ඇයි අපි නියපොතු කන්නේ? කවුරු හරි අපෙන් මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවොත් දෙන පිළිතුර ඔබ නිකමටවත් හිතුවාද? ගොඩක් වෙලාවට “නෑ අපි නියපොතු කන්නේ නැහැ” කියලා කියන්න පුළුවන්. ඒ වුනාට ලෝකේ බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වුනාම ඉබේම නියපොතු කැවෙනවා කියලා සමහර විට ඔබ දන්නේ නැතුව ඇති.
ඉතින් මෙන්න මේ නිසා අපි හිතුවා ඇයි ඇත්තටම නියපොතු කන්නේ,
මෙයින් පෙන්වන ලක්ෂණ මොනවද? වගේ අපේ සිහියට උත්තර නොඑන ප්‍රශ්න ටිකක් සම්බන්ධයෙන් උත්තර ටිකක් හොයන්න.
1. අපි නියපොතු කන්නේ ඇයි?
මේ ප්‍රශ්නේ මගේ යාලුවෙක්ගෙන් මම ඇහුවම මට කිව්වේ “මම මතක ඇති කාලේ ඉඳන්ම නියපොතු කනවා, ඒක වැරදි බව දන්නවා. ඒ වුනාට මොකක් හරි ගැටළුවකට මැදි වුනාම මගේ ඇඟිලි වල නියපොතු නිකම්ම කටට ගිහින් දත් අතරේ හිර වෙනවා” කියලයි. බොහෝ අය මේ ගැටලුවෙන් මිදෙන්නට මේ ලිපිය ලියවෙන අවස්ථාවේදීත් උත්සහ කරනවා ඇති.
විද්‍යාඥයින් පවසන්නේ යම් කිසි අවස්ථාවක පුද්ගලයෙක්ට චකිතයක් (Nervousness) හෝ කාංසාව (Anxiety) ඇතිවුනොත් මෙසේ නියපොතු කෑම සිදුවිය හැකි බවයි. විද්‍යාඥයින් එහෙම කිව්වට තවත් සමහර සෞඛ්‍ය විශ්ලේෂකයින් පවසන්නේ කම්මැලිකම, කුසගින්න, මානසික පීඩන අවස්ථා වගේ අපි නොසිතන හේතුන් නිසා මේ පුරුද්ද ඇති වන බවයි. මුළු ජනගහනයෙන් 20% ත් 30%ත් අතර ප්‍රමාණයක් නියපොතු හැපීමට හුරුවී සිටිනවා. ඒ වගේම මෙසේ හුරුවී සිටින ජනගහනයෙන් තරුණ ජනගහනය 45%ක් පමණ වෙනවා කියලයි කියන්නේ..!
වෙනත් විදියකින් කියනවා නම් මේ නියපොතු සැපීමත් කෙනෙක් සිගරට් බීමට යොමුවීම හා සමානයි.
2. දරුවන් නියපොතු කනවද?
දරුවන් නියපොතු සපන විට සමහර අවස්ථාවල දෙමාපියන් ගණන් ගන්නේ නැති තරම්, නමුත් සිතට ගත යුතු දෙය වන්නේ නියපොතු සැපීම වගේ දෙයක් නවත්වන්නට හොඳම කාලය තමයි කුඩා කාලය කියන එක. දරුවන්ට තරවටු කරන්නට අවශ්‍ය නැහැ.
මෙයට දරුවා හුරු වූ හේතුව සොයා බලා ඊට ප්‍රතිකර්ම යොදන්නට හැකි නම් එය තමයි වටිනාම ප්‍රතිකාරය වෙන්නේ. ගොඩක් වෙලාවට තරුණයෙක් හෝ දරුවෙක් තමන්ට පිටත පරිසරයෙන් එල්ල වෙන පීඩනයෙන් මිදෙන්නට නියපොතු සැපීම සිදු කරනවා. ඒ වගේම සැරපරුෂ සහ ගැටුම්කාරී දෙමාපියන්ගේ දරුවන් තම වැඩිහිටියන්ගෙන් ලැබෙන පීඩනය විඳදරාගන්නට නොහැකිව නියපොතු සැපීමට හුරුවන්නට ඉඩ තිබෙනවා. එලෙස ලැබෙන පීඩනය අවම වන්නට පටන් ගත් පසුව එම පුරුද්ද ස්වභාවිකවම මග හැරී යන්නටත් ඉඩ තිබෙනවා.
3. ඒක මානසික ආබාධයක කොටසක්ද?
අපි කලින් කිව්වා වගේ මේ ප්‍රශ්ණයට හේතුව මානසික රෝගී තත්ත්වයක ලක්ෂණයක් වෙන්නටද ඉඩක් තිබෙනවා. හැබැයි ඉඳලා හිටලා නියපොතු සපන කෙනෙක් බය වෙන්න ඕනෙ නැහැ තමන්ට මානසික දුර්වලතාවයක් තියනවය කියල. දැඩි ලෙස නියපොතු කෑමට හුරුවී සිටිනවානම් තමයි එය මානසික රෝගී තත්ත්වයක ලක්ෂණයක් වෙන්න ඉඩ වැඩි.
කෙසේ වුවත් මනෝ වෛද්‍ය විද්‍යානුකූලව යම් කෙනෙක් කාන්සාව (Anxicty) වැනි මානසික තත්ත්ව වලින් පෙලෙයි නම් එහි පීඩනය මුදා හැරීමේ එක් ක්‍රමවේදයක් ලෙස මේ නියපොතු සැපීමේ තත්ත්වය පෙන්වලා දෙන්න පුළුවන්.
4. ඔබ මෙයින් කුමන නියපොතු කන්නෙක්ද?
බොහෝ විට අපේ නියපොතුවල ප්‍රමාණය වෙනස් වෙන විට අපේ අවධානය ඒ වෙත යොමුවෙන එක නිතැතින්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් මෙන්න මේ නිසා අපි නොදැනුවත්වම අපේ නියපොතු වල අසමාන තැන් සම කරන්නට අපිව යොමුවෙනවා. එහිදී අප සතුව ක්ලිපර් එකක් නැති නම් අපේ ඇඟිලි නිරුත්සාහකව යොමුවෙන්නේ අපේ මුව වෙතයි. ඉතින් එහිදී අපේ නියපොතු අපිට සෑහීමකට පත්වන තුරුම සැපීමට ලක්වෙනවා. මෙහි ප්‍රතිඵලය තමයි අපේ නියපොතු පමණක් නොව අවට තිබෙන මෘදු චර්මකොටසුත් සැපී ඇඟිලිතුඩු විරූපී බවට පත්වීම.
හිතේ හැටියට ඔබේ හැඟීම් පළකරන්නට නොහැකිවීමේ ප්‍රතිඵලය නියපොතු සැපීමට හුරුවීම වෙන්නට පුළුවන්. පිරිසක් ඉදිරියේ ඔබව නොසලකා හරිම, ඔබට සවන් නොදීම වගේ තත්ත්වයන් වලදී ඔබ තුල පවතින ආතතිය වැඩිවී ඔබත් නොදැනීම ඔබේ ඇඟිලි මුවතුලට යන්නට ඉඩ තිබෙන්නට පුළුවන්.
- නොසන්සුන් සහ කම්මැලි සපන්නෝ
තමන්ගෙ වැඩක් නියමිත වෙලාවට හරි නියමිත ආකාරයට හරි ඉවර කරගන්න බැරි උනාම, ඒකට මොකක් හරි බාධාවක් ආවහම කලබල වෙලා, නොසන්සුන් වෙලා නියපොතු හපන්න ගන්න අය ඉන්නවා. ඒ වගේම තමයි වෙන කරන්න දෙයක් නැතිව කම්මැලි කමේ ඉන්න වෙන අවස්ථාවල් වලදී නියපොතු හපන්න යොමු වෙන අයත් ඉන්නවා.
නියපොතු සැපීමට තවත් ප්‍රධානම හේතුවක් වෙන්නේ අනුකරණය. ඔබේ පවුලේ කෙනෙකු හෝ සහෝදරයෙකු නියපොතු සපනවා නම්, ඔබත් බොහෝ විට නියපොතු සැපීමට හුරුවෙන්නට ඉඩ තිබෙනවා. මුල් කාලයෙදි කිසියම් කෙනෙක් කරන නිසා කලත් පසුව කල්යද්දී මෙලෙස හුරු වූ අයත් ඉහතින් කියූ නියපොතු සපන්නන්ගේත් වෙනසක් නැතිව යනවා.
5. නියපොතු කෑමෙන් ශරීරයට වෙන අතුරු හානි
නියපොතු සැපීම නිසා තුවාල වෙන නිය සම සහ නියමල මත බැක්ටීරියා ආසාදන ඇතිවන්නට පුළුවන්. යම් හෙයකින් එය නියපොතු වලට අහිතකර ලෙසින් බලපාන්නට ගතහොත් සදාකාලිකව නියපොතු විරූපී වීම් වන්නට හැකියාව ඇති බව මතක තබා ගතයුතු වෙනවා.
නියපොතු මත ඇතිවන බැක්ටීරියා, යීස්ට් සහ වෙනත් ක්ෂුද්‍රජීවින් හේතුවෙන් නියමල මත ආසාදනය වී රතු ගතිය, නියමල වටා ඉදිමීම වගේ රෝග ලක්ෂණ පහල වෙන්නට හැකියාව තිබෙනවා.
ඒ වගේම නියපොතු සැපීම මගින් නියපොතු වල ඇති විෂ බැක්ටීරියා ශරීරගත වන්නට පුලුවන්. උදරයේ ආබාධ ඇතිවීමටද මෙය බලපෑ හැකියි. බැක්ටීරියා ආසාදන කියන්නේ වර්තමානයේ වැඩිපුරම ඇතිවෙන රෝගී තත්ත්වයක්.
යම් හෙයකින් ඔබ සපන ඇඟිල්ලක ඉන්නෙකු සිටියහොත් එම ඉන්නන් සහිත ඇඟිල්ලේ නියපොත්තත් සැපීමට ලක්වෙන්නට ඉඩ තිබෙනවා නම් එය ගැන සැලකිලිමත් වෙන එක වටිනවා. මෙයට හේතුව තමයි ඇඟිල්ලක ඉන්නෙක් සිටීම නිසා HPV හෙවත් මානව පැපිලෝම වෛරසය ඔබේ ශරීරයේ තිබෙන්නට වැඩි ඉඩක් තිබීම. මෙහිදී ඔබ ඒ ඇඟිල්ලේ නියපොතු සැපීම මගින් ඔබේ මුව, මුව අභ්‍යන්තරය තුලත් ඉන්නන් ඇතිවීමට පුලුවන්. සමහර අවස්ථාවකදී මෙය පිළිකාමය තත්ත්වයක් දක්වාම වර්ධනය වන්නට හැකියාව තිබෙනවා.
නියපොතු සැපීමේදී දත් පලුදු වීම, නියපොතු නිසා විදුරුමහ තුවාල වීම, දත් විරූප වීම වැනි අතුරු ආබාධ වලට ලක්වෙන්නට හැකියාව තිබෙනවා.
6. නියපොතු කෑම වළක්වාගන්නේ කොහොමද?
මම මෙතැන් පටන් නියපොතු කන්නේ නැත කියා තමන්ම ස්වයං වාරණයක් දමාගෙන නියපොතු සැපීම නවත්වාගන්නට හැකියාව තිබෙනවා. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඔබට එය කරන්නට හැකි නම් ඔබ දිනුම්.
නියපොතු කොට වෙන්න කපන්න
නියපොතු කෑමේ ආශාව වඩාත් මතුවෙන්නෙ යාන්තමින්වත් හපන්න තරමේ නියපොතු වැවිල තියෙනකොටයි. මේ නිසා නියපොතු වැඩිපුර වැවෙන්නට නොදී නිතර නිතර කොට වෙන්න කැපීමෙන් මේ ආශාව සෑහෙන්න දුරට මැඩ පවත්වාගැනීමේ හැකියාව ලැබෙනවා.
- නිය ආලේපන සහ කෘත්‍රිම නිය
කාන්තාවකට නම් පුලුවන් තරමක් තිත්ත හෝ සැර රසක් දැනෙන වර්ගයේ නිය ආලේපනයක් ආලේප කරගෙන ඉන්න බලන්න. එහෙම නැත්නම් කෘත්‍රිම නියපොතු අලවාගෙන බලන්න. හැබැයි ඊට පස්සෙත් මේ හැපිල්ල දිගටම සිද්ධ වෙනවානම් ඒ වැඩේ නවත්වන්නත් මතක තියාගන්න.
මනස සන්සුන් කරගැනීමත් නියපොතු සැපීම නතර කරගන්නට හොඳ ක්‍රමවේදයක් තමයි. මොකද මනස සන්සුන් නැති ආතතිමය අවස්ථාවල තමයි ඔබ නියපොතු සැපීමට යොමුවෙන්නේ. ඒ නිසා යෝගා ව්‍යායාම, භාවනා ක්‍රම, මනස සන්සුන් කරන සංගීතයන් වලට සවන් දීම වගේ ක්‍රියාවලට යොමු වීමෙන් පහසුවෙන්ම මේ ගතිය මග හැරගන්නට හැකියාව තිබෙනවා.
හුඟක් අයට ටීවී බලන ගමන්, පොත් කියවන ගමන්, කල්පනා කරන ගමන් එහෙම ඉබේම නියපොතු හැපෙනව. මේ අයට පුලුවන් ඒ වෙලාවල් වලදි ස්ට්‍රෙස් බෝල් එකක් අතේ තියාගෙන ඉඳල බලන්න. එතකොට තමන්ගෙ අත් වෙන දේකට භාවිතා වෙන නිසා නියපොතු හැපිල්ල අඩු වෙන්න ඉඩ තියනවා. කුඩා දරුවෙක්ව නම් චිත්‍ර අඳින්න හුරු කරවන්න, ක්ලේ හෝ නිර්මාණාත්මක ක්‍රීඩාවකට යොමු කරවල බලන්න පුලුවන් මේ පුරුද්ද අඩු වෙනවද කියල.
- මිතුරන් සහ ගෙදර අයගෙ උදවු
ඔබේ සමීපම මිතුරන්ගෙන් සහ ගෙදර උදවියගෙන් පුංචි ඉල්ලීමක් කරන්න පුළුවන් මෙන්න මේ විදියට.
“පුලුවන්නම් මම නියපොතු කනවා දැක්කොත් මතක් කරන්න. ඒක කරන්න එපා කියලා!!”
මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉන් පස්සේ ඔබ නිරුත්සාහයෙන්ම නියපොතු සපන්නට යොමු වුනොත් ඔවුන් ඔබට ඒ ගැන මතක් කරලා දේවි.
නේල් ස්පා එකකට එහෙම ගිහින් දෑත් ලස්සන කරගත්තම කාන්තා ඔබට ආපහු නියපොතු කන්නට නොසිතේවී. ලස්සනට හැඩගන්වලා තියාගෙන ඉන්නකොට කාටද ඒවා විනාස කරගන්න හිතෙන්නේ නේද? මේ වැඩේට නේල් ස්පා යන්නම ඕනෙ නෑ. අපේ මේ අනිවා ලිපිය කියවීමෙනුත් ලස්සන නියපොතු වලට උරුමකම් කියන්න පුලුවන් වේවි.
- වැඩිපුර හැපෙන අවස්ථා හඳුනාගන්න
තමන් නියපොතු හපනවා කියල දැනුනු ගමන් තමන් ඒ මොහොතේ අත් විඳිමින් ඉන්න මානසික තත්ත්වය තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන් ඉන්නෙ කම්මැලිකමින්ද, පාලුවෙන්ද, මානසික පීඩනේකින්ද කියල තේරුම් ගන්න බලන්න. මේ දේවල් තේරුම් ගැනීමත් එක්ක ඒ වගේ හැඟීම් දැනෙන මතු අවස්ථාවල් වලදි නියපොතු කෑමෙන් වැළකිලා ඉන්න මතක තියාගන්න පුලුවන්.
- aniwa.lk
මේ ලිපිය කියෙව්වම නියපොතු කෑමෙන් වැළකිලා ඔබේ දෑත් ලස්සනට තියාගන්නට හැකි වේවි