ගෙනියන්නේ මෙහෙමයි
2018-05-02T00:09:00-07:00
Gossip Lanka Hot News
slide|