බර්ගර් එකට වගේම තව මොනවටද ගැලපෙන්නෙ කියලත් අපි කියන්නම්.
“කොච්චර රස උනත් ඕවා කොහොම හදනවද දන්නෙ නෑනෙ” කියල සෞඛ්‍ය ගැන හිතල KFC නොකන අයටත් තමන්ගෙ අතින්ම ගෙදරදීම හදල ඒ රස විඳින්න පුළුවන්. ඔන්න හදල බලල අපිට ප්‍රථිපල නොකියා ඉන්න ඔට්ටු නෑ හොඳද?
1. බර්ගර් හදන්න බන් එකත් ගෙදරම හදමු නේ?
මොන බර්ගර් එක හදන්නත් බන් එක එපැයි. බර්ගර් බන් එකක් කඩෙන් ගන්නත් පුළුවන්. නැත්නම් වේලිච්ච බන් එකක් කඩෙන් ගන්නවට වඩා රසට මෙන්න මේ විදියට ගෙදරම හදාගන්නත් පුළුවන්. ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ.
- පිටි කප් 2 1\4
- කිරි කප් 1\2
- වතුර කප් 1\4
- බටර් කප් 1\8
- යීස්ට් තේ හැඳි 1 1\8
- ලුණු තේ හැඳි 3\4
- බිත්තර 1\2 (බිත්තරයක් තරමක් ගසාගෙන එයින් බාගයක ප්‍රමාණයක් ගන්න)
- සීනි මේස හැඳි 1
- කිරි, වතුර සහ බටර් ටික සාස්පානකට දමා යන්තම් රත් කරගන්න.
- වෙනම ලොකු බඳුනක් ගෙන එයට පිටි කප් 1 3\4, යීස්ට්, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කරගන්න. කිරි මිශ්‍රණය අත දැමිය හැකි රස්නයට නිවා මේ පිටි එකට එක් කරගන්න. එයටම බිත්තර 1\2 ද එක් කර අනාගන්න.
- ඉතිරි පිටි ටික ටිකෙන් ටික එක් කරමින් අතේ නොඇලෙන මෘදු බෝලයක් වන තුරු හොඳින් අනාගන්න. අතේ නොඇලෙන පදමට ආ පසු පිටි ටිකක් ඉස ගත් මතු පිටක විනාඩි 8ක් 10ක් පමණ අනාගන්න.
- මේ පිටි මෝලියෙන් බන්ස් 6ක් හදාගන්න පුළුවන්. කොටස් 6 කට කඩාගෙන අතින් මෘදු බෝල සාදා බටර් ගාගත් තෙල් කඩදාසියක් දමා ගත් බේකින් තැටියක පරතරයක් ඇතුව තබා විනාඩි 30ක් 40ක් ලන්ච් ශීට් එකකින් වසා තබන්න.
- උඩින් බිත්තර සාරු පින්සලකින් තවරා තල ඇට ඉස සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 10ක් 12ක් රන් වන් පැහැ වනතුරු බේක් කරගන්න.
2. ඔන්න දැන් බහිමු වැඩේට
මෙන්න මේක තමා මෙච්චර කල් හොය හොය හිටිය රහස. ලෝභ නැතුව අපි ඔන්න ඔයාල එක්ක ඒ රහස බෙදාගන්නව අර මුෂ්ටි මේ මුෂ්ටි තියාගත්තෙ නෑ හොඳේ.
මැරිනේට් එකට
- ලොකු චිකන් බ්‍රෙස්ට් 1
- ලුණු මේස හැන්දක්
- සීනි තේ හැඳි 1
- සෝයා සෝස් මේස හැන්දක්
දවටනයට
- පාන් පිටි 100
- ලුණු තේ හැඳි 1\2
- ගම්මිරිස් තේ හැඳි 1
- චිකන් ස්ටොක් පව්ඩර් තේ හැඳි 1\2 (නැත්නම් නෝර් සුප් කැට 1\2)
- ගාලික් පව්ඩර් තේ හැඳි 1\2 (තිබේ නම් පමණක්)
- මිරිස් කුඩු තේ හැඳි 1
- බිත්තර 1
(සෝයා සෝස් සහ සීනි අපි යොදාගත්තෙ MSG සෞඛ්‍යට ඒ තරම් ගුණ නෑ කියල කියන නිසයි. MSG විරෝධියෙක් නොවෙන කෙනෙක්ට සෝයා සෝස් සහ සීනි වෙනුවට MSG තේ හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්)
- චිකන් බ්‍රෙස්ට් එක දෙකට මදින් කපා නැවත හරස් අතට කපාගන්න. සිහින් චිකන් පලුවක් එන ආකාරයට.
- සෝස්, සීනි සහ ලුණු ටික මිශ්‍ර කරගෙන චිකන් බ්‍රෙස්ට් එක වැහෙන ගාණට වතුර අරගෙන වතුරට සෝස් මිශ්‍රණය එක් කර චිකන් ටික එයට දමා පැය භාගයක් මැරිනේට් වෙන්න තියන්න.
- බිත්තරය හැර දවටනයට එන සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තරය වෙනම බඳුනක ගෑරප්පුවකින් තරමක් ගසා ගන්න. පැය භාගයක් මැරිනේට් වූ චිකන් කැබලි ගෙන පිරිසිදු වියලි රෙද්දකින් තෙත ගතිය පිසදාගන්න.
- චිකන් කැබලි පිටි මිශ්‍රණයේ දවටා අමතර පිටි ටික ගසා දමා බිත්තරයේ දවටා නැවත පිටි මිශ්‍රණයේ තවරා හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන් වන් පැහැ වනතුරු බැදගන්න. බැදගත් චිකන් ටික තෙල් බේරෙන්නට තබන්න.
3. දැන් ඉතින් බර්ගර් එක හදාගමු නේ
- කලින් හදාගත්තු හරි කඩෙන් ගත්තු හරි බර්ගර් බන් එක දෙකට මැදින් වෙන් වෙන්නම කපාගන්න. ගෙදර හදාගත්ත නම් නිවෙන්න තියල කපන්න.
- නන්ස්ටික් පෑන් එකක මේ බන් පලු දෙකේ ඇතුල් පැත්ත පොඩ්ඩක් ග්‍රිල් කරලම ගත්ත නම් වඩා හොඳයි. නැතත් කමක් නෑ.
- බන් එක ඇතුල් පැත්තෙ බටර් ටිකක් ගාගන්න. යට පලුව උඩින් බැදගත්තු චිකන් කෑල්ලක් තියාගන්න. ඒකට උඩින් මයොනිස් සෝස් ටිකක් දාගෙන ඒකට උඩින් චීස් ස්ලයිස් එකක් තියාගන්න. කපාගත්තු අයිස්බර්ග් ලෙටියුස් (ඒවා තමා KFC Zinger බර්ගර් එකේ තියෙන්නෙ.) නැත්නම් සාමාන්‍ය සලාද කොලයක් හරි තියල ඒකට උඩින් අනිත් බන් පලුව උඩින් තියාගන්න. එච්චරයි. ඔන්න අපි බර්ගර් එක හදාගත්තා.
4. තව මොනවද මේ චිකන් එකෙන් කරන්න පුළුවන්?
ලොකු චිකන් කෑලි නැතුව පොඩියට තීරු කපල කියපු විදියටම හදාගෙන මෙන්න මේ වගේ ගෙදරම හදාගත්තු චීස් කොත්තුවක් එක්ක කාල බලන්නකො රස. පොඩි පාර්ටි එකකට උනත් කියාපු කෑමක්. කෙබාබ් එකක් එහෙමත් හදල තිබ්බ නම් ඉතින් කාටවත් අඩුවක් කියන්නම බෑ.
With Fried rice
පොඩි පොඩි කෑලි කපල බැදලා ෆ්‍රයිඩ් රයිස් එකකට මික්ස් කරන්න එපා කියල අපිට කියන්න බෑනෙ. ඒකත් කරලම බලන්නකො රස.
With Biriyani
ඇයි බිරියානි එකකට? බිරියානි රයිස් එක හදලා මේ විදියට චිකන් ඩ්‍රම්ස්ටික් ටිකක් හදාගත්ත නම් කට්ටිය එපා නොකිය කයි.
With Anything
කට්ටිය කෑමටම විතරද මේක හදාගන්නෙ දැන්, හීනියට බියර් එකක් බොන්න මේක හදාගන්නෙම නැද්ද? බයිට් එකට ගන්නවනම් පොඩියට කෑලි කපාගන්න. නැත්නම් ඩ්‍රම්ලට් ටිකක් උනත් මෙහෙම හදාගන්න බැරි නෑ.
- .aniwa.lk