තමන්ගේම කියල නිවසකට හීන මවනවද? එහෙනම් මේක කියවල තවත් උද්යෝගමත් වෙන්න

තමන්ගෙම කියල ගෙයක් හදාගන්න එක හරි ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ඒකට සෑහෙන මුදලක් වැය වෙන්න පුලුවන්. සමහරු නම් කියන්නෙ ගේකට සල්ලි යටකරන එක මහ මෝඩ වැඩක් කියලයි. ඒ සිතුවිල්ල නිසාම ගෙයක් හදන්න පටන් ගන්න හරි මිලදීගන්න හරි පුලුවන්කම තිබිලත් කුලී ගෙවල්වල ජීවත්වෙන අය ඕනෙ තරම් ඉන්නවා.

දැන් ඔයාල හිතන්න පුලුවන් කුලියට නවාතැන් ගන්න එක නරකයිද
කියල. නෑ. අපි එහෙම කියන්නෙ නෑ. තමන්ගේ ජීවන රටාව සහ ආර්ථික සාධක මත කුලියට ජීවත් වීම වාසි සහ පහසු දෙයක් වෙන අයත් ඉන්නවා. ඒ ගැන අපි පසුව වෙනම ලිපියකින් සාකච්ඡා කරමු.

අපි අද කියන්න හදන්නෙ තමන්ගෙම කියල කුඩා හෝ නිවහනක් තිබීමේ වාසි ගැනයි. තමන්ටම හිමි නිවසක් නිසා ඔයාලගෙ ආර්ථිකයට, පවුලේ සන්තෝෂයට සහ ජීවිතයට විය හැකි යහපත් දේ ගැනයි.  ඔන්න එහෙනම් අහගන්නකෝ.

1. නිදහස

“සම්බෝලයි බතුයි කාල හරි වැටිල ඉන්න මේ ගේ පොඩ්ඩ තියන එකම මදෑ”

සමහරු එහෙම කියන්නෙ හොඳ සැහැල්ලු හුස්මක් එහෙම හෙලන ගමන්.

ඔය කියන නිදහස තමයි තමන්ගේ නිවහනක් තිබීමෙන් අත්වෙන ලොකුම වාසිය. සමහර කුලී ගෙවල් වල ගෙවල් අයිතිකාර උදවිය තමයි ලොකුම හිරිහැරය. එක්කෝ පොඩි දේකටත් ආඩපාලි කියනව. එහෙමත් නැත්නම් කොයි වෙලෙත් දුක සැප, එදිනෙදා තොරතුරු අහගෙන කතාබහට නිරත වෙන්න එනව. හිත රිදෙයි කියලා මොකුත් කියන්නත් බෑ.

2. පෞද්ගලිකත්වය

තවත් සමහරක් තැන්වල එක ළඟ හරි එකට යාකර හරි හදන නිවෙස් නිසා සද්ද බද්ද වගේ අනවශ්‍ය බාධා කිරීමුත් වැඩියි. ඒ මදිවට එක ගෙදරක ජනේලෙට අනිත් ගෙදර බාත්රූම් එක පේනව වගේ පෞද්ගලිකත්වයට අවහිර වෙන කරුණු කාරණාත් වැඩියි.

තමන්ගෙ නිවහනක් තියන එක ඒ කොයි අතිනුත් සැනසීමක්.

3. හිතුමතේ ජීවිතේ

කුලී නිවසක ඇණයක් ගහන්නත් අපිට අවසරයක් ගන්න වෙනවා. සමහර නිවෙස් අත්හරිද්දි අපි විසින් නොවෙච්ච හානිත් අපේ එකවුන්ට් එකට දාල ගණන් කපා ගන්නව. ඒ වගේද අපේම කියල ගෙයක් තිබ්බම. අපේ රුචිකත්වයට අනුව අපි කැමති වෙනස්කමක් කරල අපේ ජීවිතේ ලස්සන සහ සැපවත් කරගන්න අපිට පුලුවන්.

4. සමාජයේ වැඩි තැනක්

නැහැ, ඔබ ජීවත් වන්නේ කුලී නිවහනකනම් ඔබේ තත්ත්වය පහත් යැයි කියලා නෙමෙයි මින් අදහස් කෙරෙන්නේ. එකම ස්ථානයක දීර්ඝ කාලයක් ජීවත් වීමෙන් ලැබෙන, ඒ ඒ ස්ථානයේ ඇති සමාජයේ කොටසක් බවට පත් වීමෙන්ප්‍ ලැබිය හැකි ප්‍රතිලාභය ගැනයි මේ. තමන්ගෙ නිවසත් සහ තමන්ට ස්ථිරවම උරුම වෙන බිම් අඟලත් එක්ක ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ කොටසක් හැටියට ඔබ නිතැතින්ම පත් වෙනව. අපේ සමාජයේ අහල පහල පොදු කටයුතු වලදි, ප්‍රීති උත්සව සහ නොයෙකුත් සමාජ කටයුතුවලදී ඔබට වෙනදට වැඩි තැනක් ඉබේම හිමි වෙනව. නිවාස හිමියෙක්ය කියන පොඩි ගර්වයත් එක්ක ආඩම්බරය මුසු හීනි සන්තෝෂයක් වින්දට මොකද.

5. ළමයින්ගෙ අනාගතේ

“යාළුවො අද නැත වෙන අය එහි ඇත” කියල තමංගෙ යාලු මිත්‍රයො වෙනස් වෙන සාංකාව ළමයින්ට දැනෙන එකක් නෑ තමංගෙම කියල නිවසක් තිබ්බනම්.

ඇත්තටම තමංගෙම කියල නිවසක් තියන එක ගොඩාක්ම බලපාන්නෙ ඔබේ දරුවට තමයි. කාලෙන් කාලෙට එක එක පළාත් වල වෙනස් අය ඇසුරු කරමින් ඉස්කෝල මාරු කරමින් ඉන්න උනොත් ඒක ඔබේ දරුවාගේ මානසික වර්ධනයට එතරම් හිතකර නොවෙන්න පුලුවන්. ඒ වගේම හුරුපුරුදු පරිසරයකදී දැනෙන ආරක්ෂාව සහ ස්ථාවරත්වය ගැන හැඟීම ඔබේ දරුවාගේ මානසික සුවයට හොඳින් බලපාවි.


6. ගෙට යට කරන මුදල Vs. කුලී මුදල

නිවසක් හදන්න හෝ මිලදී ගන්න තරමක් ලොකු මුදලක් වැය වුණත් ඒක අනාගත ආයෝජනයක් හැටියට ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඔබේ නිවසේ සහ භූමියේ වටිනාකම අවුරුදු පතා සැලකිය යුතු මුදලකින් වැඩි වෙන්න පුලුවන්. අනිත් අතින් කුලී මුදල ගත්තහම මාස්පතා ඒ මුදල ගෙවන්න වෙන අතරෙම කල් ගතවෙද්දි කුලී මුදල අනිවාර්යෙන් වැඩි වෙනවා.

ඔබ බැංකු ණයක් ආධාරයෙන් ගෙයක් මිලදී ගත්තත් ගෙවීම සම්පූර්ණ කිරීමෙන් පසුව ඔබට නිවසේ අයිතිය හිමි වෙනවා. එසේ උනත් ඔබ ජීවිත කාලයක් කුලී ගෙවුවත් ඔබට කිසිම අයිතිවාසිකමක් නම් ලැබෙන්නේ නෑ.

ඒ නිසා දීර්ඝ කාලයක් සලකල බැලුවහම තමන්ගේ නිවසක් කියන්නෙ වාසිදායක ආයෝජනයක්.

7. පරම්පරාවෙන් පරම්පරාවට

ගෙයක් කියන්නෙ පාරම්පරා ගානකට සෙවන දියහැකි වස්තුවක්. අපි හැදී වැඩෙන ගෙදරත් එක්ක අපේ සෑහෙන හැඟීම්බර මතකයන් සහ ගණුදෙනු තියනව.. මොන මාලිගා හදාගෙන හිටියත් ඒව අත් ඇරල අවුරුද්දට නත්තලට තමන්ගෙ දෙමවුපියන්ගෙ පුංචි ගෙදරදි එකතු වෙන ප්‍රීතිමත් පවුල් අදටත් ඕනෙ තරම් අපිට දකින්න හම්බුවෙනව.

ඒ නිසා ඔබේ පවුලේ අයට සහ දරුවන්ට උරුම කර දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් තමයි නිවසක් කියන්නෙ.

- aniwa.lk
http://www.aniwa.lk/2016/07/18/7-things-that-make-us-all-wish-we-had-our-own-little-home/



gossip lanka