බොහෝ විට අපේ නිවෙස් වල ඉන්න වැඩිහිටියන් විවිධ රෝග තත්වයන් ඇති උන අය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග වගේ බෝ නොවන රෝග (Non-Communicable Diseases) වලින් සිදුවන මරණ දැන් බහුලයි. වැඩිහිටියන්ට පමණක් නෙවෙයි වර්තමානය වන විට කුඩා දරුවන් හා තරුණ පරපුර අතරත් මේ රෝග තත්වයන් බහුල වේගෙන යනවා.
කොහොමටත් නිරෝගීව ඉන්න කාලෙදිත් තෙල්,
සීනි ,ලුණු බහුල ක්ෂණික ආහාර සහ නානාප්‍රකාර පැණි බීම වර්ග වලින් ඈත් වෙලා හැකි තරම් අළුත් එළවළු, පළතුරු වලට මුල්තැන දෙන්න. නෑ ගෙදරකට උනත් යනකොට අයිසින් කේක් ගෙඩියක් වෙනුවට හොඳ පළතුරු ටිකක් එළවළු ටිකක් ගෙනියන්න පුරුදු වෙනවනම් කොයි තරම් හොඳයිද?
අවදානමට පෙර සූදානම හොඳයි කියල කතාවකුත් තියනවනේ. ඉතින් ඒ නිසා මේ වගේ රෝග තත්වයන් ඇති අයට ගුණදායක වගේම මේ රෝගයන්ගෙන් වැලකෙන්නත් ආහාරයට ගැනීමට වඩාත් සුදුසු දේවල් ගැන අනිවා බලන ඔයාලා දැනුවත් කරන්න අපි හිතුවා. දරුවන් ඉන්න අම්මලාට විශේෂයෙන් මතක් කරන්න ඕනෙ ඝන ආහාර දෙන්න පටන් ගන්න කාලෙම මේ වගේ ගුණ එළවළු පළතුරු දරුවන්ට පුරුදු කිරීමෙන් අනාගත අවදානමකින් ඔවුන්ව බේරා ගත හැකි බව.
1. හෘද රෝග – ඔබේ හදවත රැකගන්න
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 දත්තයන්ට අනුව ලංකාවේ මරණ වලින් 25%කට වඩා සංඛ්‍යාවක් සිදුවන්නේ හෘද රෝග වලින්. මෙම තත්වයට වඩාත් බලපාන්නේ රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටමයි. කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කල හැකි සහ හදවතට ගුණදායක ආහාර වර්ග බොහොමයක් තියනවා. ඔන්න අහගන්න.
කරපිංචා කැඳ හැටියට හෝ රතුළූනු, සුදුළූනු ටිකක් එක්ක අබරලා බත් එක්ක කෑමට ගැනීමත් කොලෙස්ට්‍රෝල් පාලනයට ඉතා ගුණයි. කලින් ලිපියකත් අපි සඳහන් කලා වගේ කරපිංචා සුදුළූනු වගේ දේවල් හීනියට ලියලා ආහාරයට එක් කරගැනීමෙන් ඔබ නොදැනුවත්වම එහි ගුණය ඔබට ලැබෙනවා.
දෙළුම්, අලිගැටපේර, මිදි, දොඩම්, ජම්බෝල, ගස්ලබු, කෙසෙල්, නෙල්ලි, බෙලි වගේ පළතුරු ඔබට බීමක් හැටියට සීනි නොදා හදාගන්නත් පුළුවන්. ගෝවා, සෝයා බෝංචි, නිවිති, ගොටුකොළ, කැරට්, තක්කලි, වට්ටක්කා ආදී එළවළු වර්ග මෙන්ම කරාබු නැටි, කුරුඳු , ගොරකා වැනි කුළුබඩු වර්ගද හදවතට ඉතා ගුණදායකය.
2. දියවැඩියාව – කෑවොත් පැණිරස ඔබටම වෙයි දොස
මිලියන හතරකට ආසන්න දියවැඩියා රෝගීන් ඉන්න රටක් හැටියට දියවැඩියා රෝගයට සුදුසු ආහාර ගැන දැනුවත් වීම වැදගත්. මේ දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට සහ එයින් වැලකීමට හිතන අයට ඔබින ආහාර කීපයක්.
තෙබු කොල ගැන නම් හැමෝම වගෙ දන්නවනේ. මේ කොළවර්ගත් දියවැඩියා රෝගයට සුදුසුයි කියලා ඔබ දන්නවද?. අනෝදා දළු,කෝවක්කා,කෝප්ප කොල, කුරිඤ්ඤං, වට්ටක්ක දළු, ආදී කොල වර්ග මැල්ලුම් වශයෙන් හෝ අමුවෙන් සම්බෝල ලෙස ආහාර වේලට එක්කර ගන්න පුළුවන්. ඉරමුසු කොළ කැඳ ලෙසත් මේ තත්වයට සුදුසුයි. ගුණ විතරක් නෙවෙයි කෝප්ප කොළ, කුරිඤ්ඤං කොළ, වට්ටක්ක දළු ටිකක් එකතු කරලා හදන කලවම් පලා මැල්ලුම් වගෙ දේවල් රසවත් බාවයෙනුත් අනූන හන්දා ලෙඩ කෑම කනව කියලා ඔබට හිතෙන එකක් නෑ.
මෙම කොල වර්ග වල රුධිරගත සීනි මට්ටම පහත හෙලීමේ හැකියාව ඉතා ඉහළ බැවින් දිනපතා ආහාරයට ගැනීමද එතරම් සුදුසු නැති බවත් සඳහන් කරන්නම ඕනෙ. සතියකට වතාවක් පමණ ආහාරයට එකතු කරගැනීම වඩාත් සුදුසුයි.
බණ්ඩක්කා, පොලොස්, කරවිල, බෝංචි, නෙළුම් අල, කැරට්, වම්බටු, මල් ගෝවා, රාබු, කොළ පැහැ පිපිඥ්ඥා, වැටකොලු ආදී එළවලු දියවැඩියා රෝග තත්වයට වඩාත් සුදුසුයි. හැබැයි කැරට් වගෙ එළවළුවක් සලාදයක් හෝ ව්‍යංජනයක් ලෙස කනවා මිසක් කොත්තු ෆ්‍රයිඩ් රයිස් වලට කොච්චර දැම්මත් ඒ ගුණයෙන් වැඩක් වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න.
කොළ පැහැති පළතුරු මෙම රෝග තත්වයට වඩාත් හිතකරයි. ඇඹුල් කෙසෙල්, කාමරංගා, කොළ ඇපල්, ස්ට්‍රෝබෙරි, දොඩම්, ඇඹරැල්ලා, නෙල්ලි ආදී පලතුරු වර්ග දියවැඩියා රෝගයට සුදුසු නමුත් මේ කිසිම දෙයක් පමණ ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නැති බව නැවතත් මතක් කරන්න කැමතියි. උදාහරණයක් කිවුවොත් කාමරංගා පමණ ඉක්මවා ගැනීමෙන් වකුගඩු අක්‍රිය විය හැකියි.
3. වකුගඩු රෝග- අක්‍රිය වෙන්න පෙර ප්‍රවේශම් කරගන්න
අධි ප්‍රෝටීන් ආහාර, දියවැඩියාව සහ අක්‍රමවත් ආහාර පුරුදු වගේ දේවලින් ලංකාවේ වකුගඩු රෝග දැන් දැන් ව්‍යාප්ත වන තත්වයක් ඇති වෙලා. මීට අමතරව රජරට වකුගඩු රෝගය නමින් තවත් රෝගි තත්වයක් ගැන විශාල කතාබහක් ඇති වුනා. පසුගිය දාක ලංකාවේ නමත් ඈඳුණු වකුගඩු ජාවරම වුනෙත් මෙම රෝගී තත්වයෙන් වකුගඩු නරක් වූ අයට වකුගඩු බද්ධ කිරීමක් සම්බන්ධවයි. අපේ ශරීරයේ යහපත් ක්‍රියාකාරිත්වයට වැදගත් වෙන වකුගඩු රැකගන්න නම් අපේ ආහාර වේලට එකතු කරගත යුතු දේවල් මොනවද කියල දැනගෙන සිටීම වැදගත්.
කැකිරි, පිපිඥ්ඥා, වට්ටක්කා, ලූණු, රාබු, ගෝවා,මල් ගෝවා, හතු වැනි එළවළු වර්ග සහ කොමඩු,ස්ට්‍රෝබෙරි වැනි පළතුරු වර්ගද අල, බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ගද වැල්පෙනෙල, හාතාවාරිය වැනි කැඳ වර්ගද වකුගඩු රෝගීන්ට සහ වකුගඩුවල නිරෝගී බාවයට ගුණදායකයි.
ලුණු අධික ආහාර වකුගඩු රෝගීන්ට සුදුසු නොවන බැවින් මේ කුමන දේ දුන්නද ලුණු අවම වශයෙන් යොදාගන්නට වග බලාගන්න. වකුගඩු රෝගය නැතත් ලුණු භාවිතය අවම කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වඩාත් සුදුසු බවත් කිව යුතුමයි.
කාබනේටඩ් පාන වර්ග වලින් වැළකී දිනකට අවම වශයෙන් ලීටර 2ක් වත් පිරිසිදු ජලය පානය කිරීම ඔබේ වකුගඩු වල සෞඛ්‍ය රැකගැනීමට ඉතා වැදගත් බවත් මතක තබා ගන්න.
4. අක්මා රෝග – විශාලත්වයේ තරමටම අවධානය දෙන්න
ශරීර අභ්‍යන්තරයෙ ඇති විශාලම ඉන්ද්‍රිය වන අක්මාව ලෙඩ වෙන්න මත්පැන් බොන්නම ඕනෙ නෑ. අධික තෙල් භාවිතය, ක්ෂනික ආහාර වගෙ වැරදි ආහාර පුරුදු හේතුවෙන් ලංකාවේ අක්මා රෝගීන් බහුල වෙලා. ඒ වගේම හෙපටයිටීස් රෝග තත්වය සහ ඩෙංගු රෝගයත් වක්‍රාකාරව මෙම තත්වයට බලපානවා.
හදවතට පසුව රැකගත යුතු මේ අක්මාවට ගුණදායක ආහාරයි මේ.
කහ, සුදු ලූනු වැනි කුළුබඩු වර්ගද, පරිප්පු, කඩල, මුංඇට, සෝයා බෝන්චි, කිඩ්නි බීන්ස් වැනි තන්තුමය ඇට වර්ගද බීට් රූට්, බ්‍රොකලි, ආදී එළවළු වර්ගද ඇපල්, අලිගැට පේර, කටු අනෝදා ( කටු ආතා), දෙලුම් වැනි පළතුරු වර්ගද අක්මා රෝගීන්ට සහ අක්මාවේ නිරෝගි බව ගැන සැලකිලිමත් ඔබට සුදුසුයි.
මීට අමතරව ලුණු ,පැණිරස සහ තෙල් බහුල ආහාර හැකිතරම් අඩුවෙන් ආහාරයට ගැනීම අක්මා රෝග වල්ට වගෙම අනෙකුත් රෝග තත්වයන් පාලනයටද වැදගත්.
5. අධි රුධිර පීඩනය – අඩු වුනත් ලෙඩ වැඩි උනත් ලෙඩ
හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග වගේ රෝග තත්වයන් වගේම මානසික අසහනය, ව්‍යායාම නොමැතිකම නිසා ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි අධි රුධිර පීඩනය කියන්නේ.
මෙම රෝග තත්වය ප්‍රතිකාර වලින්ම හෝ ආහාර මඟින්ම පමණක් වලක්වා ගත හැකි හෝ සුව කරගත හැකි රෝගයක් නොවන්නේ මානසික සහනයත් රුධිර පීඩනය වෙනස් වීමට බලපාන නිසයි. ලෙඩ දුක් අඩු වෙන තරමට හිතේ සහනයත් වැඩි හන්දා අධි රුධිර පීඩනයෙන් ගැලවෙන්න නම් අනෙකුත් ලෙඩ රෝග හැකිතරම් වලක්ව ගන්න එක තමා සුදුසුම. කොහොම වුනත් High Blood Pressure කියන්නේ අද කාලෙ හුඟ දෙනෙකුට තියෙන දෙයක් නිසා මෙම තත්වයට සුදුසු ආහාර ගැන දැනුවත් වීම අපතේ යන්නෙ නෑ.
මුරුංගා කොළ, තෙඹු කොළ, පැශන් කොළ වගේ කොළ වර්ග සම්බෝල හෝ මැල්ලුම් වශයෙනුත්, වැල්පෙනෙල, කරපිංචා වගේ කොළ වර්ග කැඳ වශයෙනුත් ගැනීම මෙම රෝගයට ගුණයි.නිවිති කොළත් අධි රුධිර පීඩනය ඇති අයට ආහාරයට එක් කරගැනීම සුදුසුයි. තක්කලි, කැරට්, මුරුංගා,වැටකොළු, පතෝල වගේ එළවළු වර්ග වගේම සුදු කව්පි, මේද රහිත යෝගට්, තිලාපියා මාළු,බතල,සුදු ලූනු, පොටෑසියම් බහුල කිඩ්නි බීන්ස් සහ වට්ටක්කා ඇට ආදියත් කෙසෙල්, අලිගැට පේර,ගස්ලබු, පේර,කොමඩු, දොඩම් වගේ පළතුරු වර්ගත් අධි රුධිර පීඩනටය ඉතා ගුණයි.
අධි රුධිර පීඩනයට ගුණ දේවල් අව රුධිර පීඩනය හෙවත් Low Blood Pressure තියෙන අයට එතරම් සුදුසු නැති බවත් කියන්න ඕනේ.
අවසාන වශයෙන් මේ දේ නැවතත් මතක් කරනවා මේ කිසිම ආහාරයක් ප්‍රමාණය ඉක්මවා ගැනීම සුදුසු නැහැ. ඒවායින් වෙනත් රෝග තත්වයන් මතු වෙන්න පුළුවන්.
වර්තමානයේ අපට හුරු වෙන්න සිදු වෙලා තියෙන කාර්යබහුල වට පිටාවත් එක්ක අපට ඇති වෙන රෝග තත්වයන් වැඩි වෙලා. ඉහත රෝග වලට සුදුසු ආහාර බොහොමයක් අපි කොහොමත් එදිනෙදා භාවිතා කරනම දේවල්. ඒත් ඒවායේ ගුණාත්මක බව හැකිතරම් රැකෙන විදියට පිළියෙල කරගන්න එක අපේ ගෘහණියන්ගේ වගකීමක්. ආහාර මතම ශරීර සුවය තීරණය නොකර හැකි සෑම විටකම ඇඟපත වෙහෙසා ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා.
- aniwa.lk
හදවත්, වකුගඩු, අක්මා රෝග ඈත් කරන ගුණදායි ආහාර වර්ග – ඔබේ පවුල රැකගන්න මෙය කියවන්න!
2018-04-09T02:45:00-07:00
Gossip Lanka Hot News
slide|