ෆ්‍රයිඩ් රයිස් වලට රෙසිපි 5ක් මොකටද කියල හිතුව
නේද? මේ සාමාන්‍යයෙන් හැමදාම කරන රයිස් නෙවෙයි. වෙනස්ම විදියට වෙනස් වෙනස් රසයන් ගන්න හදාගන්න පුළුවන් රෙසිපි 5ක්. හදන්නත් ලේසි නිසා විශේෂයක් ඕන උන දවසක ලේසියෙන්ම හදාගන්න මේන්න මේ රෙසිපි ටික කියවලම බලන්න.
1. Omurice
මේක ජපන් රයිස් එකක්. බටහිරින් ඔම්ලට් එකත් ජපන් ෆ්‍රයිඩ් රයිස් එකත් එකතු වෙලා හැදුන ෆියුශන් එකක් කිව්වොත් නිවැරදියි. ලේසියෙන් ඉක්මණින් හදාගන්න පුළුවන් මේ රයිස් එක වැඩිය සැරට හදන එකක් නෙවෙයි වගේම කෙචප් එහෙම දාල හදන නිසා පොඩි අය නම් ඉහලින්ම කැමති වෙයි.
- පිස ගත් බත් කප් 2
- චොප් කරගත් ලූනු ගෙඩියක්
- කුඩාවට කපා ගත් කටු රහිත චිකන් කප් 1 ½ හෝ කැමති මස් වර්ගයක්
- කපාගත් කැරට්, ලීක්ස් කප් 1\2
- කෝන් ඇට මේස හැඳි 3ක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- කෙචප් මේස හැඳි 2
- සෝයා සෝස් තේ හැන්දක්
- බිත්තර 2ක්
- කිරි මේස හැන්දක්
- චීස් මේස හැඳි 3ක්
- තෙල් සහ බටර්
- බටර් ටිකක් තෙල් ස්වල්පයක් එක්ක රත් වෙන්න තියල ඒකට චිකන් ටික දාල බැදෙන්න අරින්න. චිකන් ටික බැදුනට පස්සෙ ඒකට ලූනු, එලවලු සහ කෝන් ටික එකතු කරන් තෙම්පරාදු කරගන්න.
- ඒකට බත් ටික එකතු කරන් හොඳින් කලවම් කරගෙන කෙචප්, සෝයා සෝස් සහ ගම්මිරිස් කුඩු එකතු කරන් කලවම් කරගන්න.
- බිත්තර සහ කිරි එකට දමා හොඳින් ගසාගෙන නන්ස්ටික් පෑන් එකකට බටර් දමා ඔම්ලට් එකක් සාදාගන්න.
- ඔම්ලට් එක හොඳින් පිසුණු පසු එහි එක පැත්තකට චීස් ටිකක් දමාගෙන ඒ මතින් පිසගත් රයිස් එක දමාගන්න. ඔම්ලට් එක අනෙක් පස නවා බත් ටික ඔතාගෙන පිඟානකට දමා කෙචප් සහ පිපිඥ්ඥා පෙති කීපයක් සමඟ පිළිගන්වන්න.
2. American Fried Rice
මේක අමෙරිකන් රයිස් කියල කිවුවට තායි ඩිශ් එකක්. වියට්නාම් යුධ සමයේදී තායිලන්තයේ හමුදා කඳවුරු වල හිටපු අමෙරිකානු සොල්දාදුවන්ට කන්න මේ ඩිශ් එක නිර්මාණය වුනා කියලයි කියන්නෙ.
- චොප් කරගත් ලූනු ගෙඩියක්
- තලාගත් සුදු ලූනු බික් 2ක්
- කොටු කපාගත් කැරට් කප් 1\4
- ග්‍රීන් පීස් කප් 1\4
- කෝන් ඇට මේස හැඳි 3ක්
- පිස ගත් බත් කෝප්ප 3ක් (ශීතකරණයේ තබාගත් බත් නම් වඩාත් සුදුසුයි.)
- සෝයා සෝස් මේස හැන්දක්
- තක්කලි සෝස් මේස හැඳි 2ක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු
- බිත්තර 2ක්
- සොසේජස් 4ක් 2ක්
- බැදගත් චිකන් ඩ්‍රම්ස්ටික්
- ඉඩකඩ ඇති භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි 3ක් පමණ එක් කර රත් වෙන්න හරින්න. එයට ලූණු, සුදු ලූනු සහ කැරට් එක් කර තෙම්පරාදු කරගන්න.
- එයට ග්‍රීන් පීස් සහ කෝන් ටික එක් කර පිසගත් බත් එක් කරගන්න. එයට තක්කලි සෝස්, සෝයා සෝස්, රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු මිශ්‍ර කර ගෙන තරමක් වැඩි ගින්දරේ කලවම් කරගන්න. හොඳින් කලවම් වූ පසු ලිපෙන් ඉවත් කරගන්න.
- සාදාගත් රයිස් එක බැදගත් සොසේජස්, බුල්සයි දමාගත් බිත්තර, බැදගත් චිකන් ඩ්‍රම්ස්ටික් සහ පෙති කපාගත් තක්කලි, පිපිඥ්ඥා සමඟ පිළිගන්වන්න.
3. Yin Yang Fried Rice
පාට සහ රස දෙකකින් එන සෝස් වර්ග දෙකක් සමඟ පිළිගන්වන මේ රයිස් එක චයිනීස් ෆ්‍රයිඩ් රයිස් වර්ගයක්. හැමදාම කන චයිනීස් ෆ්‍රයිස් රයිස් එකට වෙනසක් කරන්න කැමති නම් මේ විදියට හදල බලන්න.
- පිසගත් බත් කප් 2 (ශීතකරණයේ පැය දෙක තුනක් තබාගන්න)
- බිත්තර 3
- පිරිසිදු කරගත් ලොකු ඉස්සන් 12ක් පමණ
- කුඩාවට කපාගත් කටු රහිත චිකන් කප් 2ක්
- ග්‍රීන් පීස් කප් 1\2
- පෙති කපාගත් තක්කලි සහ ලූනු ගෙඩියක්
- රස අනුව ලුණු
- කෝන් ෆ්ලා මේස හැඳි 4ක්
- තක්කලි සෝස් කප් 1\2
- තෙල් සහ සීනි ස්වල්පයක්
- චිකන් වලට තෙල් මේස හැන්දක්, කෝන් පිටි මේස හැඳි 2, ලුණු සහ සීනි ස්වල්පයක් එක් කර මිශ්‍ර කර පසෙකින් තබාගන්න.
- භාජනයක් රත් වෙන්න තබා එයට තෙල් මේස හැන්දක් සහ ලුණු ස්වල්පයක් එක් කර එයට බත් ටික දමා හැන්දකින් හොඳින් කලවම් කරමින් කැට කඩාගන්න. එයට බිත්තර කහ මද පමණක් දමා හොඳින් බිත්තරය පිසෙන තුරු මිශ්‍ර කරගෙන බත් ටික පිලිගැන්විය හැකි රවුම් භාජනයකට දමාගන්න.
- තෙල් මේස හැන්දක් වෙනත් භාජනයක රත් වෙන්නට තබා එයට ඉස්සන් සහ ග්‍රීන් පීස් ටික එක් කර ඉස්සන් පිසෙන තුරු තෙම්පරාදු කරගන්න. එයට බිත්තර සුදු මද සහ ඉතිරි කෝන් පිටි හැඳි 2 එක් කරගත් වතුර කප් එකක් දමාගන්න. රස අනුව ලුණු එක් කරගෙන ඝණ වනතුරු සෝස් එක පිසගෙන පිසගත් බත් එක උඩින් යින් යැන් හැඩය එන ලෙස එක පැත්තකට දමාගන්න.
- නැවත තෙල් මේස හැන්දක් රත් වෙන්න තබා එයට චිකන් ටික එක් කර කලවම් කරමින් පිසගන්න. එයට තක්කලි, ලූනු සහ තක්කලි සෝස් එක් කර චිකන් ටික පිසගන්න. සීනි ස්වල්පයක් එක් කර පිසගත් චිකන් සෝස් එක බත් එකේ අනෙක් පසට දමා පිළිගන්වන්න.
4. Chilli Pork and Garlic Rice
සැරට කන්න කැමති අපේ අයට මේ රයිස් එක නම් අපූරුවට ගැලපෙනව. හැමදාම රයිස් වලට දාන එළවළු වලින් වෙනස් එළවළු ටිකක් එකතු කරල හදන මේ රයිස් එකට ඔයාලට කැමති මස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්.
- පිස ගත් බත් කප් 2
- තලාගත් සුදු ලූනු බික් 5ක්
- ඇට ඉවත් කරගත් වියලි මිරිස් කරල් 4ක්(කෑලි කපාගත්)
- තල තෙල්
- සීනි තේ හැඳි 1\2
- සෝයා සෝස් මේස හැඳි 1
- විනාකිරි තේ හැන්දක්
- රස අනුව ලුණු
- කපාගත් කැරට්, බෝංචි,කුඩාවට කඩාගත් කෝලිෆ්ලවර්, කිඩ්නි බීන්ස් කප් 1
- සිහින්ව කපාගත් ලූනු කොල මේස හැඳි 3
- කුඩාවට කපාගත් පෝක් කප් 1\2
- තල තෙල් ටිකක් රත් වෙන්න තබාගන්න. එයට මස් ටික එක් කර පිසගන්න. මස් ටික පිසුනු පසු එයට සුදු ලූනු සහ මිරිස් කරල් එක් කර තෙම්පරාදු කරගන්න. එයට කපාගත් එලවලු සහ බීන්ස් කප් 1 එක් කරගන්න.
- එලවළු තෙම්පරාදු වීගෙන එන විට එයට සෝයා සෝස්, විනාකිරි, සීනි රස අනුව ලුණු එක් කර තෙම්පරාදු කරගන්න. පිස ගත් බත් ටික මිශ්‍ර කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවත් කරගෙන අවසානයට ලූනු කොල එක් කර මිශ්‍ර කර පිළිගන්වන්න.
5. Caramelized Mushroom Fried Rice
නිර්මාංශ අයට ගැලපෙන රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක්. නිකම්ම වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් හැමදාම කන නිර්මාංශ කෙනෙක්ට මේ විදියට හදල දුන්නොත් හුඟක්ම ආසාවෙන් රස බලයි.
- පිසගත් බත් කප් 2
- කපාගත් බටන් මශ්රූම් කප් 1\2
- තලාගත් සුදු ලූනු බික් 2
- සිහින්ව කපාගත් ලූනු කොල මේස හැඳි 2ක්
- රස අනුව ලුණු, ගම්මිරිස්
- සෝයා සෝස් මේස හැඳි 2
- චොප් කරගත් ලූනු ගෙඩියක්
- සීනි තේ හැඳි 1\2
- භාජනයක් රත් වෙන්න තබා එයට සීනි ටික එක් කර වතුර තේ හැන්දක් දමාගන්න. සීනි ටික කැරමල් වූ පසු එයට සුදු ලූනු, ලූනු සහ මශ්රූම් ටික එක් කර එයටම බටර් මේස හැඳි 2ක් දමා මිශ්‍ර කරගන්න.
- මශ්රූම් ටික තෙම්පරාදු වූ පසු එයට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කර සෝයා සෝස් සහ පිසගත් බත් දමා මිශ්‍ර කර ගන්න. ලිපෙන් ඉවතට ගෙන අවසානයට ලූනු කොල දමා පිළිගන්වන්න.