කරදර කම්කටොලු පිරුණු හිතක් සැහැල්ලු කරගන්න නොවරදින උපදෙස් 7ක් මෙන්න

හිතට කරදර කම්කටොලු එන්නේ කලින් කිය කියා නෙවෙයිනේ. හැබැයි එහෙම හිතට කරදර ආපු වෙලාවට ඉතින් ආයි වෙන මොන වැඩක්වත් කරන්න බැහැ. එක්කෝ කරදරේ ඉවරයක් වෙන්න ඕන, එහෙමත් නැතිනම් හිත ඔහේ හැදෙන්න ඕන. හැබැයි එහෙම ඔහේ දෙකෙන් එකක් වෙනකල් බලාගෙන හිටියොත් වෙන්නේ අනික් වැඩත් ඔක්කොම කොට උඩ යන එක විතරක් නෙවෙයි, අර හිත් තැවුලට හේතු වුණු කරදරේ ඉවරයක් කරගන්න කල්පනා කරන්න හිතේ නිදහසකුත් නෑ. අන්න ඒ
නිසා මේ උපදෙස් අනුව වැඩ කරලා අවුල් වුණු හිත හදාගන්න එක තමන්ට හොඳයි.

1. තීරණ ගන්න එපා

හිත කලබල වෙලා තියෙන වෙලාවක තීරණ ගන්න සිද්ධ වෙන එකෙන් වෙන නරක දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ තීරණ වරදින්න තියෙන සම්භාවිතාවය වැඩිවීම. දෙක තමයි තීරණ ගන්න වීම නිසාම හිත අනවශ්‍ය විදියට තවත් ව්‍යාකූල වීම. ඒ නිසා හොඳම දේ තමයි මේ වෙලාවේ තීරණ නොගෙන ඉන්න එක.

2. වෙන්න පුලුවන් නරකම දේ

මේ වගේ හිත කලබල වුණු වෙලාවක හිත උත්සාහ කරනවා, වෙන්න පුලුවන් දේවල් පෙර දකින්න. ඒක නිසා තමයි මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුණු වෙලාවකට අපිට වෙන්න පුලුවන් නරකම දේ ගැන හිතෙන්නේ. අපි කොච්චර උත්සාහ කළත් අපේ හිතට එන්නෙම මේ ප්‍රශ්නය නිසා අපිට අන්තිමටම කෙළවෙයි කියන හැඟීම තමයි. අන්න ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඕන මේ හිත කලබල කරවන සිතුවිලි ඇත්තටම ‘සිතුවිලි’ මිසක් නිශ්චිත කාරණා නොවේය කියන එක. දෙයක් වෙන්න පුලුවන් කියන්නේ ඒක වෙනවාමය කියන එක නෙවෙයිනේ. ඒ නිසා මේ කාරණාව තේරුම් ගන්න ඕන. හිතට කියාදෙන්න ඕන.

3. සම්මා සතිය පුරුදු කරන්න

මෙන්න මේක බුදුහාමුදුරුවොත් කියලා තියෙනවනේ. මෙතැනදී කරන්න ඕන සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැතුව සිතුවිලි අධ්‍යයනය කරන එක. අපේ හිතේ ඇතිවෙන හැඟීම් වලට ස්වයංක්‍රීයව ප්‍රතිචාර දක්වන්න තමයි සත්වයෝ හැටියට අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී ඒකෙන් ටිකක් එහාට යමු. නිවීහැනහිල්ල තියෙන තැනකට යන්න. දැන් පහසු ඉරියව්වකින් ඉඳගෙන තමන්ගේ සිතුවිලි නිරීක්ෂණය කරන්න. මේ සිතුවිලි වලාකුළු වලට සම කරලා හිතන්න. එකට පැටලිලා තියෙන අසහනකාරී, කලබලකාරී සිතුවිලි දිහා නිරීක්ෂකයෙක් විදියට බලලා ඒවා එහා මෙහා කරන්න උත්සාහ කරන්න. ඔව්, මේකත් භාවනාවක් තමයි!

4. තමන්ගේම ක්‍රමයක්

අපිට හිත කලබල කරවන, නොසන්සුන් කරවන දෙයක් හිතට ආවට පස්සේ තියෙන ප්‍රධානතම අවුල තමයි ඒ අවස්ථාවත් එක්ක ඩීල් කරන්න හිතාගන්නවත් බැරි විදියට හිත ව්‍යාකූල වෙන එක. ඒක අපි උඩිනුත් කිව්වනේ. දැන් ඔක්කොටම කලින් හිත සන්සුන් කරවන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න ඕන. තුන්වෙනි කාරණාවෙදී කිව්ව ක්‍රමයත් හොඳයි. හැබැයි හැමෝටම ඒ ස්ටෙප් එකට එක පාරටම යන්න බැරි වෙන්න පුලුවන්. එහෙමනම් හිත පොඩ්ඩක් සන්සුන් කරගන්න තමන්ගේම ක්‍රමයක් හොයාගන්න ඕන. එක්කෝ තමන් ආස කරන, හිත නිවන සංගීතයක් රසවිඳින්න පුලුවන්. එක්කෝ ව්‍යායාම කරන්න පුලුවන්. ඩාන්ස් කරන්න පුලුවන්. එහෙම නැතිනම් ඇත්තටම භාවනා කරන්නත් පුලුවන්.

5. තත්ත්වය නිවැරදිව තක්සේරු කරන්න

දැන් හිත පොඩ්ඩක් නිරවුල් වෙලානේ. දැන් පුලුවන් අපිට ඇත්තටම හිත නොසන්සුන් වෙලා, ව්‍යාකූල වෙලා තියෙන හේතුව හෝ හේතු නිරීක්ෂණය කරන්න. ගොඩක් වෙලාවට අපි අන්තරායදායක අවස්ථාවකට නොහිතාම ප්‍රතිචාර දක්වන්නේ අපේ මොළය ඒ වගේ දේවලට සෑහෙන්න සෙන්සිටිව් නිසා. ඇත්තටම ඒ අනතුරකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න හැඩගැහිලා තියෙන නිසා තමයි අපේ මුතුන් මිත්තෝ දඩයම් යුගයෙදි එහෙම වඳ වෙලා යන්නෙ නැතුව බේරුණෙත්. හැබැයි දැන් කාලේ වෙනස්නේ. ඒ නිසා මේ වගේ අවස්ථාවක බය වෙලා දුවනවට වඩා කරන්න ඕන වෙන්නේ තත්ත්වය ගැන හරි තක්සේරුවක් ගන්න එක. ඇත්තටම මේක ගැටළුවක් වෙන්න පුලුවන්ද? එහෙමනම් ඒක ගැටළුවක් වෙන්න පුලුවන් මොන විදියටද? මෙන්න මේ වගේ හිතලා බලන්න. හැබැයි වෙන්න පුලුවන් නරකම දේ ගැන හිතලා බය වෙන එක නෙවෙයි කරන්න ඕන. තමන්ට තියෙන කරුණු කාරණා එක්ක තාර්කිකව හිතන එක. නැත්නම් අර අහස පෙරළෙනවා කියලා හිතපු කතාවම තමයි ආයෙමත් සිද්ධ වෙන්නේ.

6. ඩැමේජ් කන්ට්‍රෝල්

දැන් ඇත්තටම මේ තත්ත්වයට විසඳුම් හොයන වෙලාව. ඇයි අපි ඒකත් හිත සන්සුන් කරගන්න කාරණයක් විදියටම එකතු කරන්නේ? සරලයි. අපේ හිත ව්‍යාකූල වෙන්නේ, නොසන්සුන් වෙන්නේ මොකක් හරි හේතුවක් නිසානේ. දැන් මේ හේතුව නැතිකළොත් හිතේ ව්‍යාකූලත්වය නැතිවෙනවනේ. අන්න ඒකයි. හැබැයි අර උඩින් කිවුව තක්සේරුවේදී අපිට දැනගන්න පුලුවන් මේක ඇත්තටම ප්‍රශ්නයක් නිසා හිත ව්‍යාකූල වීමක්ද, එහෙම නැතිනම් බොරුවට බය වෙලා දැඟලීමක්ද කියන එක. බොරුවට බය වෙලානම්, ඒක තේරුම් ගත්තට පස්සේ චැප්ටර් ක්ලෝස්. හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් නිරවුල් හිතින් අපිට ප්‍රශ්නයට හොඳම විසඳුම මොකක්ද කියලා හොයන්න පුලුවන්. මේකටත් තාර්කික චින්තනය අත්‍යාවශ්‍යයි. සමහර විට මේ ප්‍රශ්නය නිසා මේ වෙනකොට හානියක් සිද්ධ වෙලා තියෙන්න පුලුවන්. එතකොට අපි කරන්න ඕන වෙලා තියෙන හානිය පුලුවන් තරම් දුරට හානිපූර්ණය කරගන්න සහ, ඉස්සරහට තව හානි වෙන එක වළක්වගන්න ක්‍රමවේදයක් හිතන එක.

හැබැයි මෙහෙම විසඳුම්, ක්‍රමවේද ගැන හිතුවට මදි. දැන් නිරවුල් මනසින් ඒවා ක්‍රියාත්මක කරන්නත් ඕන. මේ ඔක්කොම ඉවරවුනාට පස්සේ මනසට දැනෙන සැහැල්ලුව ගැන කියන්න වචන නෑ!

7. ආයෙමත් සිද්ධ වෙයිද?

මේක අනාගතයට අදාළ දෙයක්. සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නයක් ඇති වුනාට පස්සේ වුනත් අපිට ඒ ප්‍රශ්නේ ගැන පොඩි බයක් හිතේ තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හිතන්න හිත ව්‍යාකූල කරවන ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුවුණේ ඔ‍ෆිස් එකේ කවුරුහරි බොස්ට කිව්ව කේලමක් නිසා කියලා. හරි ඒ ප්‍රශ්නේ අපි නිරාකරණය කරගත්තා. ඒත් දැන් ඔ‍ෆිස් එකේ කවුරුහරි එක්ක ‍රැකියා කටයුතු නිසාම උණුසුම් තත්ත්වයක් ඇතිවුණු ගමන් ඔන්න හිත බයවෙන්න පටන් ගන්නවා. අර පරණ ප්‍රශ්නේ විදියට ආයෙමත් දේවල් සිද්ධ වෙයිද කියලා හිතෙන්න ගන්නවා. ආන්න ඒ නිසා ඒ වගේ වෙලාවට පැහැදිලිවම හිතට කියලා දෙන්න ඕන මේක අනියත බයක් විතරයි කියලා. හැබැයි පරිස්සම් වෙන එක කොහොමත් පරිස්සම් වෙන්න ඕන. දැන් එක පාරක් පාර පනිනකොට වාහනේකට හැප්පුණු මනුස්සයෙක්ට ආයෙමත් පාර පනින්න බයයි. ඒත් එකක්, ඒ මනුස්සයට ජීවිත කාලෙම පාර නොපැන ඉන්න බැහැ. හැබැයි කොහොම කලත් පාර පනින්න ඕන පරිස්සමෙන්. දැන් තේරෙනවනේ.

- aniwa.lk


gossip lanka