ඔබව හදිසියේ සංත්‍රාසයට(Panic) පත් වුනොත් මොනවද කරන්න පුලුවන්?

ඉස්සර වගේ නෙවෙයි දැන් මිනිස්සු ජිවත් වෙනවා කියලා කරන්නේ රේස් එකක් දුවන එක. අපි ඒ රේස් එක නැවතුනොත් අපිව මිනිස්සු පහුකරගෙන යනවා, සමාජ තත්වය, සම්බන්ධතා, හිතවත්කම්, රස්සාව වගේ කාරණා නිසා අපි, අපේ සෞඛ්‍ය ගැනවත් හිතන්නේ නැතුව මේ දේවල් ළඟා කරගන්න මහන්සි වෙන නිසා සමහර ප්‍රශ්න වලදි අපිව ආතතියට, සංත්රාසයට පත් වෙන්නේ නිතැතින්. මේ තත්වයට
ඉංග්‍රීසියෙන් කියන්නේ panic attack එකක් කියල.

1. කොහොමද එහෙම panic attack එකක් අපිට එනකොට දැනෙන්නේ?

මෙහෙමයි. එක එක විදි වලට මේ panic attack එන්නට පුළුවන්, එය පුද්ගලයා අනුව සහ ඔවුන්ගේ මානසිකත්වය අනුව වෙනස් වෙනවා. කෙනෙකුට කිසිම තැතිගැනීමක් ඇති නොවන දෙයක් තව කෙනෙකුට සන්ත්රාසයට පත්වෙන්නට හොඳම හේතුවක් වෙන්නට පුළුවන්.

එහෙම වෙලාවට අපේ හද ගැස්ම වැඩි වෙලා, දහඩිය දමල, ශාරීරිකව අපහසුතාවන් වෙලා, සමහර වෙලාවට අපිව ගල් වෙනවා වගේ දැනෙන්නත් ඉඩ තියෙනවා.

මේ වගේ වෙලාවක අපේ තීරණ ගැනීමේ හැකියාවත් ඉතාම අඩු වෙනවා. කලබලේට කබලෙන් ලිපට වැටෙන වැඩ කරන්නත් ඉඩ වැඩියි. ඉතින් ඒ නිසා අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ වගේ හදිසියෙවත් ඔබට එහෙම කරදරයකට පත්වෙන්න වුනොත් ඒ වගේ වෙලාවට කරන්න ඕනේ දේවල් කිහිපයක් තමයි.

2. කලබල නම් වෙන්න එපා මහත්තයෝ

මිනිසෙකුට යම් කරදරයක් වෙනකොට ඔහුගේ/ ඇයගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙලා හදගැස්ම පිටට දැනෙන තරම් දැනෙන්නට ගන්නවා. එහෙත් අපි හොඳින් හුස්මක් අරගෙන ටිකකින් පිට කරලා, එකේ සිට දහයට ගණන් කිරීම. ඇස් පියවාගෙන හිත ඒකාග්‍ර කරගන්න උත්සහ කරන එක හරිම කදිම පිලියමක් වෙනවා.

ඒ නිසා මුලින්ම පපුව පිරෙන්න හුස්මක් අරගෙන සැහැල්ලු වෙන්න බලන්න, කායික ව වගේම මානසික වත්.

3. තමන් සන්ත්‍රාසයට පත් වෙලා කියලා පිළිගන්න

මේක තමයි වටිනාම කාරණාව. Panic attack එකක් ආවම ඔයා මුලින්ම පිළිගන්න ඕනේ තම කලබලයට පත් වෙලා සහ තමන්ට මේ අවස්ථාවේදී panic attack එකක් තියෙන බව. මොකද එහෙම වුනාම තමන්ට ඒ තත්ත්වයෙන් ගොඩ එන්නට පහසුයි.

විශේෂයෙන් අපේ වටිනා ආභරණයක්, වටිනා ලියකියවිලි මොනාහරි නැති වුනොත්, අස්ථාන ගත වුනොත් මුලින්ම කරන්නට තියෙන්නේ එහෙම අවස්තාවක හොඳින් හුස්මක් අරගෙන සැහැල්ලු වෙන එක. ඉන් පස්සේ කලබල නොවී තමාට panic attack එකක් එන්නට හේතුවුනේ කුමක්ද? තමන් දැන් බය වෙලා ඉන්නේ ඇයි? තමන් එයින් මිදෙන්නට උවමනා වෙන්නේ ඇයි? කියනා කාරණා ගැන සැලකිල්ලක් දක්වන්නට උවමනා වෙනවා.

4. සන්ත්‍රාසයේ දිග පළල හොයාගන්න

මේ කියන්න යන්නේ හිරවෙලා කලබල වෙලා තියෙන හිතට, ඇති වෙලා තියෙන panic attack එකෙන් තමන්ට කොතරම් බලපෑමක් එල්ල වෙලා තියෙනවද කියන එක ගැන තමා විසින්ම කල්පනා කරලා අවබෝධ කරගැනීම ගැනයි.

තවත් සරල කරලා කියනවා නම්, අපි කලබල වුනු සිදුවීම සම්පුර්ණයෙන් ම සවිස්තරව කල්පනා කරලා බලන එක ගැන තමා මේ කියන්නේ. අනික මේ ක්‍රමවේදය හරිම ප්‍රායෝගික ක්‍රියාකාරකමක්.

මේක පහසුවෙන් ම අවබෝධ කරදෙන්න පුළුවන් වෙන්නේ උදාහරණයක් මගින් තමයි.

හිතන්න අපිට කෝල් එකක් එනවා. අනික් කොනින් අපිට ඇහෙන්නට ගන්නේ තර්ජනයක්, සමහර විට මේ දේ නොකලොත් මරණවා වගේ තර්ජනයක් කියලා හිතමු, මෙහෙම කෝල් එකක් ආවාම හිත කලබල වෙන එක ස්වාභාවිකයි. මෙහෙම අවස්තාවක හේතු තුනක් නිසා මේ කෝල් එක එන්නට පුළුවන්.

i. පළමුවැන්න තමා මේක යාලුවෙක් ගේ විහිළුවක් වෙන්න පුළුවන්.

ii. වැරදි නොම්මරයකට ආපු වැරදි ඇමතුමක් වෙන්න පුලුවන්

iii. ඇත්තටම ඔබටම ආවා වෙන්නත් පුළුවන්.

දැන් අංක I සහ II නම් අවුලක් නැහැනේ. එහෙත් අංක III නම් එතන පොඩි අවුලක් තියෙනවා එහෙනම් කලබලා වෙලා පලක් නැහැ. කරන්න තියෙන්නේ පොලිසියට හරි වෙනත් වගකිවයුතු පාර්ශවයකට රපොර්තු කරල තමන්ගේ ආරක්ෂාව තරකරගන්න එක තමයි. නැතුව බය වෙලා හැංගිලා වැරදි තීරණයක් ගන්න එක නෙමෙයි. තමන්ව බියට පත් කරපු කාරණයේ නිවැරදි භාවය තහවුරු කරගැනීම තමයි මුලින්ම කරන්න ඕනෙ. තල් අත්තට බෙලිගෙඩිය වැටුන සද්දෙට අහස කඩා වැටෙනවයි කියල හිතපු හාවා වගේ වෙන්න එපා මෙතනදි.

මොකද අපි කලබලයට පත් වෙලා මේ බියට පත් වෙන එක හිතලා නවත්වන්න බැහැ. එහෙනම් අපිට මේ බිය අත්විඳින්නම වෙනවා. එහෙම වෙලා අපේ හිත තුලින්ම තමා නිවැරදි තීරණය අරගෙන එයින් එලියට එන්නට වෙන්නේ.

5. මේ සන්ත්‍රාසය මට දරාගන්න පුලුවන්ද?

කිසි දෙකට බය වෙන්න එපා. ඔබට මේ හැඟීම දරාගන්න පුළුවන්. ඔබේ ජීවිතේ පාලනය තියෙන්නේ ඔබේ අතෙයි. ඒ නිසා කිසිදු බයක් නැතිව ඔබ ඒ අවස්ථාවට මුහුණ දෙන්න. ඔබ එතරම්ම ශක්තිමත් පුද්ගලයෙක්!

මේ අදහසත් හිතේ දැඩිව තියාගෙන හැකි ඉක්මනින් යථා තත්ත්වයට, ඒ කිවුවෙ මේ සන්ත්‍රාසය ඇති වෙන්න කලින් ඔබ කර කර හිටපු වැඩේට යොමුවෙන්න බලන්න. උයමින් හිටියනම් උයන්න, ෂොපිං කර කර හිටියනම් නිවැරදිව බඩු තෝරගන්න අවධානය යොමු කරන්න. නැතිනම් මේ ප්‍රශ්නය ඔබේ වැඩ කටයුතු අඩාල කරල තවත් ප්‍රශ්න පත්තරයක්ම හදාවි.


6. ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියන්නේ ජිවත් වෙනවා කියන එකයි

ඒ නිසා හිස කෙලින් තබාගෙන බිය නොවී තමන්ට වුන හදිසි කරදරය ගැන සාවධානව කල්පනා කරන එක වටිනවා.

තමන් බය උනේ ඇත්තටද බොරුවටද? මේ බය කඩා වැටීම ඇතිවෙන්න හේතු උන කාරණේ මොකක්ද? ඒ කිවුවෙ ප්‍රේම සම්බන්ධෙද? පවුල් ප්‍රශ්නද? රැකියා ප්‍රශ්නද?. මේ ගැන හොඳින් හිතා බලන්න. මොකද අපේ ජීවිතේට වඩාත්ම බලපෑම් කරන විශේෂිත කාරණා තියනවා. මේ කාරණා පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. තමන්ට මේ ආකාරයෙන් බලපෑම් කරන කරුණ තේරුම් ගැනීම අනාගතේටත් ඉතාම වටිනවා.

7. හිත හදාගන්න ඔබගේ යස උරහිස දෙනවාද?

මේ වගේ දේවල් ඔබ නිරන්තරයෙන කතා බහ කරන හිතට හරිම සමීප කෙනෙක් ඉන්නවා ඒ වගේ කෙනෙක් එක්ක මේ දේවල්  සාකච්චා කරල, තේරුම් අරගෙන මේ කරුණු ගැන හිත සැහැල්ලු කරගන්න එක හරිම වටිනවා.

8. ඉදිරි අනාගතය උදෙසාත් මතකයේ තබාගන්න

යම් දෙයක් නිසා කලබලයට පත් වුනාම මොකද කරන්න ඕනේ කියලා අපි කිව්වනේ. ඒ වගේම ඉස්සරහට තමන්ට සන්ත්‍රාසයක් ආවොත් මොකද කරන්න ඕනේ කියලා බය වෙන්න එපා. එක අවස්තාවක මේ වැනි සිදුවීමකදි අපි ක්‍රියාත්මක වුනු විදිය ගැන කල්පනා කරලා මතකයේ රඳවා ගත්තම, ඉදිරියේ එන්නට තියෙන එවැන්නකට අමුතුවෙන් ලැහැස්ති වෙන්නට අවශ්‍ය නැහැ. සන්සුන් බව රැකගෙන, නිවැරදි මනසකින් අපි ඒ ප්‍රශ්නයට මුහුණ දුන්න අත්දැකීමේ මතකය ඔබව එවිට පෙරට වඩා ශක්තිමත් කරයි.

- aniwa.lk




gossip lanka