හිනා ගියාද? විහිළුවක් නෙවෙයි, තේ එකක් හදාගන්න ඕන කෙනෙක්ට පුළුවන් කියල හිතුවට කීයෙන් කී දෙනාටද නියම පදමට තේ එකක් හදාගන්න පුළුවන්. ආගන්තුක සත්කාරයෙන් ඉහල තැනක් ගන්න අපේ රටේ කොයි ගෙදරට කොයි වෙලාවක ගියත් තේ එකක් බොමුද කියල අහන එක සිරිතක්. එහෙම ලැබෙන තේ වල එක එක විදි තියෙනව. පිටි වැඩි කහට අඩු තේ, පිටියි කහටයි දෙකම වැඩි තේ, කටේ ඇලෙන තරම් සීනි වැඩි තේ,
එහෙමත් නැත්නම් තේ බිව්වට වඩා වතුර එකක් බිව්ව නම් රසයි කියල හිතෙන තේ.
කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් තේ එකක් හරි පදමට හදාගන්න දැනන් ඉන්නම ඕනෙ. හැබැයි ඉතින් අත පය දිග ඇරල පිටි සීනි වැඩියෙන් දාගත්තට තේ එකක් රස වෙන්නෙ නෑ. ලෝබකමට ගිහිල්ලත් තේ එකක නියම රස ගන්න බැහැ. අනිවා අපේ මේ උත්සහය දිව පිනවන සිත පිනවන වෙහෙස නිවන රසවත් තේ එකක් හදාගන්න හැටි කියල දෙන්න.
හරි ගාණට තේ එකක් හදාගන්න දැනගත්තට පස්සෙ ඒකට එක එක රස දාගන්න හැටිත් අන්තිමටම තියෙනව. ඔයා හදන තේ එක කොහොමත් රසයි නම් ඒ රස තව වැඩි කරගන්න ඒ ටිකත් කියවලම බලන්න.
1. තේ වර්ග ගැන දැනන් ඉන්න
තේ කොළ වල මෝරපුකම, ඒවා වියලන ක්‍රමය සහ කාලය, සම්පූර්ණ තේ කොළය සහ කැඩුණු තේ කොළ වගෙ විවිධ මිනුම් දඬු වලින් තේ කොළ වර්ග කෙරෙනව. ලංකාවේ අපිට හුඟක් වෙලාවට ගන්න තියෙන්නෙ BOP වර්ගයේ කැඩුණු තේ කොළ. මේ තේ කොළ වර්ගය අනුව තේ එකක් හදාගන්න කොට පාවිච්චි කරන වතුරේ උශ්ණත්වය සහ තේ කොළ තම්බගන්න ඕන කාලය වෙනස් වෙනව. අපි අද මේ කියන්නෙ සාමාන්‍ය BOP සිලෝන් තේ කොළ වලින් තේ එකක් හදාගන්න හැටි.
2. වතුර රස්නෙන්
වතුර උතුරන්න තියන්න. වතුර ටික උතුරන්න කලින් තේ හදාගන්න කෝප්පයි ඔයා තේ බොන මග් එකයිත් හෝදල ළඟින් තියාගන්න. මොකද වතුරෙ රස්නය පොඩ්ඩක්වත් අඩු වෙන්න කලින් වතුර ටික තේ කොල වලට දාගන්න එක අනිවා වැදගත්ම පොයින්ට් එකක්.
3. තේ කෝප්පයක් හොඳේ
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕනෙ. මග් එකට අල්ලන ප්‍රමාණෙ අනුව වෙනස් කරගන්න පුළුවන්.
4. අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි පිටි පුරවල තේ හැඳි 2
- තේ කොල තේ හැඳි 1
- සීනි තේ හැඳි 2 (පැණිම පැණි රසට තේ බොනව නම් ඕක වැඩි කරගන්න. අඩුවෙන් සීනි බොන කෙනෙක් නම් අඩු කරගන්න. මේ තමා නියම ගාණ.)
5. මෙහෙමයි හදන්නෙ
තේ කොල ටික දාගත්තු කෝප්පෙට වතුර 200ක් උතුරපු ගමන්ම දාගන්න. ඒ කියන්නෙ ලිප නිවපු ගමන්ම. තේ කොළ වල නියම රස සහ කහට ගන්න නම් සෙල්සියස් 95ට රත් වෙච්ච වතුර වලින් තැම්බෙන්න ඕනෙ. දැන් ඒක විනාඩි 5ක් වහල තියන්න.
ඒ අතරතුර වෙනම කෝප්පෙක පිටි ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් කරගන්න. දැන් අර තැම්බෙන්න තිබ්බ කහට වලින් ටිකක් පිටි එකට දාගෙන ක්‍රීම් එකක් වෙනකම් හොඳට හැන්දෙන් කලවම් කරගෙන ඉතුරු කහට ටිකත් දාල තේ බොන්න ගන්න කෝප්පෙට පෙරාගන්න. ඔන්න තේ එක හදල ඉවරයි.
හැබැයි මතක තියාගන්න මේ සේරටම විනාඩි 6ක 7කට වඩා කාලයක් ගත නොකරන්න. නැත්නම් එහෙට මෙහෙට වෙවී තේ හදන්න ගිහින් අන්තිමට බොන්න වෙන්නෙ ඇල් වෙච්ච තේ එකක්.
4. තව වෙනසක් කරමුද?
මසාල ටී / මසාල චායි
අල්ලපු රටේ බොහොම ජනප්‍රියයි. දැන් දැන් මෙහෙ කට්ටියත් මේකට වහ වැටිල. ඔන්න නොදන්න කෙනෙක්ට හදන හැටි කියල දෙන්නම්. එක එක්කෙනා එක එක ක්‍රමේට හදන මසාලා චායි ලේසියෙන්ම මෙහෙම හදාගන්න. මේ එක තේ කොප්පෙකට ඕන ප්‍රමාණය.
තේ හදන වතුර ටික රත් වෙන්න තියන්න කලින් මේ ටික දාගන්න.
- කරදමුංගු ඇට 1
- කරාබු නැටි 2
- කුරුඳු අඟලක්
- තලාගත් ඉඟුරු පෙත්තක්
- ගම්මිරිස් ඇට 3ක්
- ස්ටාර් අනීස් බාගයක් (තියෙනවනම් විතරක්)
මේ දේවල් දාගෙන වතුර ඉතිරුවට පස්සෙ කලින් වගේම තේ එක හදාගන්න.
මයිලෝ තේකක්
රසම රස මයිලෝ තේ එකක් හදාගන්න නම් අර පිටි මික්ස් එකටම මයිලෝ පුරෝපු තේ හැඳි 2ක් දාගන්න. ඒකටම කුරුඳු කුඩු එහෙමත් නැත්නම් කෝපි (නෙස්කැෆේ නම් වඩා හොඳයි) පොඩ්ඩකුත් එකතු කරගත්ත නම් වෙනස්ම රසක් ගන්නත් පුළුවන්.
ප්ලේන් ටී විතරද ඉඟුරු දාල රස?
ඉඟුරු දාල ප්ලේන් ටී බිව්වට කිරි තේ බීල නෑ නේද? කිරි තේ එකක් හදාගෙන ඒකට ඉඟුරු පෙත්තක් දාල බීල බලන්න. හැමදාම බොන කිරි රසට ඉඟුරු රස එකතු උනාම එන්නෙ වෙනස්ම නැවුම් රසයක්.
සයිවර් කඩේ එළකිරි තේ
පිටි කිරි වලට වැඩිය එළකිරි දාල හදන තේ එකක් රස වැඩියි. සයිවර් කඩේ කිරි තේ එකට කට්ටිය වැඩියෙන් මනාපයක් දක්වන්නෙ ඒකනෙ. එළකිරි දාල තේ හදනවනම් කෝප්පෙන් 3\4ක් කහට දාල ඉතුරු 1\4කට උණු කරගත්ත කිරි එකතු කරගන්න. හැබැයි වතුර මික්ස් වෙච්ච එළකිරි නැතුව හොඳ එළකිරි එකතු කරනව නම් තමා මේ ප්‍රමාණය.
ඇයි මිල්ක්මේඩ් තේ?
එළකිරි නැත්නම් මෙන්න නියම රසක් ගන්න පුළුවන් තේ එක. සීනි ඕනෙත් නෑනෙ. කහට තේ කෝප්පෙකට මිල්ක් මේඩ් මේස හැඳි 1 1\2ක් එකතු කරගන්න.
තායි ටී එකක් බොමුද?
මේක අපේ වගේ රස්නෙ රටකට කියාපු තේ එකක්. කූල් කරල බොන හින්ද දවාලකට උනත් කෙනෙක්ට පිළිගන්වන්න පුළුවන්.
තේ කොළ තේ හැන්දකට උණු වතුර කෝප්පයක් දාල විනාඩි 5ක් වහල තියන්න. ඒකටම සීනි තේ හැඳි 2කුත් එකතු කරන්න. නිව්නට පස්සෙ ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය වෙලාවට ගන්නකම්.
පිළිගන්වන කොට වීදුරුවකට අයිස් කැට පුරව ගන්න වීදුරුවෙන් 1\4ක්. ඒකට උඩින් අර කලින් හදාගත්තු කහට එකතු කරන්න වීදුරුවෙන් 3\4ක් පිරෙනකම්.
ඒකට උඩින් මිල්ක් මේඩ් මේස හැන්දකුයි උකුවට හදාගත්තු පිටිකිරියි එකතු කරගන්න වීදුරුව පිරෙනකම්.
Cocktail stirrer එකක් එකක් හරි දිග හැන්දක් එක්ක හරි පිළිගන්වන්න බොන කෙනාටම මික්ස් කරගන්න පුළුවන් විදියට.
- aniwa.lk