නේල් පොලිෂ් ලස්සනට ගාන එක හිසරදයක්ද? මෙන්න මේ මූලික ටිප්ස් 9 දන්නවනම් එහෙම වෙන්නෙ නෑ

ලස්සනට නේල් පොලිෂ් ගාපු නිය පෙලකට ගෑණු ලමයි කොහොමත් ආසයි. ඉස්කෝලෙ යන කාලෙ නිවාඩු මාසෙ ආව ගමන් මුලින්ම කරන්නෙ නියපොතු ටික පොඩ්ඩක් වවාගෙන දවස් දෙකෙන් දෙකට එක එක පාට නේල් පොලිෂ් ගාන එක. ආයෙත් ඉස්කෝලෙ යන්න ඔය ටික මකන්නෙ බොහොම හිතේ අමාරුවෙන්. ඒ කාලෙ එහෙම ආසාවට ගෑවට හරියටම නියපොතු ටිකට නේල් පොලිෂ් ගාන හැටි අපි වැඩි දෙනෙක් දන්නෙ නෑ. නිකම්ම බ්‍රෂ් එකෙන් අරන් ගානවට වඩා දේවල්
ටිකක් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ලස්සන නිමාවක් ලබා ගන්න නම්. ඔන්න ඒකට අපෙන් පුංචි උදව්වක්. ලස්සනට පිළිවෙලට නේල් පොලිෂ් ගාපු නිය පෙලක් ලබා ගන්න නම් ඔබ දැන ගෙන ඉන්න ඕන මූලිකම දේවල් ගැන කියල දෙන්නයි මේ හදන්නෙ.

1. කාලය වෙන් කරගන්න

නේල් පොලිෂ් ගාන එක හොද්ද ලිපේ තියල දුවන් ඇවිත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකටම වෙන් කරගත්තු කාලයක් තියාගන්න. එදිනෙදා වැඩ අස්සෙ තමන්ටම කියල වෙන් කරගත්තු කාලයක් මේ සඳහා වෙන් කරන්න. නේල් පොලිෂ් ගාන එක බොහොම හිතේ සැහැල්ලුවෙන් නිවි සැනසිල්ලෙ කරන්න ඕනෙ වැඩක්. ලස්සන නිමාවක් ගන්න නම් මේ සඳහා ඔබ වෙන් කරන කාලය අනිවා වැදගත්.

2. පිරිසිදු කරගන්න

හැමදාමත් බියුටි ටිප්ස් වලින් මතක් කරනව වගේ අදත් මුලින්ම මතක් කරන්න තියෙන්නෙ පිරිසිදුකම ගැන. නියපොතු ටික දෙහි ලෙල්ලක් අතුල්ලල හොඳින් පිරිසිදු කරගන්න. නියපොතු අස්සෙ කුණු තියෙද්දි උඩින් නේල් පොලිෂ් ගෑවට ලස්සන නැහැ. කලින් ගාපු නේල් පොලිෂ් තාමත් තියෙනව නම් ඒවා නේල් පොලිෂ් රිමූවර් එකකින් ඉවත් කරගන්න.

3. අවශ්‍ය හැඩයට කපා ගන්න

අවශ්‍ය හැඩයට නියපොතු ටික කපාගන්න. නියපොතු වල දිග තීරණය කිරීමේදී ඔබේ රැකියාවේ ස්වභාවය, ඔබේ එදිනෙදා කටයුතු ආදිය ගැනත් සැලකිලිමත් වෙන්න. නියපොතු වලින් ඔබේ පෞර්ශය විදහාපාන බව අමතක කරන්න එපා.

4. කඩතොළු නැති කරගන්න

නියපොතු කපාගත්තට විතරක් මදි. කැපුවට පස්සෙ එන කඩතොලු ස්වභාවය නැති කරන්න නේල් ෆයිල් එකක් පාවිච්චි කරන්න ඕනෙ. ඕනෙම Fancy ශොප් එකකින් මේ ස්ටීල් හෝ බෝර්ඩ් නේල් ෆයිල්ස් ඉතාම අඩු මුදලකට ඔබට මිලට ගන්න පුළුවන්.

5. අත් සෝදන්න

මේ විදියට නියපොතු සූදානම් කරගත්තට පස්සෙ හොඳින් සබන් දාල අත් සෝද ගන්න. නේල් ෆයිල් එකෙන් නියපොතු සකසද්දි එන නියපොතු කුඩු තිබුනොත් නේල් පොලිෂ් එකේ නිමාව ලස්සන නැහැ. තුවායකින් අත් වල තෙත ගතිය නැති කරගෙන විනාඩි දෙක තුනක් අත් වියලෙන්න තියාගන්න.

6. බේස් එකක් ගාන්න

නියපොතු හැමදාමත් ලස්සනට තියාගන්න නම් මේක අත්‍යාවශ්‍යයි. බේස් එකකින් නියපොතු වල ගාන නේල් පොලිෂ් එක කල් තියාගන්න පුළුවන් වගේම නේල් පොලිෂ් වලින් අපේ නියපොත්තෙහි ඇති ස්වභාවික දිස්නයට වෙන හානිය අවම කරනව. නේල් පොලිෂ් ගෑල මැකුවම කහ පාට වුන නියපොතු ඔබ දැකල ඇති. ඒ තත්වය ඇති නොවෙන්න නම් නේල් පොලිෂ් බේස් එකක් ගාන්නම වෙනව.

7. නේල් පොලිෂ් මෙහෙම ගාන්න


  • ත්‍රී ස්ට්‍රෝක් ක්‍රමයට එහෙමත් නැත්නම් ඉරි තුනකින් ඔබේ නියපොත්තේ නේල් පොලිෂ් එක නිමා කරගන්න පුළුවන්. මුලින්ම නේල් පොලිෂ් බ්‍රෂ් එක එහි හොඳින් ගිල්වා ගන්න. එක වරක් පමණක් නේල් පොලිෂ් බෝතලයේ කටෙහි තද කර වැඩි පුර පොලිෂ් ටික ඉවත් කරගන්න. බ්‍රෂ් එක දිහා බැලුවම වැටෙන්නෙ නැති ගාණට තියෙන නේල් පොලිෂ් බින්දුවක් ඔබට පෙනේවි.
  • පලවෙනි ඉර නියපොත්තෙහි හරි මැද උඩ කෙලවරින් පටන් ගන්න. දෙවෙනි ඉර තරමක් වම් පැත්තට බර කරල නියපොත්තෙහි වම් කෙලවර සම්පූර්ණ වෙන විදියට ඇඳගන්න. මේ විදියටම දකුණු පැත්තෙත් ඇඳගන්න. පලවෙනි කෝට් එක අවසන්.
  • පලවෙනි කෝට් එක වියලීගෙන එද්දි විනාඩි 2කට විතර පස්සෙ දෙවෙනි කෝට් එක කලින් විදියටම ගාගන්න.
  • සම මත ආලේප වී ඇති නේල් පොලිෂ් ප්‍රවේසමෙන් කොට්න් බඩ් එකකින් ඉවත් කරගන්න.


8. ටොප් කෝට් එකක් ගාන්න

නේල් පොලිෂ් කෝට්ස් දෙකම හොඳින් වියළුනාට පස්සෙ ඊට උඩින් තුනී ලේයර් එකක් හිටින විදියට ටොප් කෝට් එක ගාගන්න. මේකෙන් ඔබේ නියපොතු වල ගාන නේල් පොලිෂ් එක වැඩි කාලයක් පවත්ව ගන්න වගේම ලස්සන නිමාවක් ලබාගන්නත් පුළුවන්.


9. මේ දේවල් මතක තියාගන්න


  • නේල් පොලිෂ් ගාන්න ගත්තම නේල් පොලිෂ් බෝතලය සොලවන්න එපා. එය අත්ල මත තබා අනිත් අතින් තද කර රවුමට රෝල් කරන්න.
  • අතේ නොඇලෙන ගානට වියළුනාට පස්සෙ අයිස් වතුර එකක නියපොතු ටික ඔබාගෙන ඉඳීමෙන් ඉක්මණින් නේල් පොලිෂ් වියල ගන්න පුළුවන්.
  • හැමවිටම තුනී ලේයර්ස් ආලේප කරන්න මතක තියාගන්න. වඩා ඝණකමට ආලේප කිරීමෙන් කැතට පේනව වගේම නේල් පොලිෂ් ඉක්මණින් ගැලවී යන්න බලනව.
  • නේල් පොලිෂ් එකක් හයි වේගෙන වගේ ඇවිත් නම් තිනර් පොඩ්ඩක් දාල අර කලින් කිව්ව විදියට නේල් පොලිෂ් එක මිශ්‍ර කරගන්න.
  • නියපොතු ෆයිල් කරද්දි දෙපැත්තටම ෆයිල් එක අදින්න එපා. එක පැත්තකට ෆයිල් කරගන්න. වඩාත් සුමුදු නිමාවක් ඒකෙන් ලබාගන්න පුළුවන්.
  • හොඳ තත්වයේ නේල් පොලිෂ් මිලදී ගන්නත් අමතක කරන්න එපා. නියපොතු දුර්වර්ණ නොවී කඩතොළු නොවී තියාගන්න නම් අනිවාර්යෙන් හොඳ තත්වයේ නිශ්පාදන මිලදී ගන්න.
  • ඒ වගේම ඔබේ නියපොතු වල පෝශණය ගැනත් සැලකිලිමත් වෙන්න. කැල්සියම් අඩංගු ආහාර කෑමට එක් කරගන්න. රාත්‍රී නින්දට පෙර ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් නියපොතු සමඟ ඇඟිලි තුඩු වල ආලේප කරන්න.
  • නේල් පොලිෂ් ගාන කොට දැනගෙන ඉන්න ඕනෙ මූලිකම දේවල් දැනගත්තනෙ, අළුත් අළුත් නේල් පොලිෂ් ට්‍රෙන්ඩ්ස්, වෙනස් ක්‍රම ගැන තවත් දේවල් දැනගන්න අනිවා එක්ක දිගටම රැඳී ඉන්න අමතක කරන්න එපා.

- aniwa.lk

gossip lanka