අපි කාට කාටත් කේන්ති ඇතිවෙන වෙලාවල් තියනවා. සමහරුන්ට කේන්තියක්, තරහක් ඇතිවෙන්නෙ ඉතාම කලාතුරකින්. තවත් සමහරුන්ට සුලු දේකටත් ලොකුවටම කේන්ති යනවා. ඒ විදිහට කේන්ති යන එකට අපි කියන්නෙ ක්ෂණික කෝපය, එහෙමත් නැත්නම් හදිසි කෝපය කියලයි. හුඟක් අයට ඉක්මනට කේන්ති ගියත් ඒ අය තමන් ක්ෂණිකව කෝප වෙන පුද්ගලයෙක්ය කියල පිළිගන්න කැමති නෑ. ඒ අය හිතන්නේ සමාජ අසාධාරණකම් නිසා, අනිත් අය තමන්ට හිරිහැර කරන නිසා තමයි තමන්ට සාධාරණ කේන්තියක්
යන්නේ කියල. එතකොට තවත් සමහරු ඉන්නවා තමන්ට ඉක්මනට කේන්ති යන බව ඒ අය දැනගෙන හිටියත් ඒගොල්ලො ඒ තත්ත්වය එච්චර ගණන් ගන්නෙ නෑ. ඉක්මනට කේන්තිය පිට කරල හිත සැහැල්ලු කරගන්න එක සෞඛ්‍යයට හොඳයි කියල තමයි ඒ විදිහෙ හුඟ දෙනෙක් හිතන්නෙ.
ඉතින් මේ කොයි විදිහෙ අයටත් දැනුවත් වෙන්න කියලා ක්ෂණික කෝපය ගැන ඔයාල වැඩිපුර අවධානය යොමු කරන්නේ නැති කරුණු කාරණා ටිකක් තමයි අපි මේ කියන්න යන්නෙ. මේක කියවන ඔයා කේන්ති නොයන කෙනෙක් නම්, “අයියෝ මට නම් කේන්ති යනවා හොරයි” කියල මේ ලිපිය නොකියවා ඉන්න එපා. සමහර විට ඔයාගෙ හිතවතෙක් මේ විදිහේ හදිසි කේන්ති කාරයෙක් වෙන්න පුලුවන්. ඒ වගේ කෙනෙක්ට උදවුවක් වෙන්නත් මේ ලිපිය කියවීමෙන් ඔයා ලබන දැනුම ප්‍රයෝජනවත් වෙයි.
1. කොහොමද මේ ක්ෂණික කෝපය ඇතිවෙන්නෙ?
ක්ෂණිකව කෝපයක් ඇති වෙන්න එක විදිහක් කියලා නෑ. හුඟක් වෙලාවට අපේ හිතේ එකපාරට කෝපයක් ඇති වෙන්නෙ අපි අකමැති විදිහට පුද්ගලයෙක් හැසිරුණාම සහ අපි අකමැති සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුනාමයි. මීට අමතරව පැරණි අමිහිරි මතකයක් ආයෙ මතක්වීමෙන් වගෙත් හදිසි කෝපය ඇවිස්සෙන්න පුලුවන්.
හදිසි කෝපයක් ඇති වෙන්න මූලිකවම බලපාන කාරණාව තමයි තමන්ට උවමනා විදිහට දේවල් සිද්ද නොවෙන එක. එහෙම වෙද්දි තමන්ගේ හිතට යම්කිසි තර්ජනයක්, බියක් සහ දුකක් වැනි අනාරක්ෂිත හැඟීමක් දැනෙන්නට පටන් ගන්නවා. අන්න ඒ හැඟීම වළක්වන්න ආරක්ෂිත ක්‍රමයක් හැටියට තමයි මේ කෝපය කියන එක අපේ හිතේ ඇතිවෙන්නෙ. ක්ෂණිකව කෝපය ඇතිවීමෙන් කරන්නේ අර අනාරක්ෂිත හැඟීමෙන් අපේ අවධානය වෙනතකට හරවන එකයි.
2. ඇයි සමහරුන්ට අනිත් අයට වඩා ක්ෂණිකව කෝපය ඇති වෙන්නෙ?
ක්ෂණිකවම කෝපයට පත් වෙන, ඒ නිසා එදිනෙදා ජීවිතේදි නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙන පිරිසක් ඉන්නවා. ඒ අයට අනිත් අයට වඩා ඉක්මනින් කේන්ති යන්න බලපාන හේතු කීපයක්ම තියනවා. ඉන් එක හේතුවක් තමයි මේ කේන්තිය කියන එක ජාන වලින් එන්න පුලුවන් වීම. ඒ කිවුවෙ මේ ක්ෂණික කෝපය පරම්පරාවෙන් පැවතගෙන එන්න පුලුවන් කියල නවීන පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියනවා (දැන් මේකට ක්ෂණිකව කෝප වෙලා අම්මා තාත්තා එක්ක අඩව් අල්ලන්න යනවා නෙමෙයි ඕං). බලාපොරොත්තු කඩවීම් වගේ දේවල් දරාගැනීම අතින් මේ අයගෙ මානසික ශක්තිය දුර්වල තත්ත්වයේ පැවතීමත් මීට හේතුවෙනවා. මීට අමතරව කුඩා කාලේ සිටන් ගැටුම් වැටුම් මැද, අවුල් වියවුල් මැද ජීවත් වෙන්න සිද්ද වුන පුද්ගලයනුත් කල්යාමේදී ක්ෂණික කෝපය ඇති තැනැත්තන් බවට පත්වන්නට පුලුවන්ලු.
3. මොනවද මේකෙන් වෙන්න පුලුවන් හානි?
ක්ෂණික කෝපය නිසා ඇතිවෙන්න පුලුවන් සමාජීය ප්‍රශ්න ගැන අමුතුවෙන් විස්තර කරල දෙන්න අවශ්‍ය නැහැනෙ. පොඩි දේටත් කේන්ති ගිහින් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන අයත් එක්ක වැඩි ආශ්‍රයක් පවත්වන්න හුඟ දෙනෙක් කැමති නෑ. යාලුවො, හිතවතුන්ගෙ ප්‍රශ්න වල ඉඳන්, රැකියා ප්‍රශ්න, පෞද්ගලික සම්බන්ධතා වල ප්‍රශ්න පවා ඇතිවෙන්න පුලුවන් මේ ක්ෂණික කෝපය නිසා. සමහරු මේ කෝපය පාලනය කරගන්න බැරුව අනිත් අයගෙන් පළිගන්න ක්‍රමත් හොයනවා. අපි ඔය නිතර දෙවේලේ ප්‍රවෘත්ති වලින් එහෙම දකින්නෙ “ක්ෂණික කෝපය නිසා ජීවිතයක් අහිමිවේ” වගේ දේවල්. අන්න ඒවා මේ තත්ත්වය හරි හැටි තේරුම් අරගෙන පාලනය කර නොගැනීම නිසා වෙන්න පුලුවන් භයානක ප්‍රතිඵල.
ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා ඒ අයට ක්ෂණිකව කෝපය ඇති උනත් ඒ අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ. ඒක හිතේ තද කරගෙන ඉන්නවා. මේකත් බොහෝම භයානක තත්ත්වයක්. එහෙම හිතේ කෝපය සඟවාගෙන සිටීමෙන් මේ කෝපය වෙනත් ආකාරවලින්, වෙනත් නිවැරදි සහ අහිංසක පුද්ගලයන් හරහා පිටවෙන්න පුලුවන්. ඒ නිසා තරහ පාලනය කරනව කියල තරහ යටපත් කරන් ඉන්න එකත් හොඳ වැඩක් නෙමෙයි. ක්ෂණික කෝපය නිසාත්, කෝපය හිතේ තදකරගෙන සිටීම නිසාත් ඇතිවෙන්න පුලුවන් සෞඛ්‍ය ගැටලු බොහොමයක් තියනවා. හිසේ සහ උදරයේ වේදනා, ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ, අනිද්‍රාව (Insomnia), ආතතිය, අධික රුධිර පීඩනය, කුෂ්ට දද වැනි චර්ම රෝග සහ හදවත් රෝග ඉන් සමහරක්.
4. ක්ෂණික කෝපය වළක්වාගන්න අවශ්‍ය නම් හිතන්න ඕනෙ දේවල්
දැන් ඔයාල සමහරක් හිතයි තරහ හිතේ තදකරන් ඉන්න එක වැරදියි නම් තරහ පිට කරන එකේ අවුලක් නෑනෙ කියල. ඇත්ත, තරහ පිට කරන්න ඕනෙ. හැබැයි ඒක හිතුමතේ කරන්න බෑ. ටිකක් හිතල මතලයි ඒ දේ කරන්න ඕනෙ. එතකොටයි ක්ෂණික කෝපය කියන දුර්වලතාවය වළක්වගන්න පුලුවන් වෙන්නෙ. හරි විදිහට තරහ පිටකරන්නෙ කොහොමද කියන එක ගැන පහතින් කියවන්න ලැබෙයි ඔයාලට.
ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න යන්න එපා
ක්ෂණිකවම කෝපයට පත් උනා කියමු. මේ වගේ වෙලාවට අපේ හිතට කෝපය ඇතිකරන්න මුල් වෙච්ච පුද්ගලයට හරි සිද්ධියට හරි ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන්නනෙ අපි පුරුදු වෙලා ඉන්නෙ. සමහරු අත පය විසිකරගන්න යනවා, තවත් අය අනිත් පැත්තට බනිනවා පලු යන්න, එහෙමත් නැත්නම් බඩු මුට්ටු පොලේ ගහන අයත් ඉන්නවා. මේ වැඩේ හරිම වැරදියි. කෝපයට බැහැ බිඳුණු හිතක් කෙසේ වෙතත් බිඳුණු බඩුවක්වත් යථා තත්ත්වයට පත් කරන්න. ඒ නිසා ක්ෂණික කෝපයක් ඇති වුන වෙලාවකදි ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. ඒකෙන් කෝපය නිසා ඇතිවන තවත් ප්‍රශ්න ගොඩක් වළක්වන්න පුලුවන් වෙයි. ඒත් එක්කම හිතන්න ඕනෙ දෙයක් තමයි මේ ලෝකෙ සිද්ද වෙන දේවල් හැම දෙයක්ම අපිට පාලනය කරන්න බැරි බව. අපිට කරන්න පුලුවන් හොඳම දේ තමයි අපිව පාලනය කරගන්න එක. මෙන්න මේ සිතුවිල්ල ඇති කරගෙන අපිව තාවකාලිකව හරි පාලනය කරගන්න එක වැදගත්. එහෙම ඉන්න අමාරුයි නම් කරන්න තියෙන්නෙ ක්ෂණික කෝපය ඇති වෙච්ච ස්ථානයෙන් ඉවතට යන එකයි.
සිදුවීම ගැන ආයෙත් පාරක් හිතන්න
ක්ෂණික කෝපයක් ඇතිවෙන්න බලපාන ප්‍රධාන හේතු කීපයක්ම තියනවා කියල අපි කලිනුත් කිවුවනෙ. අපිව අසාධාරණේකට ලක්වෙලාය, අපිව රිද්දන්න අනිත් අය අරමුණු කරගෙනය, අපිව ප්‍රතික්ෂේප වෙලාය වගේ හැඟීම් ඇතිවෙද්දි අපිට ඉබේම කේන්ති යනවා. ඒ කේන්තිය ඔස්සේ අපි ප්‍රචණ්ඩකාරීව, කලබලකාරීව හැසිරෙන්න ගන්නවා. එතැනදී අපි හිතන්නෙ අපිට කේන්ති ගන්න හරි සාධාරණ අයිතියක් තියනවා කියලයි. ඇත්ත. අපිව හිතාමතාම අසාධාරණේකට ලක්වෙන්න පුලුවන්. සාධාරණ කේන්තියක් ඇති වෙන්නත් පුලුවන්. ඒ උනත් අපි හිතන්න ඕනෙ දේ තමයි කේන්තිය සාධාරණ උනත් නැතත් මේ කේන්තිය පිට කිරීම සාධාරණද නැද්ද කියන කාරණය ගැන. මොකද අපේ කේන්තිය අපිට කෙහොම සාධාරණ විදිහට පෙනුනත් ඇත්තටම ඒ කේන්තිය ඒ තරම් සාධාරණ නැති වෙන්න පුලුවන්. එහෙම අවස්ථාවක අපේ වටේ පිටාවෙ මිනිස්සු අපිව දකින ආකාරය අනුව අපේ තත්ත්වය හෑල්ලුවට ලක්වෙන්නත් පුලුවන්. ඒ නිසා මේ කේන්තිය පිට කරන්න කලින් ඒක ඇති වෙච්ච හේතුව ගැන පැති කීපයකින් සොයා බැලීම කල යුතුයි. අපේ පැත්තෙන් කේන්ති යන්න හේතුව වගේම අපිට කේන්තිය ඇති කරවන්න සමත් වෙච්ච අනිත් පාර්ශවය හෝ සිදුවීම ගැනත් ඒ පැත්තෙන් අපි හිතන්නට ඕනෙ. පොඩ්ඩක් තමන්ගෙ ආවේග මැඩගෙන මේ ගැන හිතන්න බලන්න පුලුවන්නම් කේන්තිය නිසා නැති ප්‍රශ්න ඇතිවීම වළක්වගෙන ප්‍රශ්නය විසඳගන්න පුලුවන්. අපි කියන්නේ කේන්තිය හිතේ හිර කරගෙන ඇරියස් තියාගන්න නෙමෙයි, හරි විදිහට ප්‍රශ්නය තේරුම් අරගෙන සාර්ථක විදිහට කේන්තිය පිට කරන්න කියලයි. මොකද කේන්තිය නැති කරගන්න එක පිටින් විතරක් වෙලා මදි. තමන් අභ්‍යන්තරයෙනුත් කේන්තියෙන් මිදෙන්න ඕනෙ.
කේන්තිය පිට කරන්න හරිම පාර
දැන් මේ සියල්ල කල්පනා කලාට පස්සෙ අපිට කෝපය ඇතිවුනේ යම්කිසි සාධාරණ හේතුවකටය කියල අපිට ඒත්තු ගියා කියමුකො. එතකොට අපි අපිට ඇතිවේච්ච කෝපය පිට කරන්න එපැයි. ඒ කිවුවෙ අදාල පුද්ගලයා හෝ සිදුවීම උදෙසා අපි අපේ අදහස පල කරන්න ඕනෙ. මේ දේ අනිත් කෙනාට කියද්දි අපිට කෝපයක් ඇති වෙච්ච සිදුවීමට අරහෙන් මෙහෙන් විශේෂණ පද දාල, තවත් ලුණු ඇඹුල් එකතු කරන්නේ නැතිව තමන්ගේ මතය පැහැදිළිව කියන එක තමයි හරිම විදිහ. මේ පිටකිරීම අපහාසයකින් තොරව තමයි සිද්ද වෙන්න ඕනෙ.
තවත් කෙනෙක්ගේ හිත රිද්දල කේන්තිය එවෙලේට නැති කරගන්න පුලුවන් උනත් ඒක පසු කාලෙකදි ඔයාගෙ පසුතැවිල්ලට හේතු වේවි. ඒ නිසා මේ කේන්තිය ගැන කියන්න ඕනෙ “මම හිතනවා මේ දේ වැරදියි කියලා” වගේ ස්වරයකින්. එහෙම නැතුව “අරය කිවුව, මෙයත් කිවුව, තමුසේ හැමදාම ඔහොමමයි” වගේ ආකාරයකින් මේ තරහ පිට කරන්න යන්න එපා. එහෙම උනොත් තරහ ඇති කරපු පුද්ගලයත් එක්ක සිද්ද වෙන සංවාදයක් සාර්ථක නොවෙන්න පුලුවන්. ඔයාට ක්ෂණික කෝපය ඇතිකරපු ගැටලුවට විසඳමක් නොලැබෙන්නත් පුලුවන්. තමන්ගෙ පවුල් ජීවිතේ ඇතුලෙදි මේ විදිහෙ ගැටුම්කාරී අවස්ථාවලට මුහුණ දෙන හැටි සහ ඒ වගේ වෙලාවකදි නොකල යුතු දේවල් ගැන අපේ ලිපි කියවීමෙනුත් කෝපය ඇති කරන ගැටුම්කාරී අවස්ථා මගහරවා ගන්න හැටි ගැන අවබෝධයක් ගන්න ඔයාට පුලුවන් වේවි.
ක්ෂණික කෝපය නිට්ටාවට සුව කරගන්න… කෝපයට හේතුව හඳුනාගන්න
අපි කලිනුත් කිව්වනෙ ක්ෂණික කෝපය කියන්නෙ අපිට දරාගන්න බැරි හැඟීම් වලින් අපේ අවධානය කඩන්න ඇතිවෙන එක්තරා ආරක්ෂිත ක්‍රමවේදයක් කියල. සමහර වෙලාවට අපිට උහුලන්න බැරි විදිහේ හැඟීමක් එක්ක සටන් කරනවට වඩා අපිට ලේසියි කෝපය මගින් ඒ හැඟීම යටපත් කරල දාන එක. අන්න ඒ වගේ අවස්ථාවලදි තමයි කෝපය ඉස්මතු වෙන්නේ. හැබැයි ඉතින් ඒ වෙලාවට කෝපය විසින් අපිට දරාගන්න බැරි හැඟීම යටපත් කරල දැම්මට ඒකෙන් ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. නැවත දවසක ඒ ප්‍රශ්නෙම ඇතිවෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් කෝපයෙන් ක්‍රියා කිරීම නිසා වෙනත් ප්‍රශ්න වලට මග පෑදෙන්න පුලුවන්. ඒ නිසා මේකට හොඳම විසඳුම තමයි කෝපය ඇතිවීමේ මූලය හොයාගෙන ගිහින් ඒක නැති කරල දාන එක.
ඒක කරන්නේ මෙහෙමයි…
ඔයා නිතර කෝප වෙන කෙනෙක්නම් නිවී හැනහිල්ලේ හිතල බලන්න ඔයාව ක්ෂණිකව කෝපයට පත් කරපු මෑත කාලීන සිදුවීම් කීපයක් ගැන. ඒ ඔස්සේ ගිහින් කල්පනා කරල බලන්න ඔයා කෝපයට පත්වුණේ ඒ සිදුවීමෙන් ඔයාට මොන විදිහෙ හැඟීමක් ඇතිවෙච්ච නිසාද කියල. දුකක්, ඊර්ෂ්‍යාවක්, බයක්, ලැජ්ජාවක්, පසුතැවිල්ලක්, බලාපොරොත්තු කඩවීමක්, තනිකමක් වගේ ගොඩක් හේතු නිසා කෝපය කියන දේ මතු වෙන්න පුලුවන්. ඒ හැඟීම් අතුරින් ඔයාව කෝප ගන්වන්න සමත් වෙච්ච හැඟීම තෝරල බේරල තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්න ඒ හැඟීම තමයි ඔයාට පාලනය කරගන්න බැරි හැඟීම වෙන්නෙ. ඉතින් මේ හැඟීම හොයාගත්තට පස්සෙ ඔයාට පුලුවන් කෝපයක් ඇති වෙච්ච වෙලාවක කල්පනා කරල බලන්න “මට කේන්ති ගියේ මෙන්න මෙහෙම හැඟීමක් ඇති වෙච්ච නිසාද?” කියල. ඒ වගේම තමන්ව දුර්වල කරන හැඟීමත් එක්ක හිතින් තර්ක කරල අනාගතේ ඒ හැඟීම නිසා ඇතිවෙන දුක අඩු කරගන්නත් පිළියම් යොදන්න පුලුවන්.
මේ හැඟීම් ගැන හොඳ අවබෝධයක් ලබාගන්න උදවුවෙන එක ක්‍රමවේදයක් තමයි දින සටහන් පොතක තමන්ගෙ හිතුවිලි සටහන් කරන එක. තමන්ට තමන් අවංක වෙලා කේන්ති යන අවස්ථාවලදී තමන්ට ඇතිවෙච්ච සිතුවිලි සටහන් පොතක ලියා දැම්මොත් පසුව මේවා කියවලා ඔයාට ඔයා ගැනම සෑහෙන අවබෝධයකට එන්න පුලුවන් වේවි.
කෝපය ඇති කරන එදිනෙදා සිදුවීම් එක්කත් එකඟතාවයකට එන්න
එදිනෙදා ජීවිතේදි මුහුණ දෙන්නට වෙන හිතට වදදෙන සමහර සිදුවීම් නිසාත් අපි නිතර කේන්තියට පත් වෙන්න පුලුවන්. අන්න ඒ විදිහෙ සිදුවීම් වලට විසඳුම් හොයාගන්න හෝ ඒ සිදුවීම් වලින් ඈත් වෙන්න කටයුතු හදාගන්න බලන්න. වැඩට යද්දි හැමදාම ට්‍රැෆික් වලට අහුවෙන නිසා කේන්ති යනවානම් විකල්ප මාර්ග සහ වේලාසන වෙලාවක් යොදාගෙන රැකියාවට පිටත් වෙලා බලන්න. ගෙදර කෙනෙක්ගෙ අපිළිවෙල ඔයාව කේන්ති ගස්සනවනම් ඒ කෙනා එක්ක සාකච්ඡා කරල විසඳුමකට එන්න බලන්න. හැමාදම රෑට අල්ලපු ගෙදර මනුස්සය බීල පාරේ කෑ ගහනවනම් ඒ වෙලාවට ඒ සද්දෙ මගඇරල ඉන්න පුලුවන් ක්‍රමයක් ගැන හිතන්න. මේ විදිහට තමන්ව නිතර කේන්ති ගස්සන දේවල් අඳුරගෙන ඒවා එක්ක තියන ගැටීම වලක්වන්න උත්සාහ ගන්න.
ව්‍යායාම සහ සංගීතය
හදිසි කෝපයට ගැලපෙනම බෙහෙත් දෙකක් තමයි ව්‍යායාම සහ සංගීතය කියන්නෙ. ආතතිය ඇති අවස්ථාවක පොඩි රිලැක්සින් මියුසික් එකක් දාගෙන ඇහුම්කන් දෙන්න. හිතේ අවුල් වෙලාවකට පොඩි වෝක් එකක් දාන්න. අත පය විසි කරල ව්‍යායාම ටිකක් කරන්න. ඒ වගේම කෝපය පාලනය කරගන්න හොඳම ව්‍යායාමයක් තමයි හුස්ම ගැනීමේ ව්‍යායාම කියන්නෙ.
5. තරහ ඇතිවෙන්න මූලික වෙන මේ කාරණා ගැනත් අවබෝධයකින් ඉන්න
අපි බහුතරයක් දෙනා ගත කරන්නෙ ඉතාම කාර්යබහුල ජීවිතයක්. මේ කාර්ය බහුලත්වය නිසාම අපේ ශරීර සහ මානසික සෞඛ්‍යය ගැන හිතන්නවත් අපිට වෙලාවක් නැතිවෙලා තමයි තියෙන්නෙ. කාර්යබහුලත්වයට ජීවිතේ හුරුකර ගැනීමේදී අපේ මානසික සහ ශාරීරික යහපැවැත්මට උපකාරී වන සමහර පුරුදු අපෙන් අත්හැරෙනවා. මේ දේවල් ක්ෂණික කෝපය ඇතිවීම කෙරෙහිත් වක්‍රාකාරව බලපාන්න පුලුවන්.
යහපත් නින්ද
නින්ද කියන්නෙ අපිට අත්‍යාවශ්‍යම සාධකයක්. අපේ ශරීරයට අවශ්‍ය තරම් නින්ද නොලැබී යාමෙන් අපිව ආතතියට පත් වෙන්නටත්, අපේ දරාගැනීමේ ශක්තිය හීන කරල අපිව ඉක්මන් කේන්තියට පත් කරන්නටත් නින්ද ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතු වෙනව.
ආතතිය
නින්ද නොමැති වීම නිසා වගේම තවත් හේතු රැසක් නිසා ආතතිය ඇති වන්නට පුලුවන්. එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, කාර්ය බහුලත්වය, ලෙඩරෝග වගේම අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් ආතතිය ඇති වෙනව. ආතතිය කියන්නෙ හදිසි කේන්තිය ඇති කරන්න පාර කපන ප්‍රධාන සාධකයක්. ඒ නිසා ආතතිය කියන එක අපේ ජීවිත වලින් ඈති කරන්න නිසි ක්‍රියාමාර්ග ගන්න එක වැදගත්.
මත්පැන් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතය
මත්පැන් සහ මත්ද්‍රව්‍ය කියන්නෙ මිනිස්සුන්ගෙ ආවේගශීලී බව වැඩි කරන්නට, තීරණ ගැනීමේ හැකියාවට බාධා ඇති කරන්නට සමත් දේවල්. අධික ලෙස මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආතතිය ඇතිවීමටත් හේතු වෙනවා. ක්ෂණික කෝපය ඇති කරන්නටත් මත්පැන් ඉවහල් වෙනවා. මේ ගැනත් අවබෝධයෙන් ඉන්න එක වැදගත්.
නිසි පෝෂණය
ශරීරයට සමබර පෝෂණය ලබාදෙන ආහාරවේලි නිසි පරිදි ලබාගැනීමත් ඉතා වැදගත් කාරණයක්. පෝෂණය සහ ආහාර නිසි පරිදි නොලැබී යාම නිසාත් අපේ මානසික සමබරතාවය බිඳී යන්නට පුලුවන්. ඒකත් කේන්ති ඇතිවීමට බලපාන සාධකයක්
රෝගාබාධ
ශරීරය දුර්වල අවස්ථාවල, රෝගයක හෝ ආබාධයක වේදනාවකින් පීඩා විඳිමින් ඉන්න අවස්ථාවලදීත් අපේ මානසික දරාගැනීමේ ශක්තිය පිරිහෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි කෝපයෙන් ප්‍රතිචාර දැක්වීමේ සම්භාවිතාවය ඉහලයි. ඒ නිසා නිසි ව්‍යායාම, පෝෂණය සහ ප්‍රතිකාර මගින් ඔබේ සෞඛ්‍ය ගැටලු අවම කරගෙන යහපත් සෞඛ්‍යයෙන් පසුවීම ඉතා වැදගත්.
6. බැරිම තැනකදී උපදේශන සේවාවක පිහිට ගන්නත් පැකිලෙන්න එපා
ක්ෂණිකව කෝපයට පත්වීම ඔයාගෙ දුර්වලතාවයක් කියල ඔයා හඳුනගෙන ඉන්නවනම්, මේ සඳහා විසඳුම් හෙවිය යුතුයි කියලා ඔයාට හිතෙනවනම් ඔයා නිවැරදි මාවතක ගමන් කරමිනුයි ඉන්නෙ. අපි මේ කියන පියවර වලිනුත් නිසි සහනයක් ලබා ගන්න බැරි උනානම් ඔයාට පුලුවන් මනෝවෛද්‍යවරයෙකුගෙ පිහිටක් පතන්න. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වගේ උපදේශන සේවාවක පිහිට ලබල මේ ගැටලුවෙන් සහනයක් ලබාගන්න.
- aniwa.lk
හදිසි කෝපය ගැන මේ කරුණු ටික දැනගත්තොත් ඔයාගෙ එදිනෙදා ජීවිතේට සෑහෙන වාසියක් වේවි
2018-04-27T02:39:00-07:00
Gossip Lanka Hot News
slide|