කඩෙන් ගන්නෙ නැතුව ගෙදරම රසට සුවඳට පහේ ටික හදාගන්න අපෙන් ඔබට උදව්වක්… පහේ වර්ග 6කම රෙසිපි මෙන්න

තුනපහ කියන්නෙ අපේ කෑම වේලක් හදාගනිද්දි නැතුවම බැරි දෙයක්. ඉවීමේ කලාවෙදි පිහි කියන්නෙ පින්සල් නම් තුනපහ කියන්නෙ වර්ණ පෙට්ටියට. හැබැයි මස් හොද්දටයි පරිප්පු හොද්දටයි අල හොද්දටයි හැම එකටම එකම පහේ බෝතලේ තියාගෙන හලන එකට ඉවීමේ කලාව කියන්න නම් බෑ. මේ කියන්න හදන්නෙ ගෙදරදීම පිරිසිදුවට පහේ ටික හදාගන්න හැටි ගැන. එක එක කරි වලට එක එක රස ගන්න පහේ හදාගන්න හැටි දැනගන්න කැමති ඔයාලටයි මේ. මේ පහේ හදාගන්න
ගන්න ද්‍රව්‍ය සියල්ලම සෝදා හොඳින් වේලා පාවිච්චියට ගන්න කියලත් මතක් කරනව.

බැලු බැල්මට කුකින් ගැන නොදන්න කෙනෙක්ට හිතෙන්නෙ අයියෝ මේ එකම කුළුබඩු ටිකනෙ එහෙ මෙහෙ වෙන්නෙ කියල. ඒත් පහේ වල රස සුවඳ වෙනස් වෙන්න මේ පාවිච්චි කරන කුළු බඩු ග්‍රෑම් ගාණකින් එහෙ මෙහෙ උනත් ඇති කියල උයන කලාව දන්න කෙනෙක් දන්නව. මේ නිසා නියම ප්‍රමාණ වලින් පිරිසිදු කුළු බඩුම පාවිච්චි කලොත් ඔබේ මුළුතැන්ගෙයින් හැදෙන කෑම රසින් වගේම සුවඳිනුත් ඉහලින්ම තියේවි.

1. බැදපු පහේ (කළු පහේ)

අපේ තාලෙට කරියක් හදාගන්න කොට බැදපු පහේ ටිකක් ඕනෙමයි. පොලොස් මාළුවට, මස් කරියට, මාළු කරියට වගේ සැරට හදාගන්න කොයි කරියටත් බැදපු පහේ ටිකක් දාගත්තෙ නැත්නම් රස සුවඳ ගාණට නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොත්තමල්ලි ඇට 300g
  2. සූදුරු 100g
  3. මාදුරු 10g
  4. කුරුඳු අඟල් 4
  5. සේර අඟල් 4
  6. කරදමුංගු ඇට 5යි
  7. කරාබු නැටි 10යි
  8. හාල් තේ හැඳි 6
  9. රම්පෙ අඟල් 5ක්
  10. කරපිංචා ඉති 3ක්
  • මේ සියල්ලම වෙන වෙනම රන්වන් පැහැයට වඩා තද පැහැයක් ගන්නා තුරු කර නොකර ගෙන කබලේ බැදගන්න. තරමක් නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින ලෙස අසුරා තබාගන්න.
  • මාසයකට වඩා කල් තබාගන්න හදාගන්නවා නම් හාල් එක් කරගන්න එපා. පහේ වලට හාල් එක් කර ගැනීමෙන් වැඩි රසයක් සහ කරියට උකු බවක් ලබා දෙනව. 

2. අමු පහේ

සුදට හදන ඕනෙම හොද්දකට පරිප්පු කරියකට අමු පහේ ටිකක් නම් නැතුවම බෑ. අමු පහේ හදන කොට වැඩිපුර ප්‍රමාණයක් හදා නොගෙන මාසයකට පමණ ඇති ප්‍රමාණය හදාගන්නව නම් වඩා හොඳයි. කල් තබා ගන්න කාලය වැඩි වෙන තරමට පහේ වල රසත් සුවඳත් අඩු වෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොත්තමල්ලි ඇට 300g
  2. සූදුරු 100g
  3. මාදුරු තේ හැන්දක්
  4. කුරුඳු අඟල් 4
  5. සේර අඟල් 4
  6. කරදමුංගු ඇට 5යි
  7. කරාබු නැටි 10යි
  8. හාල් තේ හැඳි 6
  9. රම්පෙ අඟල් 5ක්
  10. කරපිංචා ඉති 3ක්
  11. වියළි කහ අඟල් 1/4ක කෑල්ලක්
  • රන් වන් පැහැ වන තෙක් සියල්ලම වෙන වෙනම කබලේ බැදගන්න. පමණට වඩා බැදගන්න එපා. සුවඳ හමන ගාණට රත් වුන පසු ලිපෙන් ඉවත් කරගන්න. මදක් නිවුණු පසු සියල්ල එකට එක් කොට කුඩු කරගන්න. හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින ලෙස අසුරා තබාගන්න.
  • මාසයකට වඩා කල් තබාගන්න හදාගන්නවා නම් හාල් එක් කරගන්න එපා. පහේ වලට හාල් එක් කර ගැනීමෙන් වැඩි රසයක් සහ කරියට උකු බවක් ලබා දෙනව.

3. ගරම් මසාලා

ඉන්දියන් රෙසිපියක් හදන්න ගත්තොත් අනිවාර්යෙන් ගරම් මසාලා බොහෝ ආහාර වලට ඕනෙමයි. කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදාගන්න එක ලේසියි නැවුම් වගේම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොත්තමල්ලි 100g
  2. සූදුරු 50g
  3. කරදමුංගු 30g
  4. කරාබු නැටි 30g
  5. ගම්මිරිස් 15g
  6. මහදුරු 15g
  7. කුරුඳු අඟල් 4
  8. බේ ලීව්ස් 4ක්
  9. සාදික්කා පොඩි ගෙඩියක්
  10. ස්ටාර් අනීස් 1
  11. වසාවාසි 3ක්
  • සියලුම ද්‍රව්‍ය වෙන වෙනම සුවඳ එන තෙක් කබලේ බැදගන්න. පාට වෙනස් වෙන තුරු බැදගන්න එපා. නිවුණු පසු හොඳින් කුඩු කරගන්න. සුළං නොවදින ලෙස වසා තබාගන්න.

4. මස් කරි තුනපහ

මේ මස් කරි තුනපහ එක මස් වලටම විශේෂයෙන් හදාගන්න කරි පව්ඩර් එකක්. මේකට අමුතුවෙන් මිරිස් හෝ බැදපු පහේ එක් කරන්න අවශ්‍ය නැහැ. මේ පහේ එක විතරක් ප්‍රමාණවත්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොත්තමල්ලි ඇට 50g
  2. මාදුරු 50g
  3. සූදුරු 50g
  4. උළු හාල් 10g
  5. කරදමුංගු ඇට 10
  6. කරාබු නැටි 10
  7. කුරුඳු අඟල් 2
  8. වියලි මිරිස් කරල 80g
  9. සේර අඟල් 3
  10. කරපිංචා ඉති 4
  11. අබ 10g
  12. වියලි කහ අඟල් 1/2ක කෑල්ලක්
  13. හාල් මේස හැන්දක්
  • සියල්ල වෙන වෙනම රන් වන් පැහැයට වඩා තරමක් තද පැහැ වන තෙක් කර නොකරගෙන බැදගන්න. නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. සුළං නොවදින ලෙස අසුරාගන්න.

5. ජැෆ්නා කරි පව්ඩර්

නම කිව් ගමන් දන්නවනෙ. දමිළ අයගෙ කෑම වල ඔවුන්ටම ආවේණික රසක් සුවඳක් තියෙනව. අපේ කරි පව්ඩර් වලට වඩා වෙනස් රසක් කරියකට එක් කරන්න මේ ජැෆ්නා කරි පව්ඩර් සමත්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොත්තමල්ලි ඇට 200g
  2. වියලි මිරිස් කරල් 200g
  3. ගම්මිරිස් ඇට 40g
  4. සූදුරු 40g
  5. මහදුරු 60g
  6. උළුහාල් 15g
  7. වියළි කහ අඟල් 1 1/2ක කෑල්ලක්
  8. කරපිංචා ඉති 3ක්
  • සියළුම ද්‍රව්‍ය වෙන වෙනම රන්වන් පාට වන තුරු කබලේ බැදගන්න. නිවෙන්නට හැර කුඩු කර සුළං නොවදින සේ අසුරා ගන්න.

6. සාම්බාර් මසාලා පව්ඩර්

තෝසෙ එකක් කන්න සාම්බාර් ගෙදර හදාගන්න කොච්චර ආස උනත් අර සයිවර් කඩෙ සාම්බාර් එකේ රස ගන්න හරිම අමාරුයි. මෙන්න ඒකට පිළිතුර. සාම්බාර් මසාලා පව්ඩර්. මේක හදල තියාගත්තොත් සයිවර් කඩෙන් සාම්බාර් කන එකක් නෑ ආයෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොත්තමල්ලි ඇට 50g
  2. කඩල 20g
  3. උඳු ඇට 20g
  4. කඩල පරිප්පු 15g
  5. වියළි මිරිස් කරල් 10
  6. කරපිංචා ඉති 2
  7. උළුහාල් තේ හැඳි 3/4
  8. සූදුරු තේ හැඳි 2
  9. ගම්මිරිස් ඇට තේ හැන්දක්
  10. පෙරුම්කායම් තේ හැඳි 1/8
  11. කහ කුඩු තේ හැඳි 1/2
  • කඩල, උඳු, පරිප්පු සහ මිරිස් රන්වන් පැහැ වන තෙක් අඩු ගින්දරේ කබලේ බැදගන්න. එයට කොත්තමල්ලි, උළුහාල් සහ කරපිංචා එක් කර කරපිංචා වියලෙන තුරු කබලේ බදින්න.
  • සූදුරුද එක් කර බැදෙන්නට හැර ලිප නිවා තැටියේ රස්නය තිබියදීම කහ සහ පෙරුම්කායම් එක් කරන්න.
  • නිවෙන්නට හැර හොඳින් කුඩු කරගෙන සුළං නොවදින ලෙස අසුරාගන්න.
gossip lanka