ලස්සන මනාලියක් වෙන්න නම් මේ බියුටි ටිප්ස් 8 විවාහ දිනයට කළින් ඉඳන්ම පිළිපදින්න ගන්න

මනමාලියක් වෙන දවස යුවතියකගේ ජීවිතේ සුන්දරම සිහිනයක් සැබෑ වෙන දවස කිව්වොත් නිවැරදියි. ඉතින් එදාට තමන්ගෙ හැඩ රුව අන් කවරදාකටත් වඩා සොඳුරු කරගන්න තමා හැම යුවතියක්ම වෙහෙසෙන්නෙ. අනිවා බියුටි ලිපි තුලින් අපි අද මේ කතා කරන්න
යන්නෙ තමන්ගේ ජීවිතේ සුන්දරම දවසට මුහුණ දෙන්න සූදානම් වෙන යුවතියන්ට අත්වැලක් වෙන්න පුළුවන් ටිප්ස් ටිකක් ගැන. මොන දේටත් පෙර සූදානම වැදගත් කියනවනෙ. ඔබ විවාපත් වෙන්න සූදානමින් නම් ඉන්නෙ මංගල්‍යයට අවම වශයෙන් මාස 3 කටත් උපරිම වශයෙන් මාස 6 කටත් පෙර සිටවත් මේ දේවල් වලට අවධානය යොමු කල යුතුමයි.

1. පෙනුමට පෙර මනස

අංක එකටම මේ කියන්න හදන්නෙ ඔබේ පෙනුමට අනිවාර්යෙන්ම බලපාන ඔබේ මානසික තත්ත්වය ගැන. මංගල උත්සවයට දින නියම කරගත්තු දා පටන් ඔබ ඉදිරියේ තියෙන්නෙ ලේසි පාසු වැඩ කන්දක් නෙවෙයි. ඒත් මේ වැඩ කන්ද දිහා බලන් මානසික පීඩනයක් ඇති කරගන්න එක නම් කොහෙත්ම ඔබේ පෙනුමට සුභදායී වෙන්නෙ නෑ. මේ මානසික පීඩනය අඩු කරගන්න නම් වෙඩින් එකේ වැඩ මෙන්න මේ වගේ ප්ලෑන් එකකට අනුව කරගන්න. හැකි හැමවිටම සිත සැහැල්ලු වෙන සංගීතයකට සවන් දෙන්න. ප්ලෑන් එකට අනුව වැඩ ටික වෙන කොට ඔබට ස්ට්‍රෙස් ගන්න අවශ්‍ය නැහැ.

මේ මානසික සුවයට අනිවාර්යයෙන්ම ඔබ සුව නින්දක් ලබා ගැනීමත් වැදගත්. පැය 8ක නින්දක් ඔබ කුමන වැඩ තිබ්බත් ලබා ගන්න. මොන තරම් රූපලාවන්‍ය සත්කාර කලත් මංගල දිනයේදී ඔබට වෙහෙසකාරී පෙනුමක් ගෙන එන්න ප්‍රමාණවත් ලෙස නින්දක් නොලැබීම හේතුවක් වෙන්න පුළුවන්.

2. ඔබේ සම

පෙනුම ගැන හිතද්දි මුලින්ම සැලකිල්ලට ගන්න ඕන කාරණයක් තමා සම. කුරුලෑ සහිත කැළැල් සහිත සමක් හිමි නම් ඔබ අනිවාර්යෙන්ම සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවට යන එක සුදුසුයි. සමේ ස්වභාවය අනුව ඔබට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම මුල සිටම පිළිවෙලට ලබා ගැනීම වැදගත්. ඔබ ස්වභාවයෙන්ම නිරෝගී පැහැපත් සමක් උරුම යුවතියක් නම් ඔබ සමේ රෝග වෛද්‍යවරයෙක් හමු විය යුතු නැහැ. ඔබ ඔබේ රූපලාවන්‍ය ශිල්පියා හා කතා බහ කර ඔබේ සමට අවශ්‍ය සත්කාර පිළිබඳව දැනුවත් වෙන්න.

3. වෛද්‍ය සහ රූපලාවන්‍ය උපදෙස් වලට අමතරව

සිරුරට අවශ්‍ය තරම් ජලය පානය කිරීම අනිවාර්යයෙන්ම වැදගත්. එමඟින් සමේ පැහැපත් බව සුරැකෙනවා මෙන්ම සම නිරෝගීව පවත්වා ගැනීමට උපකාර වෙනව.

වෙඩින් එක ළඟයි කියන්නෙ ඔබ කොහොමත් කාර්ය බහුලයි. ඒත් කාර්ය බහුලකම අස්සෙ ඔබේ සමේ ආරක්ෂාව කොහෙත්ම අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ගෙදරින් එළියට බහිද්දි හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න.

4. මූණ විතරක් ලස්සන උනාම ඇතිද?

ලස්සන ගැන කතා කරද්දි ඉතින් කල්පනාවට එන්නෙ මූණ විතරයි. ඒත් ඔබේ දෑත් සහ දෙපා සුන්දරව තබා ගැනීමත් හුඟාක් වැදගත් කියල ඔබට හිතෙයි වෙඩින් එකේ ෆොටෝ ගන්න ගියාම. ක්ලෝසප්ස් වලට එහෙම ඔබේ දෑත් කැපිලා පෙනෙද්දි ඒවාට මීට වඩා සත්කාර කරගන්න තිබ්බ කියල ඔබට හිතෙන කොට ප්‍රමාද වැඩියි.  ෆොටෝ එඩිටින් වලින් ලස්සන කරගන්නවට වඩා ස්වභාවිකව ලස්සනට ඉන්න එක ගැන හිතන්න.

මේ නිසා දෑත් සහ දෙපා වල පිරිසිදුකම සහ පෙනුම ගැනත් මේ මාස කීපයේදී අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න. මැනිකියෝර් එකක් පෙඩිකියොර් එකක් කරගන්න සැලෝන් එකකට සති තුනකට වතාවක්වත් යන්න. වෙඩින් එකට සතියකට කලින් එක පාරක් මේ දේවල් කලා කියල ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා.

5. හිසකෙස් ගැන හිතුවද?

හෙයාර් ස්ටයිල් එකක් කොහොමත් දාන හින්දා කොණ්ඩෙ ගැන නම් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැයි කියල නම් ඔබ හිතන් ඉන්නෙ ඒ අදහස අත්හැර ගන්න. වෙඩින් එකට හෙයාස් ස්ටයිල් එකක් දාන නිසාම ඔබ කොණ්ඩයේ නිරෝගීකම ගැන අළුතෙන්ම හිතන්න ඕනමයි. වෙඩින් එකකට දාන හෙයා ස්ටයිල් එක ගොඩක් බැක් කෝම්බ් කරල ස්ප්‍රේ ගහල වැඩි කාලයක් අවුල් නොවී හිසකෙස් රඳවගන්න පුළුවන් විදියට කරන නිසා ඩැමේජ් වෙන්න තියෙන ඉඩ වැඩියි. මේ නිසා වෙඩින් එකට කලින් වගේම වෙඩින් එකෙන් පස්සෙත් හිසකෙස් වල නිරෝගීකම ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි.

මීට අමතරව ඔබ හෙයා කට් හෝ හෙයා කලරින් එකක් කරගන්න හිතන් ඉන්නවනම් ඊට පෙර ඔබේ වෙඩින් එකේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් උපදෙස් ලබාගන්න. ඔබේ මංගල දිනයට ඔබට සුදුසු හෙයා ස්ටයිල් එක තීරණය කරන්නෙ ඔහු හෝ ඇය නිසා හිතුමතේට කොණ්ඩෙ කපන්න යන්න එපා.

6. පෙනුම සේම සෞඛ්‍යය ගැනත් හිතන්න

නැවුම් පලතුරු සහ එළවලු හැකි තරම් ආහාරයට එක් කරගන්න. ඔබ තරබාරු හෝ මහත පැත්තට බර යුවතියක් නම් හෝ හුඟාක්ම කෙට්ටු යුවතියක් නම් අවම වශයෙන් විවාහ උත්සවයට මාස 6කට පෙර ඔබේ ආහාර පාලනය සහ සිරුරේ බර අඩු හෝ වැඩි කර ගැනීමට අවශ්‍ය උපදෙස් පෝෂණවේදියෙක් ගෙන් ලබාගන්න. විවාහ උත්සවයට ඔබ ඇඳීමට නියමිත ඇඳුම් කට්ටලය නිම කර ගැනීමට පෙර ඔබ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට මහත අඩු කර ගැනීම හෝ වැඩි කරගැනීම සිදු කරගන්න.

මේ සඳහා ඔබට ව්‍යායාම වල නිරත වීමටත් සිදු වෙනව. ජිම් එහෙකට ගිහින් හෝ නිවසේදීම මේ ව්‍යායාම වල නිරත වෙන්න හැකියාව ඔබට තිබුණත් සුදුසුකම්ලත් අයෙකුගෙන් උපදෙස් ලබාගන්නත් අමතක කරන්න එපා. වෙඩින් එකක් ළඟ ළඟ එද්දි වීඩියෝ බලල තනියම එක්සයිස් කරන්න ගිහින්  අතක් පයක් උලුක් කරගන්න එකේ පාඩුව ඔබටම හින්දා.

7. මතක තියාගන්නම ඕන

සමේ රෝග වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්න කියල අපි ඔබට මුලදිම කිව්වනෙ. ඒත් සමහරවිට ඔබට ඒ වගේ දේකට යොමු වෙන්න ඉඩක් නොලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එහෙන් මෙහෙන් කුරුලෑවක් දෙකක් තිබ්බට හමට ඒ තරම් ලොකු සත්කාරයක් අවශ්‍ය නැති කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම කෙනෙක්ට මෙන්න මේවගේ ගෙදරදීම ඔබේ පෙනුම වැඩි කරගන්න දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ඉහතින් කී කරුණු ගැන සැලකිලිමත් වීම ප්‍රමාණවත්.

8. මේ ගැනත් හිතන්න

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපි මේ දුන්න උපදෙස් සියල්ල ඔබ අනුගමනය කරල විවාහ මංගල්‍යට සුන්දර මනාලියක් විදියට මුහුණ දුන්නාට පස්සෙ ඔබ ඔබේ පෙනුම ගැන සැලකිල්ල අඩු කරල විවාහයට කලින් කරපු කියපු රූපලාවන්‍ය සත්කාර අමතක කරල  දාන්න හිතන්න නම් එපා කියලයි. සොඳුරු මනාලිය වූවා සේම සොඳුරු බිරිඳක්ව විවාහ ජීවිතය තුල ගත කරන්නට මේ උපදෙස් හැකි පමණ දිගින් දිගටම අනුගමනය කරන්න කියලත් අනිවා අපි මතක් කරනව.

- aniwa.lk

gossip lanka