හැමෝටම උදව් කරන්න ගිහින් අපිට වෙන ඇබැද්දි 7ක්

මේ කියන්න යන්නෙ පොඩි කතාවක්. දන්න අඳුරන කඩේක අන්කල් කෙනෙක්ගෙන් ඒ කිට්ටුව කුළියට නැවතුනු, මුල්ම පඩිය ගන්නකං කන්න නැති කොල්ලො දෙන්නෙක් පඩි ලැබුනම ගෙවන පොරොන්දුවට කන්න ඉල්ලනවා. අංකලුත් අමාරුවෙන් වුනත් ඒ තීරණේට හා කියල තියෙනවා. ඒත් හරියට මාසෙකට පස්සෙ කොල්ලො දෙන්න හොයාගන්නත් නැතුව මාරු වෙලාලු. හිත හොඳ මනුස්සයෙකුට ‍ඔහොම දෙයක් වුනාම ආයෙත් එයා උදවුවක් කරාවිද කියලත් හිතෙනව තමයි. ඒත් අපි දැනගන්න ඕන කළගුණ සලකන මිනිස්සු දැන හඳුනගෙන උදවු කරන්න. එහෙම නොවුනොත්
ආයෙ අපේ හිත්මයි රිදෙන්නෙ කියල අපි තේරුම්ගන්න ඕන. ඒ මුදලාලි කෙනෙකුගෙ කතාවක්නෙ. මේ කියන්න යන්නෙ අපිට අපේ සාමාන්‍ය ජීවිතේදි සිද්ධ වෙන ඒ වගේ ඇබැද්දි ගැනයි.

1. සල්ලි සල්ලි සල්ලි

මේක ඉතිං ලොකුවටම සිද්ධ වෙන දෙයක්. ඒ තමයි සල්ලි අරං අමතක කරල දාන එක. ඉතිං දැන් ඔහොම කළාම දුන්න මනුස්සයට තමන් දීපු දේ නිසා අහන්නත් ලැජ්ජාකමට කට වහගෙන ඉන්නවා. හැබැයි අපිට හදිස්සි නැති බැරි කමක් ඇවිල්ලා ඒ ගැන ඇහුවොත්, කට්ටිය ඉස්සරහ කෑ ගහල ලොකු ටෝක් දීලා, මොකෝ අපි උඹේ සල්ලි අරන් රට යයි කියල හිතුවද? අපි ඔයිට වඩා සල්ලි දැකල තියෙනව වගේ ටෝක් දීලා කතාව මගඅරිනවා. මොකද ඒගොල්ලො එතකොට දන්නවා අපි ආයෙත් ඒ සල්ලි ගැන අහන්න පසුබට වෙනවා කියලා.

2. සින්න වෙන පොත්

පොත්වලට වෙන්නෙ නං වෙනස් දෙයක්. කියවලා දෙන්නං කියලා ගත්තට සමහරු පොත් කෙලින්ම අමතක කරලා දානවා. අපි පස්සෙ දවසක ඒ ගත්තු මිනිස්සුන්ගෙ ගෙවල්වල ගිහින් බලද්දි අපේ පොත්වල උන්ගෙ නම් ගහගෙනත් ඉවරයි. තවත් සමහර සීන් තියෙනව අඬල අඬලා පොත ඉල්ලුවට පස්සෙ පොත් හම්බෙන. ඒත් ඊට පස්සෙ තමයි හිතෙන්නෙ මීට වඩා හොඳයි පොත නැතිවුනානං කියල.

3. රස්සාවක් කරන්න තැනකට දැම්මොත්

ඔන්න ඉතිං අපෙන් කවුරුහරි ඇහුවොත් රස්සාවක් සෙට් කරල දෙන්න පුළුවන්ද කියල, අපිත් දන්න තැන් දෙක තුනකට කියල ඔන්න ඉතිං කොහොමහරි ජොබක් හොයලා දෙනවා. ජොබ අරගන්නෙ නං, රෑ වෙනකං ඉන්නං, කන්නෙ නැතුව වැඩ කරන්නං කියල. ඒ කතාබහයි, අපේ දැන හැඳුනුම්කමයි විශ්වාස කරල ජොබ් එක ලැබුනම තමයි ඔන්න සෙල්ලම පටන්ගන්නෙ. සමහරු නං ඒ විශ්වාසෙ රැකලා වැඩේ කරගෙන ගියාට සමහරුන්ට ඒ දේවල් කිසිම එකක් මතක නෑ. ඒ මදිවට රස්සාව කරන තැනට අපේ දැන හැඳුනුම්කං ගැන කියල ලොකු ලයින් දාන තත්ත්වෙකටත් එන්න පුළුවන්. එහෙම අයට රස්සාවල් හොයල දෙන්නෙනං පරිස්සමෙන් පුතෝ.

4. කොයි කඩේද?

අපි දන්න අඳුරන කඩේකට කලින් පාරක් එක්කගෙන ගියාම ඉතිං, අපේ දැන හැඳුනුම්කමට ඒ කඩෙන් අපෙන් සල්ලි නොගෙන ඉන්න අවස්ථා තියෙනවා. සමහරු මේ දේවල් තමුන්ට ලොකුකං පෙන්වන්න පාවිච්චි කරනවා. ඉතිං ඒ අය කරන්නෙ පස්සෙ දවසක අර කඩේට ගිහිල්ල බලෙන්ම අපේ හැඳුනුම්කම් කියල තමුන් එක්ක ගිය අයට පේන්න නොමිලේ කෑම කන එක. මෙහෙම දෙයක් වුනාම ඒ කඩේ මුදලාලිත් අයෙ අපි දිහා බලන්නෙ ඉතිං සැකෙන්. මේ හින්දා තමුන්ට හරියටම විශ්වාස නැති සමහරුන්ට තමුන්ගෙ හැඳුනුම්කං හදලා දෙන්න කලින් දෙපාරක් හිතන්න.


5. ගෙදර සලාක කැන්සල් කරවීම්


දැන් අපි සාමාන්‍ය විදියට දන්න හඳුනන මනුස්සයෙකුට කරදරයක් නම් අපේ ගෙදරකට එක්කගෙන එන එක සාමාන්‍ය දෙයක්නෙ. ඒත් ඒ මනුස්සයා ගැන හරියට දැනගෙන ඒ දේ කරන එක නං ලොකු වගකීමක්. දැන් නිකමට හිතන්නකො මෙහෙම දෙයක්. තමුන් පවු කියල ගෙදරට ගෙනාපු මනුස්සයා, ගෙදර මිනිස්සුන්ට තමන් ගැන කේලම් කියන්න ගියොත්. දැන් ඔහොම කරල පිට ගෙවල්වලට හොඳ පුතාලා වෙන්න හදන යාලුවොත් අපි අතරම ඉන්නවා. අපි මේ කියන්නෙ නං ඒ ගැන නෙමෙයි. අපි කියන්නෙ අපේ උදවු බලං ගෙවල්වලට ඇවිල්ල අපේ වැරදි ඇදලා යන උදවිය ගැනයි.

6. බස් කතා

ඇත්තටම මේ දේ නං තනි දෙයක් කියල කියන්න බැරි බස් රථවල කෝච්චිවල සිද්ධ වෙන්න පුළුවන් විදියෙ අවුලක්. ඒ තමයි අපි උදවුවක් කරාම ඒකට ප්‍රතිඋපකාරයක් විදියට අපිට නරකක් වෙන දෙයක් සිද්ධ කරන කට්ටිය. අපි අතේ තියෙන බර බෑග් එකක් පවු කියල හිතලා ගත්තම, ඊට එහා පැත්තෙ ඉන්න එයාගෙ හිතවන්ත වෙනිං කෙනෙකුගෙ බෑග් එකකුත් අපිට අරං දෙන, එහෙම නැත්තං හිටගෙන ඉන්න මනුස්සයෙකුට පවු කියල යාන්තං ඉඩක් හදලා දුන්නම සම්පූර්ණයෙන් මුළු ඇඟම ඒ සීට් එකට ඔබාගන්න අය. මේවට ඉතිං කට්ටිය ලොකුවට කතා නොකරතත් මේවත් වැටෙන්නෙ උදවු කරන්න ගිහින් කෙලවෙන ඒවටම තමයි.

7. මං කරන්නම් මචං

මේකනං ඔෆිස්වල කාරණයක්. ඔන්න මෙහෙම හිතන්නකො. කවුරුහරි කෙනෙක් අසනීපයකින් හිටියොත් ඒ කාර්යාලීය සගයා වෙනුවට තමුන් ඒ වැඩේ කරල දෙන්නෙ උදවුවක් විදියටනෙ. දැන් අපි ඔහොම උදවුවක් කරාම සමහර කාර්යාලීය සගයො ඉන්නව ඕක පුරුද්දට ගන්න. ආ ඌ එදත් ඒක කරානෙ. අදත් කරන්නැතැයි කියල තමුන්ගෙ වැඩ පැහැර හරින කාර්යාලීය සගයො ඕනතරං ඉන්නවා. ඒක ආයතනයට වගේම ආයතනයේ හිතවන්තකම් වලටත් ලොකු බාධාවක්.

- aniwa.lk


gossip lanka