මේ දේවල් 7 න් එකක් කරලා කෙල්ලගේ ආදරේ වැඩිකරගන්න පුලුවන් වෙයි

ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්නේ මචං. සමහර වෙලාවට අනික් කෙනාගෙන් ආදරේ චුට්ටක් ගන්නම කියලා හිතාගෙන කෙල්ලෝ රණ්ඩු කරනවා. ඉන් පස්සේ චූට්ටක් ආදරේ කළහම ආයෙමත් දේවදූතියෝ වගේ වෙනවා. කොල්ලොත් කෙල්ලව සෙට් කරගන්නකල් ලොවෙත් නැති ආදරේ තියෙන්නේ තමන් ලඟ කියලා පෙන්නලා, කෙල්ල සෙට් වුනාට පස්සේ ආයෙමත් පරණ තත්ත්වෙට වැටෙනවා. කොහොම කළත් අපි මේ කියන්නේ කොච්චර කළත් හොඳක් නැති කෙල්ලෝ ගැන
නෙවෙයි. පොඩ්ඩක් තමන් ආදරෙයි කියලා, අවධානෙන් ඉන්නවා කියලා පෙන්නුවහම ඒ ආදරේ දහගුණේකින් ආයෙමත් දෙන හිත ලස්සන කෙල්ලෝ ගැන තමයි මේ කියන්නේ. ඉතින් එහෙම කෙල්ලෙක්ට පොඩ්ඩක් අපි ආදරෙයි කියල පෙන්නුවට කමක් නෑනේ මචං…

1. පුංචි තෑග්ගකට ලොකු කතාවක් කියන්න පුලුවන් මචං!

ගොඩක් කොල්ලෝ කරන වැ‍රැද්දක් තමයි කෙල්ලෝ ආස කරන්නේ ගණන් වැඩි ෆෝන් වලට, ජුවලරි වලට කියලා හිතාගෙන ඉන්න එක. දත ගලවන කෙල්ලෝ එහෙම වෙන්න ඇති. හැබැයි කොල්ලෙක්ට හැබෑවට ආදරේ කරන, ආදරේ අඳුනන කෙල්ලෙක්ට ඔය ලොකු ලොකු තෑගි බෝග ඕන නෑ මචං. හැබැයි අපිට පුලුවන් නං මාසෙකට එක දවසක් හරි එයාගේ හිත සතු‍ටුවෙන පුංචි තෑග්ගක් දෙන්න, ඒක එයාව අවුරුද්දක් වුනත් සතුටින් තියයි. හැබැයි මචං ඔය ගිෆ්ට් ෂොප් එකකින් ගන්න රෝස මල්, එක එක කෑලි බෑලි ගැන නෙවෙයි අපි කියන්නේ. ඊට වඩා අපිටම හිතලා හදන්න පුලුවන් පොඩි දේකට මාරම කතාවක් කියන්න පුලුවන්. මෙහෙම හිතපන් මචං. පොඩි ගාණකට ගන්න චොකලට් එකක් වුනත් නිකම්ම දෙනවට වඩා වෙනසක් නැද්ද, අපිට ලස්සන කොලේකින් ඔතලා, අපේ හිතට දැනෙන දෙයක් එයාගෙත් හිතට දැනෙන්න ඒකේ ලියලා දෙන එක? එහෙම නැතිනං පොඩ්ඩක් නිර්මාණශීලී කොල්ලෙක්ට පුලුවන් පුංචි ඒත් ලස්සන ගිෆ්ට් එකක් හදන්න. ලොකුවට සල්ලි වියදම් නොවුනත් වෙලාව යයි. ඒත් ඒ තෑග්ග දැක්කහම කෙල්ලගේ මූණට එන හිනාව එක්ක බලනකොට ඒ මහන්සිය වටිනව මචං!

2. එක දවසක් එයාටම දීලා බලපං මචං!

සාමාන්‍යයෙන් කෙල්ලව මුණගැහෙන්න දාගන්නේ දෙන්නටම පහසු දවසක් වෙලාවක්නේ. ගොඩක් වෙලාවට කෙල්ල කැමතියි යන්නෙ කොහෙද, කරන්නේ මොකද කියලා කොල්ලා තීරණය කරනවට. හැබැයි කෙල්ල කැමති වුනත් අකැමැති වුනත් ගොඩක් වෙලාවට තීරණේ ගන්නේ කොල්ලා තමයි. ඒක අවුලක් නෑ. හැබැයි මචං එක දවසක් දීලා බලපං කෙල්ල වෙනුවෙන්ම. ඒ කියන්නේ ඒ දවසේ වෙන වැඩ දාගන්නේ නෑ. යාලුවන්ගේ කෝල් වලට ආන්සර් කරන්නේ නෑ. එදා දවස තනිකරම කෙල්ල වෙනුවෙන්. එයාට පුලුවන් යන්න ඕන තැන්, කන්න ඕන තැන් පවා තීරණය කරන්න. අපි කරන්නේ එදා දවසේ එයාට ඇතිවෙන්න ආදරේ කර කර ළඟින් ඉන්න එක, එයා කැමති දේවල් කරන එක. මෙතනදීත් අන්තිමට වෙන්නේ අපි කැමති දේම කරන එක වෙන්න පුලුවන් මචං. කොහොමත් අපිට පැලෙන්න ආදරේ කරන කෙල්ලෝ එහෙමනේ. ඒත් ඒ දවස එයා වෙනුවෙන්මයි අපි වෙන්කරන්නේ කියන හැඟීම එයාව පුදුමාකාර විදියට සතු‍ටු කරයි!

3. ඉඳලා හිටලා ලව් නෝට් එකක් යවපං මචං!

ඉස්සර එස්.එම්.එස් යවන්න ස්මාට්ෆෝන් තියා ලෑන්ඩ් ෆෝන් වත් තිබුණෙ නැති කාලේ ලව් එක ප්‍රකාශ කරන්න වුනේ සෙනෙහෙ කොළ වලින් කියල දන්නවනේ. හැබැයි ටෙක්නොලොජි එක දියුණු වෙනවත් එක්කම මේ ලව් ලෙටර් සීන් එක අභාවයට ගියා. හැබැයි මචං ලව් ලෙටර් එකක තියෙනවා අමුතුම ආතල් එකක්. ඒ ආතල් එක එස්.එම්.එස් එකකින් වත්, මල් කෝල් එකකින්වත් ගන්න බෑ. විශේෂයෙන්ම සමහර කෙල්ලෝ තාමත් හරි ආසයි මචං ඔය ලව් ලෙටර් සීන් එකට.

ලව් ලෙටර් එකක් කියලා හෙනට කැටයං ඕන නෑ මචං. හිතට දැනෙන දේ පේළි දෙකතුනකට ලිව්වත් ඇති. වැදගත්ම දේ තමයි තමන් ලියන දේ තමන්ට අවංකව ලියන එක. ඒක ඇති මචං කෙල්ලට තේරුං ගන්න ලේසියෙන් පෙන්නුවෙ නැතුවට කොල්ලා තමන්ට පණ ඇරලා ලව් කියලා.

4. මික්ස්ටේප් එකක් හදලා දීලා තියෙනවද මචං?

කෙල්ලෝ ඉතින් ගොඩක් වෙලාවට අපි වගේම සංගීතෙට හෙන ලැදියිනේ. එහෙමත් කෙල්ලෙක් තමයි සිංදු අහන එක බෝරින් කියන්නේ. දැන් කාලේ ආස සිංදුවක් දෙකක් හොයාගන්න එක ගේමක් ඇත්තෙම නැති වැඩක්. යූටියුබ් එකෙන් හරි නිකම්ම ගූගල් සර්ච් එකකින් හරි සිංහල බැයිනං බලුකිස්තාන් සිංදුවක් වුනත් හොයාගන්න පුලුවන්. හැබැයි මචං ඒක එහෙම වුනත් කෙල්ලට මික්ස්ටේප් එකක් හදලා දෙනවා කියන්නේ වෙනමම වැඩක්. ඉස්සර නං මික්ස්ටේප් එකක් කිව්වේ එම්ටි කැසට් එකකට සිංදු ටිකක් රෙකෝඩ් කරන එකට. දැන් ඉතින් කැසට් ප්ලේයර් හොයන්න නැහැනේ. ඒ හින්දා සීඩී එකකට ගහලා දුන්නත් අවුලක් නෑ, 2GB, 4GB වගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට සිංදු ටික කොපි කරලා දුන්නත් අවුලක් නෑ. හැබැයි මචං මෙතනදී දැනගන්න ඕන කෙල්ලගේ ටේස්ට් එකට හරියන, හැබැයි කෙල්ල ගාව නැති සිංදු ටිකක් හොයලා දෙන්න. ඒ කියන්නේ සිංහල සිංදු විතරක් අහන කෙල්ලෙක් වුනත් සංගීතේ ගැන සෙන්ස් එකක් තියෙනව නං පරණ ඉංග්‍රීසි ලව් සෝන්ග්ස් ටිකක් මික්ස්ටේප් එකක් හදලා දුන්නත් ආසාවෙන් අහයි. ලව් සිංදු හරිද මචං, ලව් සිංදු!

5. ඩයරියක් ලියලා තියෙනවද මචං?

මේක නං ඒ තරමට ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. හැබැයි අනිවා කෙල්ලගේ ආදරේ වැඩිවෙන වැඩක්. දැන් අපි ඔය ඩයරි ලියනවනේ. ඔව් ඉතින් ඩයරියක් ගත්තට ලියන්නේ අවුරුද්දට දවස් පහක් වගේ තමයි. හැබැයි මචං අපිට මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඩයරියක් අරගන්නවා. දැන් ඕකේ ලියන්නේ කෙල්ලව මුණගැහෙන දවස් වල නෝට්ස් විතරයි. ඒකත් දවසේ කරපු වැඩ ටික ලියන්න ඕන නෑ. එදා කෙල්ල ගැන හිතට දැනිච්ච දේවල්, පෙනුන දේවල් ලියන්න පුලුවන් මචං. අර ලව් ලෙටර් සීන් එකේදී කිව්වා වගේම කැටයං ඕන නෑ. හැබැයි අවංකව දැනුණු දේවල් ලියන්න ඕන.

“අද අපි දෙන්නා ‍ෆිල්ම් එකක් බලන්න යන්න සෙට් වුනා. කෙල්ල කොණ්ඩේ ගොතලා දැක්කේ එදාම තමයි. ගොතපු කොණ්ඩේත් එක්ක ඒකි හිනාවෙනකොට කම්මුල් වැඩියෙන් වල ගැහෙනවා වගේ පේනවද කොහෙද. වටේ පිටේ එවුන් හැරිලත් කෙල්ල දිහා බැලුවේ ඒකිගේ තියෙන අමුතුම සීදේවී කමට තමයි. හැබැයි ඕවා කියන්න හොඳ නෑ!”

ඕන්න ඔය වගේ වචනයක් දෙකක් හරි ලියන්න තියෙන්නේ අවංකව හිතෙන දේවල්. අවුරුද්දක් පිරුණට පස්සේ අලුත් අවුරුද්දේ මුණගැහෙන පළවෙනි දවසේ ඩයරිය කෙල්ලට තෑගි දෙන්න තියෙන්නේ. වෙන මොකුත්ම ඕන නෑ මචං, බලපන් කෙල්ලගේ ඇස් වලට හීනියට කඳුලු බිංදුවක් එන එකක් නැද්ද කියලා ඩයරිය කියවනකොට.

6. එයා හිත කරදරෙන් ඉන්න වෙලාවට ලඟින් ඉඳපන් මචං!

මෙන්න මේක තමයි කරන්න ලේසිමත්, ඒ වගේම අමාරුමත්. මචං නිකමට හිතලා බැලුවොත් හිතෙයි යකෝ කෙල්ලන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද, කොල්ලෝ අපිට මේ එක කෙහුරක්වත් නෑනේ කියලා. ඇත්ත. බස් එකේ කොන්දොස්තර ඉතුරු රුපියල දුන්නෙ නැත්තං ඒත් හිත් අමාරුයි. පාරේ පූස් පැටියෙක් මැරිලා හිටියොත් ඒත් හිත් අමාරුයි. අම්මා ඇයි පරක්කු වුනේ කියලා ඇහුවත් හිතට අමාරුයි. කෙල්ලෝ එහෙම තමයි. හැබැයි මචං කොල්ලෝ අපි ඒවා ඇණ විදියට ගන්න නරකයි. කෙල්ල රේඩියෝ එක දැම්මා වගේ ඔය ඔක්කොම අපි එක්ක කියවන්නේ එයාට ඉන්නේ අපි නිසානේ මචං. ඒ වෙලාවට පොඩ්ඩක් වෙලා ඔය කියවිලි වලට ඇහුන්කන් දුන්නට කමක් නෑ. හැබැයි මචං විසඳුම් දෙන්න යන්න එපා. ඇත්තම කතාව එයාට ඕන ඔය ඔක්කොම අපිට කියලා හිත නිදහස් කරගන්න මිසක් අපෙන් විසඳුම් හොයාගන්න නෙවෙයි. මෙහෙම පොඩි දෙයක් වුනත්, ඊට වඩා සීරියස් හිත් අමාරුවක් වුනත් අපි කරන්න දැනගන්න ඕන එක දෙයක් තියෙනව මචං. ඒ තමයි කෙල්ලට අපි එයා එක්ක ඉන්නවා කියලා පෙන්නන එක. “ඔයාට මම ඉන්නවා” කියන කීමේ ලොකු ගැඹුරක් කෙල්ලට දැනෙනවා මචං.

7. ලඟ තියෙන පරණ පොතක් කෙල්ලට දෙමු මචං

පොත් කියවන කොල්ලෙක් කෙල්ලෙක් නං ගොඩක් වෙලාවට දෙන්නට දෙන්නා තෑගි විදියටත් දීගන්නෙත් පොත්මනේ. හැබැයි මචං කඩෙන් අලුතින්ම සුවඳ ගහන පොතක් අරගෙන දෙනවට වඩා, තමන් ගාව තියෙන තමන් කියෝලා තියෙන ප්‍රියතම පොතක් එයාට දෙන එකේ අමුතු ගැම්මක් තියෙනවා මචං. සාමාන්‍යයෙන් පොත් කාවෙක් තමන් ආදරේ කරන, නැවත නැවත කියවන පොතක් වෙන එකෙක්ට දෙන්නෙ නෑනේ. හැබැයි මචං අපිට ඒ පොත කෙල්ලට දෙන්න පුලුවන් කියන්නේ අපිට එයාව කොච්චර වටිනවද කියන එක ගැන එයාටම හැඟීමක් දැනෙනවා මචං. ඒ හැඟීම කඩෙන් අලුත්ම පොතක් අරගෙන දීලා දෙන්න බෑ. අනිත් එක, පොතත් එක්ක අතින් හදපු බුක්මාර්ක් එකක් දීපන් මචං. ඒකේ ලියපන් ඒ පොත ඇයි වටින්නේ කියලත්, ඒ පොත දෙන්න තරම් කෙල්ලව අපිට ඇයි වටින්නේ කියලත්.

aniwa.lk




gossip lanka