අපි සමහර වෙලාවට අහස දිහා බලාගෙන කල්පනා කරනවනේ ඔය ඈත දිලිසෙනවා පේන තරුවක් වටේ යන ග්‍රහලෝකෙක සමහර වෙලාවට අපි වගේ ඩයල් එකක් ඉඳගෙන අහස දිහා බලාගෙන අපි වගේම විකාර කල්පනා කරනවද දන්නෙ නෑ කියලා. ඇත්තටම මේ විශ්වය කොයි තරම් නං ලොකුයිද? විශ්වය අනන්තයි කිව්වට එහෙම කෙළවරක් නැති දෙයක් තියෙන්නේ කොහොමද? කළු කුහරයක් ඇතුළට වැටුනොත් අතීතයට හරි අනාගතේට හරි
යන්න පුලුවන් වෙයිද? ඔය වගේ තාරකා විද්‍යාඥයින්ටත් ටක්කෙටම කියන්න බැරි විශ්වයේ හැංගිලා තියෙන අබිරහස් ගැන කල්පනා කරනවා කියන්නෙම මොළේ පොට යන වැඩක්. ඊටත් හපන්, ඔය අපි අබිරහස් කියලා දන්න එව්වනේ. අපේ බුද්ධියට ගෝචර වෙන්නෙ නැති, තියෙනවා කියලා අපිට හිතාගන්නවත් බැරි රහස් කොයි තරම් නං මේ විශ්වයේ තියෙනවා ඇතිද? ඒ කියන්නේ අපි අබිරහස් කියලා නොදන්න අබිරහස්. හැබැයි එව්වා ගැන කතා කරලා වැඩක් නෑ. ඊට කලින් කතා කරමු අපි විශ්වයේ අබිරහස් කියලා දන්න, හැබැයි මෙතුවක්කාලෙකට මිනිස්සුන්ට උත්තර හොයාගන්න බැරිවුණු විශ්වයේ තියෙන රහස් ගැන.
1. අපි විශ්වයේ තනිවෙලාද?
අපි මේ විශ්වයේ ඉන්න එකම බුද්ධිමත් ජීවීන්ද? එහෙම නැතිනම් තාමත් අනික් බුද්ධිමත් ජීවීන් අපිව හොයාගෙන ඇවිත් නැත්තේ ඇයි? එහෙමත් නැතිනම් ඒ අය මේ වෙනකොටත් අපිව හොයාගෙන ඇවිල්ලද? මේ තමයි විශ්වයේ අබිරහස් ගැන කතා කරනකොට අහන්න ලැබෙන ජනප්‍රියම ප්‍රශ්නේ. ඒකට උත්තරේ තාමත් අපි දන්නෙ නෑ. ඇත්තටම අපිට තාම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවරකටවත් යානයක් හෝ යවන්න පුලුවන් වෙලා නෑ. අපි නිරීක්ෂණය කරලා තියෙන්නේ අපි දන්න විශ්වයෙන් වැලිකැටයක තියෙන පරමාණු කීපයක ප්‍රමාණයේ වපසරියක් විතරයි. ඉතින් ඒ තරම් විශාල විශ්වයක බුද්ධිමත් ජීවීන් නැහැයි කියලා පිළිගන්න අමාරුයි. ට්‍රැපිස්ට්-01 ගැන එහෙමත් අපි කිව්වා මතක ඇතිනේ. හැබැයි සමහර වෙලාවට විශ්වයේ ඉන්න අනිකුත් බුද්ධිමත් ජීවීන් එක්ක සම්බන්ධ වෙන්න අපිට අවශ්‍ය තාක්ෂණය නැති එක වෙන්නත් පුලුවන් ගැටළුව. කොහොම වුනත් මේක අද වෙනකල් විසඳිලා නැති විශ්වයේ අබිරහසක් කියලා තමයි කියන්න වෙන්නේ!
2. විශ්වයේ අඳුරු ශක්තිය කියන්නේ මොකද්ද?
සරලවම කිව්වොත් මේ ගැන තාම කාටවත් හරි හැටි පැහැදිලි කරන්න හරි, තියෙනවාය කියලා සාක්ෂියක් පෙන්නන්න හරි බැරි උපකල්පනය කරන විශ්ව ශක්තියක් තමයි මේ අඳුරු ශක්තිය නැත්නම් ඩාර්ක් එනර්ජි කියන්නේ. සරලවම කිව්වොත් සම්පූර්ණයෙන්ම අබිරහසක්. හැබැයි විද්‍යාඥයෝ උපකල්පනය කරනවා විශ්වයෙන් දළ වශයෙන් 68% ක් හැදිලා තියෙන්නේ මේ අඳුරු ශක්තියෙන්ය කියලා. එතකොට විශ්වයේ තවත් 27% ක් හැදිලා තියෙන්නේ අඳුරු පදාර්ථයන්ගෙන් කියලත් ඒ අය විශ්වාස කරනවා. එතනින් එහාට පෘතුවිය ඇතුළුව මිනිසාට මෙතෙක් කාලයකට නිරීක්ෂණය කරන්න ලැබිලා තියෙන, නිරීක්ෂණය කරන්න බැරි තරම් ඈත තියෙන සාමාන්‍ය පදාර්ථයන්ගෙන් හැදිලා තියෙන හැමදෙයක්ම 5% ක් විතරයි. එතකොට හිතාගන්න පුලුවන් එකක් විශ්වය කොයි තරම් අනන්තද කියලා. ඒ වගේම මේ අඳුරු ශක්තිය කොයි තරම් විශාල වෙන්න ඕනද කියලා. මෙහෙම හිතමු. අපි හිතනවනේ විශ්වයේ වැඩිහරියක් කිසිම දෙයක් නැති හිස් අවකාශයක් කියලා. හැබැයි ඇත්තටම “හිස් අවකාශයක්” කියලා දෙයක් නැතිනම්? හිස් අවකාශය කියලා අපි දකින දේ ඇත්තටම හිස් නෙවෙයිනම්? ආන්න එතකොට මේ අඳුරු ශක්තිය ගැන පොඩි අදහසක් ඔලුවට එනවා. ඇත්තටම ඕක මුලින්ම කිව්වේ අයින්ස්ටයින්. ඒත් මේ අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගැන අපි තාමත් කිසිම දෙයක් නොදන්න තරම් නිසා මේකත් තාම අබිරහසක් තමයි.
3. මේ විශ්වය කොයි තරම් විසාලද?
දැන් ඔය බුදු බණේ තියෙනවනේ බුදුහාමුදුරුවොත් කිව්වා කියලා විශ්වයේ කෙළවර වගේ ඔලුව කොලොප්පං වෙන දේවල් හොයන්න යන්නෙ නැතුව තමන්ගේ විමුක්තිය සාක්ශාත් කරගන්න එක ගැන හිත යොදවන්න කියලා. හැබැයි ඉතින් මනුස්සයාට තියෙන සොබාවිකම හැඟීමක්නේ සංසිඳවන්න බැරි කුතුහලේ. ඒ නිසා අද වෙනකොටත් විද්‍යාඥයෝ, විද්‍යා ප්‍රබන්ධ රචකයෝ වගේ හැමෝම විශ්වය ඇත්තටම කොයි තරම් විශාලද කියන එක ගැන හිතනවා. අපි මෙහෙම කියමු. අපි දැන් දකින්නේ විශ්වයේ ආරම්භයේ ඉඳන්, ඒ කියන්නේ අවුරුදු බිලියන 13.8කට කලින් ඉඳන් ආපු ආලෝකය. ඒ කියන්නේ ඇත්තටම අපි දකින විශ්වය ආලෝක වර්ෂ බිලියන 13.8ක අරයක් තියෙන ගෝලයක් වගේ. හැබැයි විශ්වය ආරම්භයේ ඉඳන් ප්‍රසාරණය වෙන නිසා ඒ ප්‍රමාණය තව වැඩිවෙන්න ඕන. මේක කොයි තරම් හිතාගන්න බැරි ප්‍රමාණයක්ද කියලා තේරුම් ගන්න අපි ආලෝක මිනිත්තුවක් දිහා බලමු. ආලෝක මිනිත්තුවක් කියන්නේ දළ වශයෙන් කිලෝමීටර් මිලියන 18ක්. දැන් හිතාගන්න පුලුවන්නේ!
4. මහා පිපිරුම කියලා එකක් වුනේ කොහොමද?
දැනට සාක්ෂි තියෙන විදියට විද්‍යාඥයින්ට අපි දන්න විශ්වය බිහිවීම ගැන හිතාගන්න පුලුවන් එකම නිර්වචනය තමයි මහා පිපිරුම කියන්නේ. ඒ කියන්නේ අවුරුදු බිලියන 13.7කට කලින් අති අති අති විශාල පිපිරීමක් වුනාය කියන එක. ඒ පිපිරුම කොයි තරම් විශාලද කියන එක මනුස්සයෙක්ගේ මොළයට තේරුම් ගන්නවත් හැකියාවක් ඇති කියලා හිතන්න බෑ. අපි මෙහෙම කියමු. ඒ පිපිරීම කොයි තරම් අති දැවැන්තද කිව්වොත්, ඒ පිපිරීමෙන් විශ්වය ප්‍රසාරණය වෙන්න පටන් ගත්තු එක අද වෙනකලුත් ඉවර නෑ. තාමත් ප්‍රසාරණය වෙනවා. හැබැයි මහා පිපිරීමට කලින් මොනවද තිබුණේ? ඇයි මහා පිපිරීමක් වුනේ? මෙන්න මේ ප්‍රශ්න වලට අදටත් උත්තර නෑ. සමහරු අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව ගිහින් කියනවා පටන් ගන්නකොට තිබුණේ අනන්ත ඝනත්වයක් සහ උෂ්ණත්වයක් තිබුණු අනියමයක් කියලා. හැබැයි දැන් උඩින් අපි දැක්ක විදියට විශ්වයේ විශාලත්වයත් එක්ක ඔහොම මගුලක් හිතාගන්නවත් පුලුවන්ද? බෑනේ. ගොඩක් අය කියනවා මෙතනට සාමාන්‍ය සාපේක්ෂතාවාදය ඇප්ලයි කරන්න බෑ කියලා. ඉතින් මහා පිපිරීමට කලින් තිබුණේ මොනවද, මහා පිපිරීම වුනේ කොහොමද වගේ කරුණු කාරණා ගැන උපකල්පන තිබුණට ඇත්තටම එතන තියෙන්නේ අබිරහසක් තමයි!
5. කළු කුහරයක් කොයි තරම් ලොකු වෙන්න පුලුවන්ද?
කළු කුහරයක් කියන්නේ මොකද්ද? ඕකට සරලවම හම්බෙන උත්තරේ තමයි ආලෝකයටවත් ගැලවී යන්න බැරි තරමේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙන අවකාශ-කාලයේ කොටසක් කියන එක. ආලෝකයටවත් බේරෙන්න බැරි නිසා තමයි කළු කුහරයක් පේන්නේ නැහැයි කියන්නේ.
මේ කළු කුහර වලිනුත් අති දැවැන්ත රාක්ෂයෝ තමයි Super MassiveBlack Hole කියන්නේ. ඒ කියන්නේ අපේ සූර්යයා වගේ බිලියන සිය දහස් ගණනක ස්කන්ධයක් තියෙන අති දැවැන්ත කළු කුහර. දැන් හොයාගෙන තියෙන විදියට ඕනම දැවැන්ත වර්ගයේ මන්දාකිණියක මැද්දේ තියෙනවා මේ විදියේ සුපර්මැසිව් ප්‍රමාණේ කළු කුහරයක් ගාණේ. අපේ ක්ෂීරපථය මධ්‍යයේත් Sagittarius A* කියලා සුපර්මැසිව් කළු කුහරයක් තියෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ.
ඒ ගැන තව විස්තර දැනගන්න මේ වාර්තා චිත්‍රපටිය බලන්න.
6. කවදාහරි විශ්වයට මොකද වෙන්නේ?
මොනවා වෙන්නද? ඉස්සරත් තිබුණා, දැනුත් තියෙනවා, ඉස්සරහටත් තියේවි. හැබැයි හැමෝම ඒ කතාවට එකඟ වෙන්නෙ නෑ. ඇත්තටම විශ්වයේ අවසාන ඉරණම කියන්නේ මිනිස් චින්තනයට හිතාගන්න බැරි අබිරහසක් වගේම බොහොම වාදවිවාද වලට භාජනය වෙන මාතෘකාවක්.මේ ගැන කියන එක තියරියක් මෙහෙමයි. දැන් මහා පිපිරුමෙන් පස්සේ විශ්වය තවමත් ප්‍රසාරණය වෙනවනේ. ඒ කියන්නේ අවුරුදු බිලියන ගාණක් වෙනකල්. ඉතින් විශ්වය එහෙම උපරිම තැනට ප්‍රසාරණය වුනාට පස්සේ මොකද වෙන්නේ? ආයෙ සංකෝචනය වෙන්න පටන් ගන්නවා. ආන්න ඒකත් අවුරුදු බිලියන සමහර විට ට්‍රිලියන ගාණක් සිද්ධ වෙලා අන්තිමට මොකද්ද ඉතුරු වෙන්නේ? අර මහා පිපිරුමට කලින් තිබුණා කිව්වේ අනන්ත ස්කන්ධයක් තියෙන වස්තුවක්. ආන්න ඒ වගේ අන්තිමට ඉතුරු වෙන්නේ මිනිස් මනසට හිතාගන්න බැරි තරම් අතිවිශාල, අනන්ත ස්කන්ධයක් තියෙන අති දැවැන්ත කලු කුහරයක්! හැබැයි ඕක එක තියරියක් විතරයි.
විශ්වයේ අවසානය ගැන මීට වඩා සංකීර්ණ උපකල්පනයන් තව සෑහෙන්න තියෙනවා. හැබැයි ඇත්තම කියනවා නම් විශ්වයේ ආරම්භය වගේම විශ්වය අවසාන වෙන්නේ කොහොමද කියන එකත් තාමත් මිනිස් මනසට අබිරහසක් තමයි.
විශ්වය ගැන මිනිහාට හිතාගන්නත් බැරි අබිරහස් මෙච්චරද තියෙන්නේ? අපොයි නෑ. විශ්වයේ අබිරහස් කොයි තරම් හැංගිලා තියෙනවාද කියන එකත් මහාම මහා අබිරහසක්. ඒ හින්දා විශ්වය ගැන ඔයාලට තියෙන ගැටළු මෙතනින් පහළට ගිහින් කමෙන්ට් එකකින් සඳහන් කරලා යන්න. අපි උත්සාහ කරන්නම් පුලුවන් විදියට ඒ දේවල් ගැනත් ලියන්න.
- aniawa.lk
ඔබව විස්මයෙන් විස්මයට පත් කරවන, විශ්වයේ අබිරහස්!
2018-05-22T02:51:00-07:00
Gossip Lanka Hot News
slide|