කාල තියෙනවද යේමන් රොටි? අහලවත් නැති උනත් අලුත් රොටි වර්ග 5ක් හදන හැටි

හදිසියකට ඉක්මණට හදාගන්න පුළුවන් කෑමක් තමයි රොටි කියන්නෙ. රොටි කිව්වම අපිට මතක් වෙන්නෙ පොල් රොටි එහෙමත් නැත්නම් ගොදම්බ රොටි. වෙන රොටි ජාති නැද්ද? ඕන තරම් තියෙනව. හැමදාම කන පොල් රොටියෙන් බැහැර වෙලා වෙනස්ම රොටි ජාති ටිකක් හදන්න ඉගෙන ගමුද?
මෙන්න මේ රොටි වර්ග 5 හදන්නත් ලේසියි රසත් උපරිමයි.
1. Sweet Potato Roti


බතල කන්නෙ තම්බලා හරි උයලා හරි විතරනෙ. කාල තියෙනවද බතල රොටි? බතල කන්න හොර බබාලට මෙන්න මෙහෙම රොටි හදල දුන්නොත් නොකා ඉන්න එකක් නෑ. මේ විදියටම අල වලිනුත් හදන්න පුළුවන්.

ගැලපෙන ආහාර – බටර් ටිකක් එක්ක වගෙම ඕනෙම සැර හොද්දක් එක්ක මේක ගැලපෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. පාන් පිටි කප් 2
  2. තම්බා පොඩි කරාගත් බතල කප් 2
  3. ලුණු
  4. කැමති නම් හීනියට ලියාගත්තු ලූනු අමු මිරිස් ටිකක්
  5. සේරම එකට දාලා හොඳට අනාගන්න. රොටි පදමට එන්න බතල වල තෙත ගතිය මදි වගෙ නම් වතුර ස්වල්පයක් එකතු කරගන්න.
  6. අතේ තෙල් ටිකක් ගාගෙන තුනී කරගෙන නන්ස්ටික් තැටියක පුච්ච ගන්න.

2. Naan

නාන් වර්ග කීපයක්ම තියෙනව. ප්ලේන් නාන් එක හදලා ඒකට උඩින් බටර් ගෑවම බටර් නාන්, නාන් එක මැදට කැමති චීස් වර්ගයක් තියල හැදුවම චීස් නාන්, බටර් වලට කොත්තමල්ලි කොල ටිකක්, සුදු ලූනු පේස්ට් ටිකක් එකතු කරල නාන් එක උඩින් ගෑවම ගාලික් නාන්. මෙන්න මේ නාන් වර්ග හදාගන්න ප්ලේන් නාන් එකක් ලේසියෙන්ම හදන්නෙ මෙහෙමයි.

ගැලපෙන ආහාර –  ඕනෙම කුර්මා වර්ගයක් එක්ක, බටර් චිකන් එක්ක වගෙම කැමති ඕනම කරියක් එක්ක නාන් කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. පාන් පිටි කප් 2
  2. යෝගට් 1
  3. ලුණු
  4. ගී (ගිතෙල්) මේස හැඳි 2
  5. සීනි තේ හැන්දක්
  6. යීස්ට් තේ හැඳි 1


  • ඉහත සියල්ල එකට මිශ්‍ර කර වතුර එක් කරමින් මෘදු බෝලයක් අනාගන්න.
  • එය තෙමා මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වසා අවම පැය 2ක් පමණ පිපෙන්න තබා තරමක් ඝණකමට තුනී කර තැටියක පුළුස්සා ගන්න.

3. Pita Bread

පීටා බ්‍රෙඩ් කියන්නෙ අරාබි පාන් වර්ගයක්. මේකත් රොටි වලටම අයත්. මැදට තමන් කැමති ඕනෙම පිරවුමක් දාලා හදාගන්නත් පුළුවන්. හැදුවට පස්සෙ ෆ්‍රීසර් එකේ දවස් තුන හතරක් තියගන්නත් පුළුවන් නිසා පාසල් යන දරුවන්ට සකස් කරල දෙන්න වඩාත් සුදුසුයි.

ගැලපෙන ආහාර –  ඕනෑම මස් හෝ එළවලු වර්ගයක් සලාදයක් මැදට පිරවුමක් ලෙස දාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. ආටා පිටි කප් 1 1/2
  2. පාන් පිටි කප් 1
  3. මද රස්නෙ වතුර කප් 3/4
  4. යීස්ට් තේ හැඳි 1
  5. සීනි තේ හැඳි 1
  6. ලුණු තේ හැඳි 1
  7. තෙල් මේස හැන්දයි


  • සියල්ල එකට එක් කර විනාඩි 10ක් පමණ අනාගෙන අතේ නොඇලෙන මෘදු බෝලයක් සාදා තෙමා මිරිකාගත් රෙදි කැබැල්ලකින් පැයක් වසා තබන්න.
  • පිපුනු පසු කුඩා බෝල වලට කඩා පිටි ඉස ගත් ලෑල්ලක තුනී කරගන්න. (පීටා බ්‍රෙඩ් එක අවශ්‍ය සයිස් එක අනුව ගන්න පිටි බෝලයේ ප්‍රමාණය වෙනස් කරගන්න.)
  • නන්ස්ටික් තැටියක සාමාන්‍ය ගින්දරේ එක පැත්තක් තත්පර 30ක් පමණ පුළුස්සා අනෙක් පස හරවා තත්පර 30ක් තබා නැවත පෙර පැත්තම හරවා ගන්න. තැනින් තැන පිපීගෙන එද්දී පිසිරිස්දු රෙදි ගුලියකින් හෝ පැතලි හැන්දකින් තද
  • කරමින් මුළු රොටියම පිපෙන ආකාරයට දෙපැත්තම පුළුස්සා ගන්න.
  • නිවුනු පසු දෙකට කපා කැමති පිරවුමක් දාගන්න. නිවුනු පසු අධිශීතකරණයේ දින තුනක් පමණ කල් තබා ගත හැක.

4. Pooran Poli/Puram Puri

මේ රොටිය හවස තේ වෙලාවට කෑමට ගන්න පුළුවන් පැණි රස රොටි වර්ගයක්. මේකට ගැලපෙන්න වෙන දෙයක් අවශ්‍ය නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. හොඳින් තම්බා පොඩි කරගත් කඩල පරිප්පු කප් 1/4
  2. හකුරු කප් 1/4
  3. කරදමුංගු කුඩු තේ හැඳි 1/4
  4. සීනි තේ හැන්දයි
  5. ගී (ගිතෙල්) තේ හැන්දයි
  6. පාන් පිටි කප් 1/2
  7. ලුනු සහ කහ ස්වල්පයක්
  8. ගී තේ හැඳි 3


  • ගී තේ හැඳි 3, පාන් පිටි, ලුණු සහ කහ එකට මිශ්‍ර කර වතුර ස්වල්පයක් දමා රොටි පදමට අනාගන්න.
  • හකුරු වලට සීනි එක් කර වතුර ටිකක් එක් කර නූලක් ආකාරයට වැක්කෙරෙන තුරු උණු කරගන්න. එයට පොඩි කරගත් පරිප්පු, කරදමුංගු කුඩු සහ ගී මේස හැන්ද එක් කර මිශ්‍ර කරගන්න.
  • කලින් සාදාගත් රොටි මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ගෙන පැතලි කර පරිප්පු සහ හකුරු මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ඒ මැදින් තබා එය ආවරණය කර තුනී කරගෙන තැටියක දමා දෙපැත්ත පුළුස්සාගන්න.

5. Yemeni Malawah Bread

මේක යේමනයේ හදන රොටි වර්ගයක්. වෙනසකට තියෙන්නෙ තැටියක පුච්චනවා වෙනුවට අවන් එකක පුච්ච ගැනීම.

ගැලපෙන ආහාර –  සැරට හදපු ඕනෙම කරියක් එක්ක මේක ගැලපෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. පාන් පිටි කප් 2
  2. වතුර කප් 3/4
  3. ලුණු තේ හැන්දයි
  4. ගී (ගිතෙල්)
  5. තල ඇට


  • තල ඇට හැර අනෙක් සියල්ල හොඳින් මිශ්‍ර කර අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් සාදා එය කොටස් දෙකකට කඩා තෙමා මිරිකා ගත් රෙද්දකින් වසා විනාඩි 20ක් පමණ තබන්න.
  • එක බෝලයක් ගෙන එය සෘජුකෝණාස්‍රාකාර විදියට තුනී කර දෙපැත්තේම ගී ආලේප කර රෝල් කරගන්න. මෙය දඟරයක් ආකාරයට ඔතා නැවත විනාඩි 20ක් පසෙකින් තබන්න. දෙවෙනි කොටසත් ඒ ලෙසටම සාදාගන්න.
  • සෙල්සියස් 260ට අවන් එක රත් වෙන්න තබා පිටි ඩෝ එක තුනී කරගන්න. උඩින් තල ඇට ඉස විනාඩි 7-8ක් හෝ රන් වන් පාට වන තුරු බේක් කරගන්න.


- aniwa.lk

gossip lanka