ජීවත් වෙනවා කියන්නෙ එක්තරා ආකාරයකින් ගත්තහම බැඳීම් ගොඩක් එක්ක ගණුදෙනු කිරීමක්. මේ අතරින් ඉහලින්ම අපි බැඳෙන දෙයක් තමයි පුද්ගල බැඳීම් කියන්නෙ. උපන්න දා ඉඳන් අපිත් එක්ක ඉඳල අපිත් එක්ක ජීවිතේ දුර ගමනක් ආපු අම්ම තාත්ත, සහෝදර සහෝදරියන්, ජීවන සහකරුවන්, යාලු මිත්‍රයො… අපි බැඳෙන මේ ලැයිස්තුව කෙටි එකක් නම් නෙමෙයි. මිනිස්සු එක්ක විතරක් නෙමෙයි ගෙදර සුරතලේට ඉන්න සතා කෙරෙහි උනත් අපි අපමණ විදිහට බැඳෙනව. ජීවිතේ හැටි එහෙමයි.
අපි හැමෝම මේ ජීවිතේ අනියතයි කියල දන්න මිනිස්සු. කවදාක හරි අපිට වගේම අපි වටේ ඉන්න අයටත් අපෙන් සමුගන්න සිද්ද වෙනවා කියල අපි දන්නවා. ඒත් ඒ හැඟීම යටපත් කරන් තමයි අපි ජීවත් වෙන්නෙ. ජීවිතේ කියන්නෙ එක්තරා ආකාරයකට ගත්තොත් ඒ විදිහෙ දේවල් හිතුවහම දැනෙන හිස්කමින් පළායාමක්. මේ පළායාමේ ගමන අතරතුරදි එකපාරටම අපි නොසිතූ වෙලාවක ජීවිතේ යථාර්තය අපේ මග හරස් කරල අපේ ඔලුවට පොල්ලෙන් ගහනවා, අපේ හදවත් වලට දරාගන්න බැරි රිදුමක් ගෙන දෙනව. ඒ අපේ ජීවිතේට සමීප කෙනෙක්ව අපෙන් උදුරගෙන. ඒ වෙලාවට ජීවිතේ නවතිනව. කාලය ඔහේ ගතවෙනව. අන්ධකාර පතුලකට දමල ගැහුව වගේ ජීවිතේ ගැන මහ පාලු සහ අසරණ හැඟීමක් දැනෙන්න ගන්නවා. අපේ ජීවිත වලට සමීපම කෙනෙක් නැතිවෙනව කියන්නෙ ඒ තරමටම දරාගන්න බැරි හැඟීමක්. අපි කාට කාටත් ජීවිතේ කොයි කොයි මොහොතවල් වලදි හරි මේ හැඟීම් විඳින්නට සිද්ද වෙනවා. ඒක මරණය තරම්ම නියතයක්.
අපි කොහොමද මේ දේවල් වලට මුහුණ දෙන්නෙ? මේ වගේ අහිමිවීමක් උනොත් එකෙන් ගොඩ එන්නෙ කොහොමද?
ඒ වගේ අවස්ථාවක ඔබේ හිත මේ වේදනාවෙන් ගලවගන්න උදවුවක් වෙන උපදෙස් ටිකක් තමයි මේ ගෙන එන්න හදන්නෙ.
1. දුකට ඉඩ දෙන්න
ජීවිතේට ළඟම කෙනෙක් අපිට අහිමිවුණා කියල දැනගන්න ලැබුණු ගමන්ම අපිට එකපාරටම මහා විසාල දුකක් ඇති වෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට. ඒ වෙනුවට අපිට දැනෙන්නෙ විශ්වාස කරන්න අමාරු, පිළිගන්න අපහසු වගේ හිරවෙච්ච හැඟීමක්. ටික වෙලාවක් යද්දි මේ හැඟීම ටික ටික අඩුවෙලා ගිහින් ඒ වෙනුවට ලොකු දුකක් අපේ ජීවිතය තුලට ගලාගෙන එන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි මේක දරාගන්න බැරි තරම් අපහසු හැඟීම් ගොඩක් බවට පත්වෙන්නෙ. ඒ වෙලාවට මේ දුක තවත් හංගන් ඉඳලා හෝ දුකෙන් පළායන්න උත්සාහ කරලවත් වැඩක් වෙන්නෙ නෑ. අපි මේ දුකත් එක්ක ගැටිලා ඒ දුක පිට කරන්නම වෙනවා. දුක විතරක් නෙමෙයි සමහර විට කේන්තියක් වගේ හැඟීමකුත් එන්න පුලුවන් අපේ ජීවිතේට සමීප කෙනාව අපෙන් උදුරගත්ත එකට. මේ හැමදේම අපිව යට කර ගනිද්දි අපි ඒ තුළින් නැගිටින එකයි කරන්න ඕනෙ. අඬන්න ඕනෙනම් අඬන්න, අනිත් අය ඉස්සරහ පිට අඬන්න, දුක පිටකරගන්න අමාරුනම් කවුරුත් නැති තැනකට ගිහින් රහසින් හරි මේ දුක සහ ආවේග පිටකරගන්න. ඒක හොඳ ආරම්භයක් වේවි.
2. ඔබේ ක්‍රමයට දුක හා සටන් කරන්න
ජීවිතේට සමීප කෙනෙක් මරණයට පත් උනාම ආයෙ අපිට ඒ කෙනාට ජීවිතේ ලබා දෙන්න බැහැ. මේ අසරණ භාවයත් එක්ක අපි සටන් වදිද්දි අපේ වටේ පිටේ ඉන්න බහුතරයක් දෙනාගෙන් උනත් අපිට අහන්න ලැබෙන්නෙ “හිත හදාගන්න, දැන් ඕව අමතක කරන්න, ඒ එයා අරන් ආපු ආයුෂ වෙන්න ඇති” වගේ උපදෙස් තමයි හුඟක් වෙලාවට. ඒ අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්න ආකාරය. ඒ අය එහෙම කිවුවට මේ හිත හදාගැනීම කියන එක කරන්න අපහසු දෙයක් බව ඔයාට තේරෙන්න ගනීවි. මේ තත්ත්වයෙන් ඔයාට තනියම තමයි ගොඩ එන්න වෙන්නෙ. ඒකට සුදුසු ක්‍රමය ඔයාම හොයාගන්න. අනිත් අයගෙන් මිදිල තනියම කල්පනා කරන්න ඕනෙනම් තනිවෙන්න. ගෙදර අය හරි යාලුවොත් එක්ක එකතුවෙලා දුක බෙදාගන්න එකෙන් ඊට වඩා සහනයක් ලැබෙනවනම් එහෙම කරන්න. ඔයාගෙ ක්‍රමේට දුකත් එක්ක සටන් කරන්න.
කෙනෙකුගේ මරණයකින් පස්සෙ දුක ඇතිවෙන පිළිවෙල කියල ජනප්‍රිය බටහිර තියරියක් තියනවා. එලිසබෙත් කුබ්ලර් රෝස් කියන මනෝ වෛද්‍යවරිය තමයි මේ තියරිය හඳුන්වලා දෙන්නෙ. ඇය විසින් අසාධ්‍ය රෝගීන් සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණ ඇසුරින් බිහිවෙච්ච මේ තියරියට ඒ කාලෙ හොඳ පිළිගැනීමකුත් තිබුණා. ඇය සඳහන් කරල තිබ්බ දුක ඇතිවීමේ පියවර ටික තමයි ප්‍රතික්ෂේප කිරීම, කෝපය, හෙට්ටු කිරීම, මානසික අවපීඩනය සහ පිළිගැනීම කියන අවස්ථා 5. දුකක් එක්ක සටන් කිරීමේදී හැම කෙනෙක්ටම මේ පියවර 5 පිළිවෙලින් පහු කරන්න වෙනවය කියන මේ තියරිය වර්තමානය වෙද්දි අසාර්ථක තියරියක් බවට පිළි අරන් තියනවා. මේ වියෝ දුක කියන්නෙ පියවර වලට කොටු නොවී තමන්ට දැනෙන ස්වාභාවික හැඟීම් වලට මුහුණ දීමක් නිසා ඒ දුකට තමන් තුලින් එන ස්වභාවික ප්‍රතිචාර දක්වමින් මුහුණ දීම තමයි සාර්ථකම ක්‍රමය වන්නේ.
3. දවස් ගත වෙන හැටි
සමීප කෙනෙක්ගෙ වියෝවක් එක්ක ගතවෙන මුල් දවස් ගතවෙන්නේ ඒ කෙනාවම කේන්ද්‍ර කරගත්ත සිතුවිලිත් එක්ක. එදිනෙදා ඒ කෙනා එක්ක සිදුවෙන ආශ්‍රයේ මතකයන් නිතර ඔයාට සිහි ගැන්වේවි. පරණ මතකත් ඒ ඔස්සේ ඇවිස්සිලා ඒවි. අන්තිම වරට ඒ කෙනා එක්ක ගතකරපු කාලයේ මතක, මුල්ම හමුවීම් වගේ අතීත මතක තව ගොඩක් ඇවිස්සි ඇවිස්සි ඒවි. ඒ විතරක් නෙමෙයි ඒ කෙනා මරණයට පත්වුන බව අමතක වෙලා ක්‍රියා කරන අවස්ථා උනත් ඔයාට එන්න පුලුවන්. උදාහරණෙකට හැමදාම උදේ 10ට ඔයා මියගිය ඒ පුද්ගලයට තේ එකක් හදල දෙන්න පුරුදු වෙලා හිටියා කියල හිතන්න. ඒ කෙනා මියගියාට පස්සෙත් හදිස්සියේ ඔයාට මතක් වෙන්න පුලුවන් අනේ ඉක්මනට තේකක් හදල අරයට දෙන්න ඕනෙය කියල. ඒ වගේ වෙලාවට දැනෙන දුක ඉතාම දරුණුයි. ඒ උනත් මේ දේවල් මග අරින්න අපට බැහැ. මේ කාල සමය අපි අනිවාර්යයෙන් පහු කරන්නම ඕනෙ.
4. මතට තිත තබන්න
ඕනෑම දුකක් පහව යන්න යම්කිසි කාලයක් ගතවෙනවා. ජීවිතේට සමීප කෙනෙක්ගේ වියෝ දුකක් නම් අවුරුදු ගණනක් උනත් පවතින්න පුලුවන්. මේ විදිහේ දුකක් ඇතිවුනාම හුඟක් දෙනෙක්ගෙ හිතට එන අදහසක් තමයි මත්පැන් ටිකක්, මත්ද්‍රව්‍ය ටිකක් අරගෙන මේ වේදනාව තරමක් සමනය කරගන්න එක. සමහර විට එහෙම මත්පැන් ටිකක් එහෙම බිවුවම දුක ටිකක් දරාගන්න පුලුවන් කියලත් දැනේවි සමහර අයට.
හැබැයි අපිනම් මේ ක්‍රමේට ඉහලින්ම විරුද්ධයි. මත්ද්‍රව්‍ය වලින් තාවකාලිකව දුක යටපත් වෙන්න ඉඩ තිබ්බත්. මත්බව පහව ගියාට පස්සෙ ආපහු මේ දුක කලින්ටත් වඩා නැගී සිටින්න ඒ දේ ඉවහල් වෙන්න පුලුවන්. දුක යටපත් කරන්න මත් බවේ පිහිට පැතීමෙන් අපිට දුක දරාගෙන සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න ගතවෙන කාලය තවත් දිග්ගැස්සෙනවා. ඒ නිසා මේ වගේ අමාරුම මොහොතක ඔයාගෙ පියවි සිහිය පවත්වාගෙන යන එක ඉතාම වැදගත්.
5. මතකයන් මග අරින්න එපා
හිතන්න අපේ නිවසේ ජීවත් වෙච්ච පවුලේ කෙනෙක්ය මරණයට පත්වෙලා තියෙන්නෙ කියල. එහෙම උනාම නිවසේ යම් යම් ස්ථාන සහ නිවසේ එදිනෙදා සිදුවෙන සිදුවීම් එක්ක ඒ කෙනාගෙ මතකයන් බැඳිල තියෙන්න පුලුවන්. ඒ ස්ථාන ඇහැ ගැටෙද්දි හෝ ඒ කෙනත් එක්ක එකතු වෙලා අපි කරපු එදිනෙදා වැඩ වල තනියම නිරත වෙද්දි එයාව මතක් වෙලා හිතට දුකක් ඇතිවෙන එක වළක්වන්න බැහැ. හැබැයි එහෙම කියල ඒ තැන් දිහා නොබලා, ඒ දේවල් නොකර මග ඇරලා ඉන්න එක නෙමෙයි විසඳුම. ජීවිතේ ඉදිරියට යන්න ඕනෙ. වේදනාබර මතකයන් එක්ක ගැටෙන්නෙ නැතිව ඒ දේ කරන්න අමාරුයි. කාලයක් යනකන් මතකයන් ඔයාට වදදේවි. හැබැයි වේදනාව එන්න එන්නට අඩුවේවි.
6. ටාගට් තියාගන්න එක කරන්න බැරි කාරණයක්
යම් වැඩක් ඉවර කරන්න අපිට මොකක් හරි ඩෙඩ්ලයින් එකක් තියාගෙන ඒකට අනුව වැඩ කරන්න පුලුවන්. ඒත් මතකයක්, දුකක් අමතක කරද්දි? ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්.
මේ දුකත් එක්ක සටන් කරලා මෙන්න මේ කාලෙ ඇතුලත මිදෙන්න පුලුවන්ය කියලා අනවශ්‍ය බලාපොරොත්තු සහ ඉලක්ක කවදාවත් තියාගන්න යන්න එපා. මතකයන් සහ දුක කියන්නෙ හරිම අරුම පුදුම දෙයක්. හිතන්න ඔයා කාලයත් එක්ක සිද්ද වෙච්ච අහිමිවීමෙන් හිත හදාගෙන සාමාන්‍ය තත්ත්වයට පත්වෙලාය ඉන්නෙ කියල. එහෙම උනත් සමහර දවස් තියෙනවා මතකයන් සැරටම ඇවිල්ල උහුල ගන්න බැරි දුකක් ආයෙත් ජීවිතේට කඩාගෙන වදින. ඒ නිසා කොයියම්ම වෙලාවකවත් මේ ගැන ටාගට් තියාගන්න එපා. එන විදිහට හැඟීම් එක්ක ගනුදෙනු කරන්න, දවසින් දවස ජීවිතේට සහ මේ වියෝවේ අතුරු ඵල වලට මුහුණ දෙන්න.
7. හිතේ තියන දේවල් ප්‍රකාශ කරල සැහැල්ලු වෙන්න
ඔයාට පුලුවන් තමන්ට අහිමි වෙච්ච පුද්ගලයා ගැන තමන්ගෙ හිතේ තියන දේවල් ලියල පිට කරන්න. ඒක කවියක් හෝ නිකම්ම නිකන් රචනයක් වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ෆේස්බුක් පෝස්ට් එකක් වෙන්න පුලුවන්. ඒ මොකත්ම නෙමෙයිනම් සමීප කෙනෙක් එක්ක කතා කිරීමක් වෙන්න පුලුවන්.
ඒ මොන විදිහේ ක්‍රමයකින් හරි සැහැල්ලුවක් ලැබෙනවානම් ඒ දේ කරන්න පසුබට වෙන්න එපා. මියගිය පුද්ගලයා එක්ක ගතකරපු ජීවිතේ සමරන්න, මතකයන් සමරන්න. සතුටු වෙච්ච තැන් සතුටින් මතක් කරල විඳින්න. ජීවිතේ තාවකාලිකයි. අපෙන් කෙනෙක් සමුගත්තා වගේම අපිටත් කවදාහරි මේ හැම දේකින්ම සමුගන්න වෙන බව හිතන්න. ඒ හිතුවිල්ලත් එක්ක දැනට ඔයා එක්ක ඉන්න අයත් එක්ක තියන සම්බන්ධකම් තව තවත් සමීප සහ ශක්තිමත් කරගන්න.
8. පුණ්‍ය කටයුත්තක/සමාජ සේවයක යෙදෙන්නත් පුලුවන්
අපි කොච්චර රැඩිකල්ය කියල හිතන් හිටියත් මරණින් මතු ජීවිතය, පින පව ගැන අපේ හිත් යට යාන්තමට හරි සටහන් වෙලා තියනවා. ඒ නිසායි කෙනෙක්ගේ වියෝවකින් පස්සේ උනත් ඒ කෙනාට දුකක් නොවේවා කියල හැගීමක් අපිට ඇතිවෙන්නෙ. මෙහෙම හැඟීමකින් ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් හොඳ දෙයක් තමයි තමන්ගෙන් වියෝවුණු සමීපතමයා වෙනුවෙන් තමන්ගෙ ආගමේ හැටියට පුණ්‍යකර්මයක් කරන එක, එහෙමත් නැත්නම් යම් ආධාරයක් ලැබිය යුතු කෙනෙක්ට ආධාරයක් ලබාදීල ඒ අයගෙ ජීවිත ශක්තිමත් කරන එක. තමන්ගෙ අහිමි වෙච්ච සමීපතමයාට උපහාරයක් වශයෙන් සමාජ සේවා කටයුත්තක නිරත වෙලා හිතට සැහැල්ලුවක් ළඟා කරගන්නත් පුලුවන්.
තමන් හොඳ ආගමික භක්තියකින්, විශ්වාසයකින් ඉන්න කෙනෙක්නම් තමන්ගේ ආගමික ශාස්තෘවරුන් මරණය ගැන දේශනා කරල තියන දර්ශනයට අනුව හිත හදාගන්න උත්සාහ කරන්නත් පුලුවන්.
9. බිසී වෙන්න යන්නත් එපා
සමහරු කරන්නෙ දුක අමතක කරන්න කියලා ජීවිතේ කාර්ය බහුලත්වය වැඩි කරගන්න එක. හිතන්නවත් වෙලා නැතිවෙන තරමට ඒ අය අමතර වැඩත් ගොඩ ගහගෙන බිසී වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රමෙත් එච්චර සුදුසු නෑ. මොකද යථාර්තය කියන දේ කොච්චර යටපත් කරන්න හැදුවත් ඒක රබර් බෝලයක් වගේ ආයෙ උඩට මතුවෙලා එන්න පුලුවන්. දවස් සීයක් හිතන්නවත් වෙලා නැති තරමට එක දිගට වැඩ කරල බලන්න. ඒත් එකසිය එක්වෙනි දවසේදි ඔයාගෙ හිතට අර අහිමිවීමේ දුක පෙර පරිදිම එන්න පුලුවන්. ඒ ඇයි දන්නවද? ඔයා යථාර්තයත් එක්ක එකඟතාවයකට එන්නෙ නැතිව ඒකෙන් පළායෑමක් කරපු නිසා. ඒ නිසා වැඩ වලටම යට වෙන්නෙ නැතිව දවස ඇතුලේ තමන් ගැන හිතන්න පතන්නත් විවේක වෙලාවක් තියාගන්න. ඒ වෙලාව අවශ්‍යයයි අර වේදනාකාරී හැඟීම් වලට ඉඩදීල ඔයාගෙ ශෝකී කාලය කෙටි කරගන්න.
10. අනාගතේ ගැන හිතන එක වරදක් නෙමෙයි
මේ කාරණාව බලපාන්නෙ බොහොම වෙලාවට තමන්ගෙ ජීවන සහකරු සහකාරිය අහිමි වෙච්ච කෙනෙක්ට. තමන්ට මුහුණ දෙන්න වෙච්ච වියෝව විඳ දරාගෙන යම් කාලයක් ගියාට පස්සෙ කෙනෙක්ට හිතෙන්න පුලුවන් ජීවිතේ හරි පාලුය, තනිකමයි කියල. ජීවිතේ තනියට අලුත් සහකරුවෙක් සහකාරියක් හිටියානම් හොඳයි කියල හිතෙන්න පුලුවන්. එහෙම උනත් අපි අපේ මියගිය සමීපතමයට ද්‍රෝහි වෙනවය, සමාජය ඉස්සරහ හෑල්ලු වෙනවය වගේ හැඟීම් නිසා ඒ අදහස් යටපත් වෙන්න පුලුවන්. වරදකාරී හැඟීමක් ඇති වෙන්න පුලුවන්. මේකට හොඳම දේ තමයි ඔයා ඔයාගෙ සහකරු සහ සහකාරිය ගැන ඔයාගෙ පැත්තෙන් හිතල තීරණේ කරන එක. හිතල බලන්න එයා නැතුව මම මැරුණනම් එයා තනියෙන් ජීවත් වෙනවට මම කැමති වෙයිද? එයා වෙන විවාහයක් කරගන්න එකට මගේ හිතේ විරුද්ධත්වයක් ඇති වෙයිද කියලා. සමහර විට එහෙම හිතල බලන එකෙන් ඔයාට පැහැදිලි තීරණයක් ගන්න ලේසි වේවි. වෙන සම්බන්ධතාවයකට යනවා කියන්නෙ කළින් සම්බන්ධතාවය අමතක කරන එක නෙමෙයි. නියම සම්බන්ධතාවයක් ඇතුලෙ අනිත් පුද්ගලයාගේ මතකය ජීවිතය තියෙන තුරාවට පවතීවි.
11. දුක සහ වියෝව පිළිගැනීම
සමීපතමයෙකුගෙ අහිමිවීමකින් ගොඩ එනවා කියන එක සීයට සීයක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අනික ගොඩ එනවා කියන්නෙ ඒ පුද්ගලයව සහමුලින්ම අමතක කිරීමකුත් නෙමෙයි. ඒ පුද්ගලයා තව දුරටත් අපි අතර නැති උනත් අපේ මතකයන් තුල ජීවත්වෙනවාය කියන සත්‍යතාවය තේරුම් ගැනීමකුයි වෙන්නෙ. අපි මේ කියපු කාරණා වලට අවධානය යොමු කලොත් ඒ තේරුම් ගැනීම සහ එකඟතාවය කල් ගිහින් හරි ඔයාට ලැබෙන්නට ඉඩ තියනවා. අපි හැමෝම තාවකාලික ජීවිත ගතකරන මිනිස්සු. ඒ තාවකාලික ජීවිත ඇතුලේ ගෙවන හැම මොහොතකින්ම උපරිම ප්‍රයෝජනය ගන්න එකයි ජීවත්වීමේ නියම වටිනාකම.
12. මේ කිසිවකින් විසඳුමක් නැත්නම්
අපි කොච්චර මේ උපදෙස් පිළිපැද්දත්, හැම දෙයක්ම හැම විටම සුබවාදීව අවසන් වේවිය කියල අපිට වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නට අමාරුයි. අපි හැමෝගෙම මානසික ශක්තිය එකිනෙකාට වෙනස්. ඉතින් සමහරුන්ට මේ දුක දරාගැනීම දැඩි සේ අසීරු වෙන්න පුලුවන්. ඒ නිසා මේ වගේ දුකින් ගෙවන කාල වකවානුවකදී ඔබේ මානසික සහ ශාරීරික සෞඛයය ගැන ඔබ දැඩි අවධානයකින් ඉන්න එක වැදගත්. හැමදාම දරාගැනීමට බැරි තරම් දුකක් දැනෙනවානම්, නින්ද අහිමි වෙනවානම්, දුක හේතුවෙන් පවුල් ජීවිතයේ සහ ලිංගික ජීවිතයේ ගැටලු ඇතිවෙන බව දැනෙනවානම්, ආත්මාභිමානය අහිමිවීම, කළකිරීම සහ වරදකාරී හැඟීම් වැනි මානසික අවපීඩනයේ ලක්ෂණ දිගින් දිගටම පෙන්නුම් කෙරෙනවානම් මේ සඳහා විශේෂඥ සහ උපදේශන සේවාවක පිහිට ලබාගැනීම ඉතා වැදගත්. එවැනි විටක මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ගන්නට වගේම ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි උපදේශන සේවාවක පිහිට ලබාගන්නට යොමු වෙන්නත් පසුබට වෙන්න එපා.
aniwa.lk
ජීවිතේට සමීප කෙනෙක් සදහටම අපිව හැර ගියොත්? ඒ වෙලාවට හිත හදාගන්නට උපදෙස්
2017-12-30T01:19:00-08:00
Gossip Lanka Hot News
slide|